Sunday, March 29, 2026
Follow Us
කඩුවෙල-අඹතලේ කැලණි ගඟ ජල පාලන වේල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි

කැලණි ගඟේ ජල ධාරිතාව අධිකව තිබීම නිසා ඇතිවන ජලකාන්දුව අවම කිරීමට, තිරසර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.

කඩුවෙල-අඹතලේ ජල පාලන වේල්ලේ දීර්ඝ කාලීන ජල කාන්දු තත්ත්වයට ස්ථිර විසඳුම් සපයමින් එහි ප්‍රතිසංස්කරණ කටයුතු පසුගියදා(26) ආරම්භ වූ අතර එම අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

නවීන ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග යටතේ, ජල කාන්දු ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා මීටර් 40ක් දිග කොන්ක්‍රීට් බැම්මක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. වර්ෂාව, ජල ගැලීම් සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන පාංශු ඛාදනය වැළැක්වීම සඳහා අලුත් කාණු පද්ධතියක් මගින් ජල බස්නා ක්‍රියාවලිය විධිමත් කරනු ලැබේ.

ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ භූ විද්‍යාත්මක වාර්තා පදනම් කරගෙන ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව (SLLDC) විසින් ජල තෙරපුමට දරාගත හැකි පරිදි වේල්ල ආරක්ෂිත කරලීමේ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 41ක් වෙන් කර ඇති අතර, මාස හතරක් ඇතුළත මෙය අවසන් කිරීමට බලාපොරොත්තු වේ.

ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලෙන් කඩුවෙල වැලිවිට සහ වැලිපිල්ලෑව ප්‍රදේශවල පවතින අවදානම් තත්ව සම්පූර්ණයෙන් අවසන් කර, ඉදිරි ආපදා තත්ත්වයන්ට දරාගත හැකි ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු සැලසුම් කර තිබේ.