Monday, September 28, 2026
Follow Us
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ජාතික විෂයමාලා රාමුව පිළිබඳ පළාත් හා කලාප අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පළාත් සහ කලාප අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026.09.25 දින ඉසුරුපාය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.මෙම වැඩසටහනේ මූලික අරමුණ වූයේ යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ජාතික විෂයමාලා රාමුව (NCF) පිළිබඳ පළාත් සහ කලාප මට්ටමේ අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීමයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අදාළව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ මෙහෙයවීම යටතේ,ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කළ ජාතික විෂයමාලා රාමුව (NCF) පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු නිලධාරීන් වෙත ලබාදීම මෙහිදී සිදුවිය. අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව, එම ලේඛනය ඉදිරියේදී අධ්‍යාපන නිලධාරීන්ගේ පරිහරණය සඳහා ලබාදීමට පියවර ගන්නා බවද අනාවරණය කෙරිණි.

ජාතික විෂයමාලා රාමුවට (NCF) අනුව පෙ.ව. 7.30 සිට ප.ව. 1.30 දක්වා වූ පාසල් කාලය තුළ එක් කාල පරිච්ඡේදයක් මිනිත්තු 40කට සීමා කිරීම, සෞන්දර්ය හා ඉතිහාසය ඇතුළුව අ.පො.ස. සාමාන්‍ය පෙළ සඳහා ඉදිරිපත් කෙරෙන විෂය සංඛ්‍යාව සහ ඇගයීම් ක්‍රමවේදයේ සිදුවන වෙනස්කම් වැනි කරුණු පිළිබඳව මෙහිදී පැහැදිලි කරන ලදී. මීට අමතරව, 10-11 ශ්‍රේණි සඳහා යෝජිත වෘත්තීය විෂයන් මෙන්ම 12-13 ශ්‍රේණි සඳහා සමාජ සංහිඳියාව, නීතිය, ආචාර ධර්ම, වෘත්තීය මාර්ගෝපදේශනය සහ විදේශීය භාෂා වැනි විෂය මාලාවට අලුතින් ඇතුළත් කර ඇති නව යෝජිත විෂය ක්ෂේත්‍ර පිළිබඳව ද නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගැනුණි.

තවද, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව සිදුකරන පාසල් යටිතල පහසුකම් හා ඩිජිටල් උපකරණ සංවර්ධන ව්‍යාපෘතීන් සහ පළාත් මට්ටමින් සිදුකරමින් පවතින ගුරු පුහුණු වැඩසටහන් ඇතුළු මොඩියුල සම්පාදන සහ බෙදාහැරීමේ කාර්යයන් පිළිබඳව සහ 2027 වසර සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ කටයුතුවල වත්මන් ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී පැමිණ සිටි පිරිස හට අවබෝධය ලබාදීම සිදුවුණි.

මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ප්‍රකාශ කර සිටියේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අදාළ ප්‍රතිපත්තිමය තීරණ එහි ප්‍රධාන කුළුණු ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙන ජාතික මෙහෙයුම් කමිටුව හරහා සිදු කර ඇති බවයි.

එමෙන්ම, 2027 වසරේදී මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වඩාත් පුළුල් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කර ඇති බවද ලේකම්වරයා ප්‍රකාශ කළේය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන් පිළිබඳව පළාත් හා කලාප මට්ටමින් විදුහල්පතිවරුන්, දෙමාපියන් ඇතුළු පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ඒ මහතා, පළාත් හා කලාපීය අධ්‍යාපන රැස්වීම්වලදී අදාළ පාර්ශ්ව දැනුවත් කිරීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම සහ අවබෝධය විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට ලබා දීම අධ්‍යාපන බලධාරීන්ගේ වගකීමක් බව ද අවධාරණය කළේය.

ඊට අමතරව, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ (NEC) මඟපෙන්වීම යටතේ ජාතික අධ්‍යාපන ආයතනය (NIE) විසින් සම්පාදනය කරන ලද ජාතික විෂයමාලා රාමුව (NCF) ඇතුළු ප්‍රධාන ලේඛන, අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසු අධ්‍යාපන නිලධාරීන්ගේ පරිහරණය සඳහා ලබා දීමට කටයුතු කරන බවද ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේය.

මේ සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ.ජී. දයාරත්න බණ්ඩා මහතා, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ උපදේශක මහාචාර්ය ප්‍රියංගනී සේනානායක මහත්මිය ඇතුළු අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්, අතිරේක ලේකම්වරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරීන් සහ පළාත් සහ කලාප අධ්‍යාපන බලධාරීන් පිරිසක් සහභාගි වූහ.