නෛතික ප්රතිපාදන තුළින් ඇති කළ මූල්ය විනය පවත්වා ගැනීම ආර්ථික ජයග්රහණවල ප්රධාන හේතුවක් - රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දෙයි
2023 වසරට සාපේක්ෂව 2024 වසරේදී ආදායම් සහ ප්රදානයන් 33.1%කින් ඉහළ ගොස් ඇති බවත් 2024 වසරේ අපේක්ෂිත අගයට සාපේක්ෂව මෙය 99.1%ක ඉතිහාසයේ ඉහළම අගයක් සහිත ඉලක්ක ළගා කර ගැනීමක් (achievement) බවත් මුදල් අමාත්යාංශයේ නිලධාරීහු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී පසුගියදා අනාවරණය කළහ.
2023 සහ 2024 වසරවල රාජ්ය මූල්ය කාර්ය සාධනය පිළිබඳව කරුණු දක්වමින් මුදල් අමාත්යාංශ නිලධාරීන් මේ බව පවසා සිටියේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා (.25) දින රැස්වූ අවස්ථාවේදී ය.
මුදල් අමාත්යාංශ නිලධාරීන් මෙහිදී පැවසුවේ VAT අගය ඉහළ දැමීම සහ VAT සහන ලබාදී තිබූ ප්රධාන අයිතම 137න් 95කම බදු සහන ඉවත් කිරීම මෙම තත්ත්වයට හේතුවූ බවයි. එසේම පෙර වසරවලට සාපේක්ෂව ඉහළ මූල්ය විනයක් පවත්වා ගැනීමට හැකිවීම මෙම ජයග්රහනයට හේතුවූ බවත් ඉදිරියේදී තවදුරටත් එය වර්ධනය කළ හැකි බවත් ඔවුහු මෙහිදී සඳහන් කළහ.
මෙහිදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ රාජ්ය මූල්ය කළමනාකරණ පනත යටතේ ඇති නෛතික ප්රතිපාදන තුළින් ඇති කළ මූල්ය විනය මේ සඳහා හේතුවූ බවයි. එසේම නෛතික ප්රතිපාදන තුළින් ඇති කළ මූල්ය විනය දිගුකාලීනව පවත්වා ගැනීම ආර්ථික ජයග්රහණ සඳහා ඉතා වැදගත් බව ඔහු අවධාරණය කළේය.
මුදල් අමාත්යාංශ නිලධාරීන් මෙහිදී පැවසුවේ 2024 වසරේදී 13.6% ක් වන දළ දේශීය නිෂ්පාදිතයෙන් ආදායම් සහ ප්රදානයන් ප්රතිශතය 2029 වසරේදී 15.3%ක අගයක් අපේක්ෂා කරන බවයි. එහිදී කාරක සභාව පෙන්වා දුන්නේ 2029 වසරේදී අපේක්ෂිත එම අගය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවයි. සාමාන්යයෙන් මධ්යම ආදායම් උපයන රටවල එම අගය 20% ක් පමණ වන බවත් මෙහිදී හෙළි විය. බදු පරිපාලනය වැඩිදියුණු කිරීමෙන් මෙම තත්ත්වය වර්ධනය කිරීමේ අවශ්යතාව මෙහිදී අවධාරණය කෙරිණි. එසේම නිවැරදි බදු පරිපාලනයට අමතරව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන සදහා KPI හදුන්වා දී ඇති බවත් ඒ අනුව මෙම අපේක්ෂිත අරමුණු කරා යාමට අපේක්ෂා කරන බවත් නිලධාරීහු පැවසූහ.
මෙහිදී මෙවර අයවැය පිළිබඳව සාමාන්ය ජනතාවටත් අවබෝධ කරගත හැකිවන පරිදි ‘පුරවැසි අයවැය’ පිළිබඳව සාරාංශගත කරුණු දැක්වීමක් නිලධාරීන් විසින් සභාවට ඉදිරිපත් කරන ලදී. ඒ අනුව සෞඛ්ය, අධ්යාපන, ප්රවාහන ඇතුළු අංශ 12ක් සඳහා මුදල් වෙන්ව ඇති ආකාරය පිළිබඳව මෙහිදී පැහැදිළි කිරීමක් සිදු කළහ. බදු ගෙවන ජනතාවට වඩාත් විනිවිදභාවයකින් යුතුව තමන්ගේ බදු මුදල් රජයක් භාවිත කරන්නේ කෙසේ ද යන්න හදුන්වාදීම මෙහි අරමුණ බවත් නිලධාරීහු මෙහිදී පැවසූහ. මේ වන විට රාජ්ය මූල්ය කළමනාකරණ පනත යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මෙම ‘පුරවැසි අයවැය’ වාර්තාව 2024 වසර සමග සංසන්දනාත්මකව ඉදිරිපත් කරන ලෙස ද කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. සාමාන්ය පුරවැසියාටත් අවබෝධ වන සේ සිත්ගන්නා සුලු අයුරින් මෙම වාර්තාව සකස්කොට තිබීම පිළිබඳව මුදල් අමාත්යාංශයේ සහ රාජ්ය මුද්රණාලයේ නිලධාරීන්ට කාරක සභාව විසින් සිය ප්රශංසාව පළ කරන ලදී.
එසේම වාහන ආනයනය කිරීමේදී අපේක්ෂා කරන බදු මුදල් ආදායම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා විය. දැනට රු. මිලියන 83ක් පමණක් ණයවර විවෘත කර ඇති බවට මාධ්ය වාර්තා පළවී ඇති පසුබිමක රු. බිලියන 330 ක පමණ විශාල අපේක්ෂිත බදු ආදායමක් ප්රායෝගිකව ලබා ගත හැකි ද යන්න කාරක සභාව ප්රශ්න කළේය. නිලධාරීන් පැවසුවේ පනවා ඇති ඉහළ බදු හේතුවෙන් එම ආදායම ලබා ගත හැකි බවයි. එසේම මෙම අපේක්ෂිත ආදායම් ඉපයීම පිළිබඳව කාරක සභාවට කලින් කලට තොරතුරු ඉදිරිපත් කරන ලෙස ද කාරක සභා සභාපතිවරයා උපදෙස් දුන්නේය.
තවද 2024 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා රාජ්ය ව්යවසායන් ලබා ඇති ලාභ අලාභ පිළිබඳව ද නිලධාරීහු කරුණු දැක්වූහ. මේ අනුව එම කාලය තුළ ශ්රී ලංකා ගුවන් සේවය සැලකියයුතු පාඩුවක් ලබා ඇති අතර රාජ්ය ව්යවසායන් 52ක් ලබා ඇති සමස්ත ලාභය රු. බිලියන 428ක් බවත් අනාවරණය විය. එසේම 2022 වසරේ රාජ්ය ව්යවසායන් ලබා ඇති සමස්ත පාඩුව රු. බිලියන 774ක් බවත් මෙහිදී හෙළි විය.
එසේම දඹුල්ල ප්රදේශයේ 2019 වසරේ ඉදිරි කිරීම ආරම්භ කළ තවමත් විවෘත කිරීමට නොහැකි වූ එළවළු සහ පළතුරු කල්තබාගත හැකි ශීතාගාර සහිත කෘෂිකාර්මික ගබඩාව (Agriculture warehouse) පිළිබඳව ද කාරක සභා සභාපතිවරයා අවධානයට යොමු කළේය. සියලු වැඩ නිමකර ඇතත් ශීතකරණ මිලදී ගැනීමේ ප්රමාදයක් නිසා මෙම ව්යාපෘතිය පමාවී ඇති බව නිලධාරීහු පැවසූහ. ඉන්දියාවෙන් ලැබුනු ප්රදානයක් මගින් ඉදිකර ඇති මෙම ස්ථානය ගොවීන්ගේ ප්රයෝජනයට ලබා නොදීම විශාල අපරාධයක් බැවින් ඒ සඳහා කඩිනමින් කටයුතු කරන ලෙස ද කාරක සභා සභාපතිවරයා මෙහිදී ඉල්ලීමක් කළේය. තවද කොළඹ ජාතික කලාභවන වසර 5ක් මුළුල්ලේ වසා තැබීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවිය. රු. මිලියන 120 ක් මෙහි ප්රතිසංස්කරණ සඳහා වෙන්ව ඇති බවත් ප්රසම්පාදන ක්රියාවලියේ ප්රමාදයක් නිසා මෙය විවෘත කිරීම පමාවී ඇති බවත් හෙළිවූ අතර එම කටයුතු කඩිනමින් අවසන් කර ජනතාවට ලබා දෙන ලෙසත් කාරක සභා සභාපතිවරයා ඉල්ලීමක් කළේය.
එසේම රාජ්ය ණය කළමනාකරණය පිළිබඳව ද කාරක සභාවේදී අවධානය යොමු විය. ණය කළමනාකරණය සඳහා වෙනම පනතක් සම්මත කොට ඇති පසුබිමක එහි විධිවිධාන ප්රායෝගිකව ක්රියාත්මක කිරීම සඳහා කටයුතු කිරීමේ අවශ්යතාවය ද මෙහිදී අවධාරණය කෙරිණි. ඒ සඳහා විශේෂඥ හැකියාවෙන් පිරිපුන් නිලධාරීන්ගේ සේවය ලබා ගැනීමේ අවශ්යතාවය කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුන්නේය.
මේ රැස්වීම සඳහා නියෝජ්ය අමාත්ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්රීවරයන් වන, රවි කරුණානායක, (ආචාර්ය) කෞෂල්යා ආරියරත්න, අර්කම් ඉල්ලියාස්, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන්, (නීතීඥ) ලක්මාලි හේමචන්ද්ර යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.