Monday, September 28, 2026
Follow Us
ඔස්කා යන  “රිවස්ටන්”

99 වැනි ඇකඩමි හෙවත් ඔස්කාර් සිනමා සම්මාන උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලලිත් රත්නායක මහතා අධ්‍යක්ෂණය කළ “රිවස්ටන්” (Riverstone) චිත්‍රපටය නිල වශයෙන් තෝරා ගත් බව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව මහතා පැවසීය.

 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා අද (28) මේ බව ප්‍රකාශ කළ අතර මෙරට ඔස්කාර් කමිටුව විසින් මෙම චිත්‍රපටය තෝරාගෙන ඇති බව ද සඳහන් කළේය. 

ඔස්කාර් කමිටුවේ සාමාජිකයින් ලෙස චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගම, කැමරා අධ්‍යක්ෂ සහ ග්‍රන්ථ කතුවරයකු වන එම්.ඩී. මහින්දපාල, චිත්‍රපට නිෂ්පාදක හා සංස්කාරක රවීන්ද්‍ර ගුරුගේ, චිත්‍රපට අධ්‍යක්ෂිකා සහ ජාත්‍යන්තර සිනමා උළෙල අධ්‍යක්ෂිකා අනෝමා රාජකරුණා, සිනමා අධ්‍යාපනඥ අරුණ ගුණරත්න, චිත්‍රපට අධ්‍යක්ෂ හා නිෂ්පාදක විසාකේස චන්ද්‍රසේකරම්, චිත්‍රපට සංගීත අධ්‍යක්ෂ ලක්ෂ්මන් ජෝෂප් ද සේරම් සහ කමිටු ලේකම්, චිත්‍රපට සමූහ නිෂ්පාදක හා සිනමා ජනමාධ්‍යවේදී උදිත ලක්මාල් කහඳවාආරච්චි යන මහත්වරු කටයුතු කර තිබේ.

ලලිත් රත්නායක මහතාගේ දෙවැනි සිනමා නිර්මාණය වන “රිවස්ටන්” චිත්‍රපටයට නිෂ්පාදන දායකත්වය රංගන ශිල්පිනී නිමන්ති පෝරගේ මහත්මිය විසින් ලබාදී ඇති අතර, කැමරා අධ්‍යක්ෂවරයා ලෙස ප්‍රභාත් රොෂාන් මහතා කටයුතු කර තිබේ.

99 වැනි ඇකඩමි සම්මාන උළෙල සඳහා චිත්‍රපටයක් ඉදිරිපත් කිරීමේදී ජාතික චිත්‍රපට සංස්ථාවේ අනුමැතිය සහිතව මෙරට සිනමාශාලාවක අඛණ්ඩව දින හතක් ප්‍රදර්ශනය කර තිබීම, ධාවන කාලය විනාඩි 40කට වැඩි වීම, අධ්‍යක්ෂවරයා ශ්‍රී ලංකා පුරවැසියකු වීම සහ චිත්‍රපටයේ භාෂාව සිංහල හෝ දෙමළ වීම ඇතුළු සුදුසුකම් සපුරා තිබිය යුතුය. එමෙන්ම රංගන ශිල්පීන්ගෙන් බහුතරයක් සහ කාර්මික ශිල්පීන්ගෙන් අවම වශයෙන් සියයට 50ක් ශ්‍රී ලාංකික පුරවැසියන් වීමද අදාළ සුදුසුකම් අතර වේ.

2025 ඔක්තෝබර් 01 වැනිදා සිට 2026 සැප්තැම්බර් 30 වැනිදා දක්වා මෙරට තිරගත වූ චිත්‍රපට අතරින් මෙම තරගකාරී අවස්ථාව සඳහා චිත්‍රපට ඉදිරිපත් කරන ලෙස ජාතික චිත්‍රපට සංස්ථාව විසින් ප්‍රසිද්ධියේ අයදුම්පත් කැඳවා තිබිණි.

ඒ අනුව සිංහල චිත්‍රපට පහක් සහ දෙමළ චිත්‍රපටයක් ඇතුළුව චිත්‍රපට හයක් ඉදිරිපත් වී තිබූ අතර, ඒවා සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ “විහඟ ප්‍රේමය”, චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ “ආයු”, චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණය කළ “ෆාදර්”, සුකිතරන් කිස්තුරාජා සහ ජැන්සන් රාජේන්සන් අධ්‍යක්ෂණය කළ “ඇන්තෝනි”, ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ “රිවස්ටන්” සහ දිල්ෂාර ජයමාන්න අධ්‍යක්ෂණය කළ “ක්‍රිකට් සාදු” යන චිත්‍රපට වේ.

එම චිත්‍රපට අතරින් “විහඟ ප්‍රේමය” සහ “ආයු” චිත්‍රපට අවශ්‍ය සුදුසුකම් සපුරා නොතිබීම හේතුවෙන් ඉවත් වූ අතර, නිර්ණායක 16ක් සපුරා තිබූ අනෙක් චිත්‍රපට හතර ජාත්‍යන්තර වෘත්තාන්ත චිත්‍රපට කාණ්ඩය සඳහා සුදුසුකම් ලබා තිබේ.

ඉන් “රිවස්ටන්” සහ “ෆාදර්” යන චිත්‍රපට අවසන් අදියර සඳහා තෝරාගෙන ඇති අතර, ඒ අතරින් “රිවස්ටන්” චිත්‍රපටය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 99 වැනි ඇකඩමි සම්මාන උළෙල සඳහා නිල වශයෙන් තෝරාගෙන ඇත.

වසර 100කට ආසන්න ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසය තුළ රාජ්‍ය මට්ටමින් ඔස්කාර් සම්මාන උළෙල සඳහා මේ දක්වා නිල වශයෙන් චිත්‍රපටයක් ඉදිරිපත් කර නොමැති බවද ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව මහතා පැවසීය. ඒ අනුව මෙම අවස්ථාව ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ ඓතිහාසික අවස්ථාවක් බවද හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම මෙම වසරේ සිට ඉදිරි වසර පහක කාලය තුළ අඛණ්ඩව ඔස්කාර් සිනමා සම්මාන උළෙල සඳහා ශ්‍රී ලාංකේය සිනමා නිර්මාණ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.