Friday, September 25, 2026
Follow Us
22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කෙරේ
• අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත ද වැඩි ජන්දයෙන් සම්මතයි
 
විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අද (25) විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය.
එම පනත් කෙටුම්පත දෙවන කියවීමේ ඡන්ද විමසීම ප.ව 7.13ට ආරම්භ කෙරුණු අතර එහිදී පක්ෂව ඡන්ද 158 ක්ද, විපක්ෂව ඡන්ද 63 ක්ද හිමි විය. ඒ අනුව විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය.
අනතුරුව, කාරක සභා අවස්ථාවේදී දෙවන වගන්තියට ගෙන එන ලද සංශෝධන ද පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය. එම සංශෝධනවලට පක්ෂව ඡන්ද 158 ක් ද, විපක්ෂව ඡන්ද 63 ක් ද හිමි විය.
 
පනත් කෙටුම්පත තෙවන වර කියවීමේදී පක්ෂව ඡන්ද 158ක් ද, විපක්ෂව ඡන්ද 63ක් ද ලැබුණු අතර, ඒ අනුව පනත් කෙටුම්පත තෙවන වර කියවීම පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය.
 
එමෙන්ම,අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවේ අද වැඩි ජන්දයෙන් සම්මත කෙරිණි. එම පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ප.ව 7.53ට ආරම්භ කෙරුණු අතර එහිදී පක්ෂව ඡන්ද 158ක්ද, විපක්ෂව ඡන්ද 63 ක්ද හිමි විය.
එම පනත් කෙටුම්පත තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 158 ක්ද විපක්ෂව ඡන්ද 62 ක්ද, හිමි විය. ඒ අනුව අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත තෙවන වර කියවීම වැඩි ඡන්ද 95 කින් පාර්ලිමේන්තුවේ දී සංශෝධන රහිතව සම්මත විය.
විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් දෙක අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් 2026 අගෝස්තු 18 වැනි දින පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එම පනත් කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් දෙවන වර කියවීමේ විවාදය ඊයේ (24) සහ අද (25) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.