ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්ය ගරු වසන්ත සමරසිංහ මහතා හමුවිය.
වෙළෙඳ අමාත්යංශයේදී ඊයේ (27) පැවති එම හමුවට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සංවර්ධන සහයෝගීතා උපදේශක Maitrey Kulkarni මහතා ඇතුළු පිරිසක් එක්වූ අතර වෙළෙඳ අමාත්යංශය නියෝජනය කරමින් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්යංශ ලේකම් කේ.ඒ. විමලේන්තිරරාජා මහතා, ආචාර්ය ශාන්ත ජයරත්න මහතා, සමූපකාර තොඟ වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාව මහතා සහභාගි විය.
මෙහිදී දෙරට අතර පවතින මේ ද්විපාර්ශ්වික වෙළෙඳ ගනුදෙනු තවදුරටත් පුළුල් කිරීම, ආයෝජන සබඳතා ප්රවර්ධනය, නව ආයෝජන අවස්ථා හඳුනා ගැනීම සහ ඒවා දිරිමත් කිරීම, දෙරටේම ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා සහයෝගීතාවයෙන් කටයුතු කිරීම මෙන්ම සමුපකාර ක්ෂේත්රයේ දියුණුව වෙනුවෙන් අන්යෝන්ය සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡාවට ගැනුණි.
ශ්රී ලංකා නිෂ්පාදන ඉන්දියානු වෙළෙඳපොළට හඳුන්වාදීම සඳහා ප්රදර්ශන සහ වෙළෙඳපොළ අවස්ථා ඇති කිරීමට අපේක්ෂා කරන බව ඉන්දීය කොමසාරිස්වරයා පැවසීය. තේ සහ ඇඟලුම් වැනි ක්ෂේත්ර කෙරෙහි එහිදී වැඩි අවධානයක් යොමු කරන අතර ශ්රී ලංකාවේ උසස් තත්වයේ ඇඟලුම් සඳහා ඉන්දියාවේ විශාල ඉල්ලුමක් පවතින බැවින් එම අවස්ථාවන්ගෙන් ප්රයෝජන ගැනීමට අපනයනකරුවන්ට මඟපෙන්වීම තම අරමුණ බව සඳහන් කෙරිණ.
ශ්රී ලංකාවේ සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව සහ ඉන්දියාවේ NCL ආයතනය අතර සහයෝගීතා ගිවිසුමක් ඇති කර ගැනීමට අවධානය යොමු කර තිබෙන බවත් එය සෘජු සැපයුම් බැඳීමකට වඩා පුළුල් සහයෝගීතාවක් ලෙස හැඳින්විය හැකි බවත් ඉන්දීය නියෝජිතයන් පෙන්වා දුනි.
ශ්රී ලංකාවේ සහල් වෙළෙඳපොළ තත්ත්වය සහ මිල පාලනය පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.
සහල් මිල පාලනය කර තිබුණද සම්බා වැනි විශේෂ සහල් වෙළෙඳපොළ හිඟයක් පවතින බව මෙහිදී වෙළෙඳ අමාත්යවරයා පෙන්වාදුනි. ශ්රී ලංකා රජයට සහල් මෙට්රික් ටොන් 300,000ක් පමණ කළමනාකරණය කර ගැනීමට හැකිනම් අනිවාර්යයෙන්ම මිල පාලනය කළ හැකි බව එහිදී වෙළෙඳ අමාත්ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
ඉන්දියාවේ ගොවින්ගේ ආදායම සුරක්ෂිත කිරීම සඳහා ඉන්දීය රජය විසින් නියම කරන ලද අවම සහතික මිලක් යටතේ වී මිලදී ගැනීම් සිදුකෙරෙන බව ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා මෙහිදී පෙන්වාදුන් අතර එරට අත්යවශ්ය භාණ්ඩ පනතේ බලතල යොදාගෙන අසීමිත තොග රැස් කිරීම් රජය විසින් වළක්වා ඇති බවත් සදහන් කෙරිණ. එමෙන්ම ඉන්දියාවේ FCI හෙවත් ෆුඩ් කෝපරේෂන් ඔෆ් ඉන්දියා නම් ආයතනය සතුව පවතින දැවැන්ත ගබඩා පද්ධතිය සම්බන්ධයෙන් ද මහ කොමසාරිස්වරයා මෙහිදී වෙළෙඳ අමාත්ය වසන්ත සමරසිංහ මහතා දැනුවත් කළේය.
“රජය සහතික මිලකට වී මිලදී ගෙන මේ ගබඩා පද්ධතියේ තැන්පත් කරනවා. පෞද්ගලික අංශය මිල ඉහල දැමුවහොත් රජය තමන් සතු තොග වෙළෙඳපොළට මුදා හැර මිල ස්ථාවර කරනවා. මෙය අතිරික්ත තොග කළමනාකරණය(Buffer Stock) ලෙස හඳුන්වනවා.”
අනතුරුව වෙළෙඳ අමාත්ය වසන්ත සමරසිංහ මහතා අදහස් දක්වන ලදී.
“ඒක තමයි අපිටත් අවශ්ය කරන්නේ. අපිට තාක්ෂණික සහයෝගය ලබාගන්න පුළුවන්ද මේ වගේ පද්ධතියක් ලංකාවේ ඇති කරන්න. විශේෂයෙන් ඩිජිටල් ක්රමයකට මේ තොග නිරීක්ෂණය කරන්න.”
ඉන්දියාවේ මෙම පද්ධතිය ක්රියාත්මක වන ආකාරය පිළිබඳ තාක්ෂණික දැනුම හා පුහුණුව ලබාදිය හැකි බව ඊට ප්රතිචාර දක්වමින් ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පැවසීය.
ඒ අනුව ලබන මාසයේදී මේ පිළිබඳ සවිස්තරාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට එකඟවිය.