Friday, September 25, 2026
Follow Us
ඉදිරි අයවැයෙන් පොත් සඳහා වන වැට් බදු වෙනස් කිරීමට රජයේ අවධානය

ඉදිරි අයවැයෙන් පොත් සඳහා පනවා ඇති වැට් බදුවල වෙනසක් සිදු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් 27 වැනි වරටත් සංවිධානය කරනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (25) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී නිල වශයෙන් විවෘත කරමින් පැවැති සමාරම්භක උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසුවාය.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් පවත්වාගෙන යනු ලබන “දරු දිරිය” ශිෂ්‍යත්ව අරමුදල යටතේ සිසුන් වෙත ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීම ද අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළේ, මෙවර අයවැය තුළින් පොත් සඳහා පනවා ඇති වැට් බදුවල විශේෂ වෙනසක් සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇති බව ප්‍රකාශ කරන ලෙස ජනාධිපතිතුමා තමන්ට විශේෂයෙන් දැනුම් දුන් බවයි.

පොත්වල වටිනාකම දන්නා රජයක් ලෙස එවැනි වෙනසක් ජනතාවට කෙතරම් වැදගත් ද යන්න රජය හොඳින්ම වටහාගෙන ඇති බව ද අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළාය.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය, වසරකට වරක් පැවැත්වෙන තවත් එක් ප්‍රදර්ශනයක් පමණක් නොව, එය මෙරට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් බලාපොරොත්තුවෙන් සිටින සංස්කෘතික ජීවිතයේම කොටසක් බවත්, 1999 වසරේ ඇරඹි මෙම ගමන දශක දෙකකට වැඩි කාලයක් පුරා මෙරට කියවීමේ සංස්කෘතිය පෝෂණය කර ඇති බවත් අග්‍රාමාත්‍යතුමිය පෙන්වා දුන්නාය.

කියවීම යනු වෙනත් අයෙකුගේ ජීවිතයක්, සමාජයක්, සංස්කෘතියක් හා මතයක් තේරුම් ගැනීම බවත්, සහකම්පනයෙන් යුතු සමාජයක් ගොඩනැගීමට එය මහත් පිටිවහලක් වන බවත් අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා දරුවන්ගේ කියවීමේ රුචිය වර්ධනය කිරීමට මෙන්ම පාසල් කාලය තුළ කියවීම සඳහා වැඩි කාලයක් වෙන් කිරීමේ වැදගත්කම පිළිබඳව ද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පැවසුවාය.

මෙම අවස්ථාවට රාජ්‍ය තාන්ත්‍රිකයන්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් සුබසිංහ, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති අතුල ජයකොඩි යන මහත්වරුන් ඇතුළු ලේඛකයන්, ප්‍රකාශකයන් සහ ආරාධිත පිරිසක් විශාල සංඛ්‍යාවක් එක්ව සිටියහ.