Friday, April 10, 2026
Follow Us
IMF ශ්‍රී ලංකාව සමඟ වන විස්තීර්ණ ණය පහසුකමේ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනයට අදාළව නිලධාරී මට්ටමේ එකඟතාවකට එළඹෙයි

එවන් පපාජෝ(ර්)ජියෝ මහතාගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) දූත කණ්ඩායම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනය සඳහා 2026 වසරේ මාර්තු මස 26 දින සිට අප්‍රේල් මස 09 දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණි. ජා.මූ. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචන පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීමෙන් පසු, ජා.මූ. අරමුදල 2026 වසරේ අප්‍රේල් මස 09 වන දින පහත මාධ්‍ය නිවේදනය නිකුත් කරන ලද අතර, එයට පහත සබැඳියෙන් ප්‍රවේශ විය හැක.

https://www.imf.org/en/news/articles/2026/04/09/pr26113-sri-lanka-imf-staff-reaches-sla-combined-fifth-and-sixth-reviews-under-eff-arrangement

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ වන විස්තීර්ණ ණය පහසුකමේ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනයට අදාළව නිලධාරී මට්ටමේ එකඟතාවකට එළඹෙයි

යම් රටක සංචාරයකින් පසු හඳුනා ගන්නා ලද මූලික සොයා ගැනීම් පිළිබඳව ජා.මූ. අරමුදලේ කාර්ය මණ්ඩල කණ්ඩායම්වල ප්‍රකාශ එම දූත මෙහෙය අවසානයේ නිකුත් කරන මාධ්‍ය නිවේදනයන්හි ඇතුළත් වේ. මෙම ප්‍රකාශයේ අන්තර්ගත අදහස් ජා.මූ. අරමුදලේ කාර්ය මණ්ඩලයේ අදහස් වන අතර, එමගින් ජා.මූ. අරමුදලයේ විධායක මණ්ඩලයේ අදහස් අවශ්‍යයෙන් ම නියෝජනය නොවේ.

  • ජා.මූ. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනය අවසන් කරමින් ජා.මූ. අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල එකඟතාවකට පැමිණ ඇත. ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩලය විසින් මෙම සමාලෝචනය අනුමත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට එ.ජ. ඩොලර් මිලියන 700ක පමණ මූල්‍යන පහසුකමක් සඳහා ප්‍රවේශය හිමිවනු ඇත.
  • ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සහාය වී ඇති අතර සංචිත ගොඩ නංවන අතර මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සහ ආදායම් එක්රැස් කිරීම අපේක්ෂිත මට්ටම අභිබවා ගොස් ඇත. කෙසේ වුවද, ශ්‍රී ලංකාව සැලකිය යුතු අයුරින්, මැදපෙරදිග ගැටුම් නිසා ඇතිවන තත්ත්වයන්ට නිරාවරණය වී ඇති අතර දිට්වා සුළි කුණාටුවෙන් පසුව වඩාත් හොඳින් යළි ගොඩනැගීම ද අවශ්‍ය වේ.
  • සාර්ව ආර්ථික ස්ථායීතාව සුරක්ෂිත කිරීම සහ ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීම මෙන් ම සාර්ව සහභාගීත්වයෙන් යුත් ආර්ථික වර්ධනයක් කරා යන ගමන්මග අඛණ්ඩව පවත්වා ගෙන යෑම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩිදියුණු කිරීම මේ වනවිට වඩාත් අත්‍යවශ්‍ය වී ඇත. ගෝලීය ආර්ථික අවිනිශ්චිතතා මධ්‍යයේ බාහිර කම්පනවලට මුහුණ දීම සඳහා ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම අත්‍යවශ්‍ය වේ.

කොළඹ, ශ්‍රී ලංකාව: එවන් පපාජෝ(ර්)ජියෝ මහතාගේ නායකත්වය යටතේ ජා.මූ. අරමුදලේ දූත කණ්ඩායමක් 2026 වසරේ මාර්තු 26 දින සිට අප්‍රේල් 9 වන දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර, මෑත කාලීන සාර්ව ආර්ථික ප්‍රවණතා සහ ජා.මූ. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ආර්ථික සහ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සාකච්ඡා කිරීම එම සංචාරයේ අරමුණ විය. දූත මෙහෙවර අවසානයේ පපාජෝ(ර්)ජියෝ මහතා පහත ප්‍රකාශය නිකුත් කළේය.

“ජා.මූ. අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ජා.මූ අරමුදලේ වසර 4ක විස්තීර්ණ ණය පහසුකමෙහි, පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනය පිළිබඳව කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ තිබේ. ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව සඳහා විශේෂ ගැනුම් හිමිකම් (වි.ගැ.හි.) බිලියන 2.3ක් (එ.ජ. ඩොලර් බිලියන 3ක් පමණ) 2023 මාර්තු 20 දින අනුමත කරන ලදී.  

“පහත කරුණු සපුරාලීම මත මෙම කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව සඳහා ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වනු ඇත: (i) අවදානමට ලක්විය හැකි පාර්ශ්ව ආරක්ෂා කරමින්, පිරිවැය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන මිලකරණය ප්‍රතිස්ථාපනය කිරීම සහ (ii) බහුපාර්ශ්වික හවුල්කරුවන්ගේ මූල්‍ය දායකත්වය තහවුරු කිරීම සඳහා මූල්‍යන සහතික සමාලෝචනය කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ප්‍රමාණවත් ප්‍රගතිය තක්සේරු කිරීම.  

“විධායක මණ්ඩලයේ සමාලෝචනය සම්පූර්ණ කිරීමෙන් පසුව, ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 508ක් (එ.ජ. ඩොලර් මිලියන 700ක් පමණ) ලබා ගැනීමට ප්‍රවේශය හිමි වනු ඇති අතර, එමගින් මෙම පහසුකම යටතේ ජා.මූ. අරමුදල මගින් ලබා දුන් මුළු මූල්‍යන සහාය වි.හැ.හි. මිලියන 1,778ක් (එ.ජ. ඩොලර් බිලියන 2.4ක් පමණ) දක්වා ඉහළ යනු ඇත.

“ශ්‍රී ලංකාවේ ඉහළ අපේක්ෂා සහිත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තවදුරටත් ප්‍රශංසනීය ප්‍රතිඵල ලබා දෙමින් පවතී. 2025 වසරේ දී ආර්ථිකය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 5කින් වර්ධනය විය. උද්ධමනය, ධන අගය කලාපය කරා නැවත ළඟා වී මාර්තු මාසයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 2.2ක් දක්වා ඉහළ ගිය අතර,  2026 වසරේ මාර්තු මස අවසානය වනවිට දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 7ක මට්ටමට ළඟා විය. මූලික වශයෙන් මෝටර් රථ ආනයනය මත පැනවූ බදු හේතුවෙන් 2025 වසරේ දී රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරීත්වය ශක්තිමත්ව පැවතුණි. ශ්‍රීලංකන් ගුවන් සේවයේ ණය හුවමාරුව සාර්ථකව අවසන් වීම සහ දැනට ඉතිරිව ඇති  ද්විපාර්ශ්වික ගිවිසුම් අවසන් කිරීම සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රගතියක් ළඟා කර ගැනීමත් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසානය කරා ළඟා වෙමින් පවතී.  

“බලශක්ති මිල ඉහළ යෑම, සංචාරකයන් සඳහා වන ප්‍රධාන ගුවන් මධ්‍යස්ථානයකට බාධා ඇති වීම මෙන්ම මැදපෙරදිග කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට බලපෑම් එල්ල වීම තුළින් මැදපෙරදිග කලාපයේ ගැටුමෙන් ඇතිවන බලපෑම්වලට ශ්‍රී ලංකාව සැලකිය යුතු ලෙස නිරාවරණය වී ඇත. නිවාස සහ ව්‍යාපාර සඳහා ප්‍රමාණවත් ඉන්ධන සැපයුමක් සහතික කිරීම මගින් බලධාරීන් ආර්ථික ක්‍රියාකාරකම්වලට එල්ල වූ බාධා සමනය කර ඇත. මේ අතර ම, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ යටිතල පහසුකම් සහ වියදම් අවශ්‍යතා සපුරාලීමට ද ශ්‍රී ලංකාවට අවශ්‍ය වී තිබේ. ආපදා අවදානම්, අඛණ්ඩව පවතින වෙළඳ ප්‍රතිපත්තිමය අවිනිශ්චිතතා සහ මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ආර්ථිකයට එල්ල විය හැකි අවදානම් මගින් අවධාරණය කරනු ලබන්නේ සාර්ව ආර්ථික ස්ථායීතාව සුරක්ෂිත කිරීමට, බාහිර කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමට සහ සාර්ව සහභාගී හා යථා තත්ත්වයට පත්වූ ආර්ථිකයක්  කරා යන  ගමන්මග අඛණ්ඩව පවත්වා ගෙන යෑම සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අවශ්‍යතාවයයි.

“මේ සම්බන්ධයෙන්, ශක්තිමත් ආදායම් ක්‍රියාමාර්ග සහ විචක්ෂණශීලීව වියදම් සිදු කිරීම හරහා රාජ්‍ය මූල්‍ය අවකාශය ‍ගොඩනගා ගැනීම අඛණ්ඩව සිදු කිරීම වැදගත් වේ. මේ සඳහා බදු අනුකූලතාව වැඩිදියුණු කිරීම, බදු පදනම පුළුල් කිරීම, ආදායම් අහිමි වීම පාලනය කිරීම සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා වන අඛණ්ඩ ප්‍රයත්න අවශ්‍ය වේ. වඩාත් අවදානමට ලක්වී ඇති සමාජ කාණ්ඩ සඳහා සහාය ලබා දෙන අතර ම, පිරිවැය ආවරණය කෙරෙන ඉන්ධන හා විදුලි මිලකරණය නැවත ස්ථාපනය කිරීම සහ පවත්වාගෙන යෑම ඉතා වැදගත් වේ. රාජ්‍ය මූල්‍ය අවදානම් අවම කර ගැනීමට සහ රාජ්‍ය මූල්‍ය විනය ආරක්ෂා කරගැනීමට අඛණ්ඩ අධීක්ෂණය අවශ්‍ය වේ. 

“ශ්‍රී ලංකාව වඩා ‍හොඳින් යළි ගොඩනැගීම ආරම්භ කිරීමේ දී, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට අනුකූල වෙමින් ව්‍යාපෘති සඳහා විචක්ෂණශීලීව ප්‍රමුඛතාවය ලබා දීම සහ විනිවිදභාව‍යෙන් යුතුව වියදම් සිදු කිරීම කළ යුතුය. බාහිර කම්පන සඳහා ප්‍රතිචාර වශයෙන් ලබාදෙන රාජ්‍ය මූල්‍ය සහාය මනා ලෙස ඉලක්කගත කළ, නිවැරදිව පිරිවැය ගණනය කළ සහ නිසි කාල පරාසයකට සීමා වූ ඒවා විය යුතුය. වඩාත් ම බලපෑමට ලක් වූ දුගී සහ අවදානමට ලක් විය හැකි ජනතාව ආරක්ෂා කිරීම ප්‍රමුඛතාවක් ලෙස පැවතිය යුතු අතර, ඒ සඳහා ඉලක්කකරණය, ප්‍රමාණාත්මක බව, ආවරණය සහ කම්පන සඳහා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වැඩිදියුණු කරමින් සමාජ ආරක්ෂණ ජාල මනාව ශක්තිමත් කිරීම අවශ්‍ය වේ.  

“කම්පන සඳහා මුහුණ දීමේ දී, මිල ස්ථායීතාව සුරක්ෂිත කිරීම සඳහා මුදල් ප්‍රතිපත්තිය දත්ත මත පදනම් වීම සහ වෙනස්වන තත්ත්වවලට නිසි කල නිසි ප්‍රතිචාර දැක්වීම වැදගත් ‍වේ. රාජ්‍ය අයවැය සඳහා මහ බැංකුව මගින් මූල්‍යනය සැපයීමෙන් වැළකීම අඛණ්ඩව පවත්වා ගැනීම ඇතුළුව, මහ බැංකුවේ ස්වාධීනත්වය දිගට ම පවත්වා ගත යුතුය. ගෝලීය අවිනිශ්චිතතා මධ්‍යයේ විනිමය අනුපාතිකයේ නම්‍යශීලීභාවය සඳහා ඉඩ සලසමින් විදේශ සංචිත නැවත ගොඩනැගීම අවශ්‍ය වේ. අක්‍රීය ණය නිරාකරණය කිරීම, යෝග්‍ය මට්ටමේ ණය වර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ ඇතැම් කුඩා බලපත්‍රලාභී මූල්‍ය සමාගම්වල අවදානම් සඳහා පිළියම් යෙදීම මූල්‍ය ස්ථායීතාව ආරක්ෂා කිරීමට සහාය වේ.

“පාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් 2026 වසරේ රජයේ ක්‍රියාකාරී සැලැස්ම ප්‍රකාශයට පත් කිරීම වැදගත් වන අතර, එය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම, දූෂණ වි‍රෝධී වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට සහ වර්ධනයට සහාය වනු ඇත. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙහි ස්වාධීනත්වය පවත්වාගෙන යෑම, ප්‍රතිලාභී හිමිකාරීත්ව ලේඛනයේ විශ්වසනීයත්වය වැඩි කිරීමට සහාය වීම සහ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව, රජය සතු ව්‍යවසාය, රාජ්‍ය ප්‍රසම්පාදන, සහ රාජ්‍ය වත්කම් කළමනාකරණය පිළිබඳ සුදුසු නීති පැනවීම හරහා රාජ්‍ය මූල්‍ය පාලනය ශක්තිමත් කිරීම ඉතා වැදගත් ‍වේ. සියලු ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ශක්තිමත් සහ තිරසාර වර්ධනයක් ඇති කරගැනීම සඳහා නිදහස් වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීමේ ප්‍රයත්න පවත්වාගෙන යෑම, නව ඩිජිටල්කරණ ක්‍රියාමාර්ග කඩිනම් කිරීම, ව්‍යාපාර නියාමනය ක්‍රමවත් කිරීම සහ ශ්‍රම වෙළෙඳපොළ අනම්‍යශීලී වීමේ ගැටලු අවම කිරීම සඳහා කම්කරු නීති නවීකරණය කිරීම ඇතුළත් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ අඛණ්ඩව රැඳී සිටීම අවශ්‍ය වේ.

“ජා.මූ. අරමුදලේ කණ්ඩායම අතිගරු ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා,
ගරු කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා, ගරු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා, දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතා සහ අනෙකුත් රජයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීය. ජා.මූ. අරමුදලේ කණ්ඩායම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පෞද්ගලික අංශයේ නියෝජිතයින්, සිවිල් සමාජ සංවිධාන සහ සංවර්ධන පාර්ශ්වකරුවන් සමඟ ද සාකච්ඡා පැවැත්වීය.

“දකුණු පළාතේ ගාල්ල වෙත කළ සංචාරය ඇතුළුව දූත මෙහෙය අතරතුර ලබා දුන් විශිෂ්ට සහයෝගීතාව සම්බන්ධ‍යෙන් බලධාරීන්ට අපි ස්තූතිවන්ත වෙමු. මෙම අවිනිශ්චිත කාලය තුළ ශ්‍රී ලංකාවට සහාය දීමේ අපගේ ඇති කැපවීම නැවත තහවුරු කරන්නෙමු.”