Sunday, September 27, 2026
Follow Us
ගන්දර ධීවර වරායේ සීමිත මෙහෙයුම් කටයුතු ආරම්භ කෙරේ
ධීවර ජනතාවගේ දෛනික ධීවර කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරගෙන යාම සඳහා අවශ්‍ය මූලික පහසුකම් සැලසීමේ අරමුණින්, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ, ගන්දර ධීවර වරායේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර නව ඉදිකිරීම් කටයුතු සිදු කර තිබේ.
එහි එක් අදියරක් ලෙස අලුතින් ඉදිකරන ලද ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල ඇතුළු පහසුකම් පසුගියදා 25 දා සිට සීමිත මෙහෙයුම් කටයුතු සඳහා විවෘත කෙරිණි.
මේ යටතේ වෙරළාරක්ෂක බලකාය, ධීවර දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලිසිය යන ආයතනවලට සිය මෙහෙයුම් කටයුතු සිදු කිරීම සහ ඒවා අධීක්ෂණය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා තිබේ.
ඉදිරියේ දී ශ්‍රී ලංකා රේගුවට ද මෙහි මෙහෙයුම් කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය ඉඩ පහසුකම් සලසා දීමට නියමිත ය.
මීට අමතරව, ධීවර ජනතාවගේ අත්‍යවශ්‍ය අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඩීසල් සහ භූමිතෙල් සැපයීම සඳහා ඉන්ධන බෙදා හැරීමේ ස්ථානයක්, සුළු පන්න ධීවරයින්ගේ බෝට්ටු නැංගුරම් ලෑම සඳහා ස්ථානයක්, මත්ස්‍ය වෙන්දේසි ශාලාවක්, ශ්‍රවණාගාරයක්, පානීය ජල පහසුකම් සහ වාහන නැවැත්වීමේ පහසුකම් ඇතුළු විවිධ මූලික පහසුකම් ද සපයා තිබේ.
ධීවර ජනතාවගේ අවශ්‍යතා මූලික කරගනිමින් වරායේ යටිතල පහසුකම් සංවර්ධනය කර ඔවුන්ගේ දෛනික ධීවර කටයුතු වඩාත් පහසු කිරීමේ අරමුණින් මෙම සංවර්ධන කටයුතු සිදු කර ඇත.
මෙම ආරම්භක අවස්ථාවට ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ නිලධාරීන් සහ සේවකයන්, ධීවර ජනතාව ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ