සංඥා භාෂා පනත කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්මත කර, ශ්‍රවණාබාධිත ප්‍රජාවගේ සංඥා භාෂා අයිතිය සහ සන්නිවේදන අයිතිය තහවුරු කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා පැවසීය.
ජාත්‍යන්තර සංඥා භාෂා දිනයට සමගාමීව ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය සහ කෑගල්ල දිස්ත්‍රික් බිහිරි සංවිධානය එක්ව සංවිධාන කළ ජාතික සැමරුම් හා දැනුවත් කිරීමේ වැඩසටහන ඊයේ (27) කෑගල්ල නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එම අවස්ථාවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
සංඥා භාෂාවන්හි වැදගත්කම ඇගයීමටත්, ශ්‍රවණාබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම්, සංස්කෘතිය සහ අනන්‍යතාව ප්‍රවර්ධනය කිරීමටත් සෑම වසරකම සැප්තැම්බර් 23 වැනිදා ජාත්‍යන්තර සංඥා භාෂා දිනය සමරනු ලබයි.
මෙවර එහි තේමාව වූයේ “බිහිරි ප්‍රජාවගේ මානව හිමිකම් ප්‍රකාශයට පත් කිරීම” යන්නයි. සංඥා භාෂාව ලබාගැනීමේ හැකියාව මූලික මානව හිමිකමක් මෙන්ම අන්තර්ග්‍රහණය වූ සමාජයක් ගොඩනැගීමේ අත්‍යවශ්‍ය අංගයක් බව එමඟින් අවධාරණය කෙරේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා, කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගරිකා ගංගානි මහත්මිය සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කේ. ජී. එස්. නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට ශ්‍රවණාබාධිත ප්‍රජාවේ සාමාජිකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
වැඩසටහනට සමගාමීව කෑගල්ල මහජන ක්‍රීඩාංගනයේ සිට කෑගල්ල නගර සභා ශ්‍රවණාගාරය දක්වා සාම පා ගමනක් ද පැවැත්විණි. ශ්‍රවණාබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් පිළිබඳ සමාජ අවධානය යොමු කිරීම සහ එම ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳ පණිවුඩයක් සමාජයට ලබාදීම එහි අරමුණ විය.
මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා සඳහන් කළේ ශ්‍රවණාබාධිත ප්‍රජාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ සන්නිවේදනය සම්බන්ධ ගැටලු බවයි. විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේදී සංඥා භාෂාව පිළිබඳ ප්‍රමාණවත් භාෂා පරිණතභාවයක් සහිත ගුරු පරපුරක් නොමැතිවීම සම්බන්ධයෙන් ද ඔහු අවධානය යොමු කළේය.
එමෙන්ම බිහිරි දෙමව්පියන්ට උපදින ‘කෝඩා’ දරුවන්ගේ අධ්‍යාපනය සහ ඔවුන් මුහුණ දෙන සමාජීය අභියෝග පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි. එම දරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සංවිධානයක් පිහිටුවීම පිළිබඳව ද සාකච්ඡා විය.
ශ්‍රවණාබාධිත ප්‍රජාවගේ දක්ෂතා ඇගයීමක් ලෙස බිහිරි ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන් වෙත සිහිවටන ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු කෙරුණු අතර, ප්‍රජාවේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා වෙත තිළිණයක් ද ප්‍රදානය කෙරිණි.
ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනයේ සභාපති කේ. බ්‍රයන් සුසන්ත කොඩිතුවක්කු මහතා, ලේකම් ඩී. ආර්. එල්. අනිල් ජයවර්ධන මහතා, ශ්‍රවණාබාධිත කාන්තා සංවිධානයේ සභාපති සුරංගා පතිරණ මහත්මිය ඇතුළු නියෝජිතයන්, කෑගල්ල පොලිසියේ නිලධාරීන් සහ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ශ්‍රවණාබාධිත ප්‍රජාවේ සාමාජික සාමාජිකාවෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.