Saturday, May 04, 2024
Follow Us
ආර්ථිකයේ සියලු අංශ පිබිදෙයි

මන්දගාමී වර්ධනයක් පෙන්නුම් කරන ඉදිකිරීම්, වාණිජ අංශ සහ වේගවත් වර්ධනයක් අපේක්ෂා කරන ආර්ථිකයේ සියලු අංශ පිබිදීමකට මුල පුරමින් කොළඹ කොටස් වෙ‍ළඳ පොළ ගනුදෙනු ඉදිරියේ දී වැඩි වනු ඇතැයි මූල්‍ය වෙළෙඳ පොළ පිළිබඳ අවධානයෙන් සිටින ප්‍රවීණ විශ්ලේෂකයෝ පවසති.

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස වැඩ බාරගත් ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණයට පෙර රට හමුවේ තැබූ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් එළි දැක් වූ ආර්ථික වර්ධන වැඩපිළිවෙළ පිළිබඳ විශ්වාසය ගොඩනඟාගත් ආයෝජකයෝ කොළඹ කොටස් වෙළෙඳ පොළට වැඩි වැඩියෙන් ප්‍රවේශ වනු ඇතැයි ද මූල්‍ය විශ්ලේෂකයෝ කියති.

කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු ඉහළ යෑමට මේ වනවිට පටන්ගෙන තිබෙන අතර, ඒ පිළිබඳ අදහස් දක්වන කොටස් වෙළෙඳ පොළ තැරැව්කරුවන්ගේ සංගමයේ හිටපු සභාපති සහ වරලත් මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රවීණ මූල්‍ය විශ්ලේෂක රවි අබේසූරිය මහතා, නව ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් විවිධ බදු අඩු කිරීම් සිදුකර තිබෙනවා. ඒ වගේම ඉදිකිරීම, බැංකු, මූල්‍ය අංශවලට අදාළ පොලී ප්‍රතිපත්තීන් සංශෝධනය කිරීමකට මුලපුරා තිබෙනවා. ඒවා පිළිබඳ විශ්වාසය තබා අයෝජකයෝ කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත වැඩි පුර නැඹුරුවීමට පටන්ගෙන තිබෙනවා.

බදු අඩු කිරීම්‍ නිසා අඩු පිරිවැය යටතේ තමන්ගේ ව්‍යාපාරවල ලාභය වැඩි කර ගැනීමට ව්‍යවසායකයන්ට ව්‍යාපාරිකයන්ට හැකියාව ලැබෙනවා. එමෙන්ම පොලී අනුපාත අඩු කිරීම නිසා අඩු වියදමකින් අරමුදල් ලබාගෙන නව ව්‍යාපාර ඇරැඹීමට ව්‍යවසායකයන්ට හැකි වෙනවා. මෙහිදී තැන්පතු පොලී අනුපාත අඩු කිරීම නිසා මුදල් ඇති අය කොළඹ කොටස්‍ වෙළෙඳ පොළ වෙත ගොස් ආයෝජන සිදු කොට තම ලාභ වැඩි කර‍ ගැනීමට කටයුතු කරනු ඇති. මේ නිසා කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු ඉහළ යනවා.

දැනට අපේ රටේ මන්දගාමී වී තිබෙන ඉදිකිරීම් කර්මාන්තයේ කටයුතු නැවතත් වේගයෙන් ඇරැඹෙනු ඇතැයි ආයෝජකයන් පොදු මහජනතාව සිතනවා. ඒ නිසා ඉදිකිරීම් කර්මාන්තයේ දියුණුවට අවශ්‍ය අමුද්‍රව්‍ය, උපකරණ, ශ්‍රමය සපයන ආයතනවල ව්‍යාපාරවල පිබිදීමක් සිදු වේ. මේ නිසා දැනටමත් ඇස්බැස්ටස්, සිමෙන්ති, යකඩ වැනි අමුද්‍රව්‍ය සපයන සමාගම්වල කොටස්වලට කොළඹ කොටස් වෙළෙඳ පොළේ තිබෙන ඉල්ලුම වැඩි වී තිබෙනවා. මේ තත්ත්වය දවසක් දෙකක් සතියක් නොව දිගු කාලයක් අඛණ්ඩව පවත්වාගෙන යෑමටත් අවශ්‍ය බදු සහ ආයෝජන දිරි ගැන්වීම් නොකඩවා ලබාදීම නව ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්තිය විය යුතුයි. ඒ තුළින් ප්‍රබෝධමත් ආයෝජක ප්‍රජාවක් ලෙස දෙස් විදෙස් අයෝජකයෝ කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත පැමිණෙනු ඇත.

(Dinamina)