කාලයක් විවිධ අතරමැදියන්ට හා දේශපාලකයින්ට නතුව තිබූ ඊශ්රායල් රැකියා බඳවාගැනීම් ඉන් මුදාගෙන විනිවිදභාවයෙන් හා කිසිඳු මැදිහත්වීමකින් තොරව සිදු කිරීමට කටයුතු කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්ය විජිත හේරත් මහතා පැවසීය.
ඊශ්රායලයේ ඉදිකිරීම් හා යටිතල පහසුකම් ක්ෂේත්රයේ රැකියා සඳහා පිටත්වීමට නියමිත ශ්රමිකයන් 164 දෙනෙකු වෙත ගමන් බලපත්ර ප්රදානය කිරීමට එක්වෙමින් අමාත්යවරයා මේ බව අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්යවරයා,
“මින් පෙර විගමනික ශ්රමිකයන් සදහා රැකියා සුදුසුකම් සපුරා ගැනීමේ දී යම් වශයෙන් දේශපාලනික හා ආයතනික නිලධාරීන්ගේ මැදිහත් වීමක් පැවතුණා. වර්තමානයේ දී ඉතා විධිමත් හා විනිවිදභාවයකින් යුතුව එම කටයුතු සිදුකරනු ලබනවා. ඊශ්රායල ඉදිකිරීම් රැකියා ක්ෂේත්රය සදහා 3700 ක පොරොත්තු ලේඛනයක් ඉදිරිපත් කළත් අදාළ ආයතනය විසින් 164 දෙනෙකු තෝරා ගෙන තිබෙනවා. මෙම වසර තුළ ඊශ්රායල් රැකියාව සඳහා 2,500 ක පිරිසක් යොමු කරලා තියෙනවා. ඒ වගේම තවත් 6500 ක පිරිසකට රැකියා ඉඩ පහසුකම් තිබෙනවා. තවත් අලුත් ක්ෂේත්රයක රැකියා 1000ක් විතර එන්න තියෙනවා. ඒ අනුව මෙම වර්ෂය තුළ දී කාර්යාංශය හරහා ඊශ්රායල් රැකියා සදහා 10,000 ක පිරිසක් යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා. කාර්යාංශ ලියාපදිංචිය තුළින් ඊශ්රායල් විදේශ රැකියාවක් බලාපොරොත්තු වන ඔබට අඩු මුදලක් වියදම් කර තමන්ගේ රැකියා සිහිනය ඉටු කර ගැනීමට හැකියාවක් තිබෙනවා.”