Thursday, May 02, 2024
Follow Us
මන බඳිනා තට්ටු ගවුමෙන් හැඩ රුව ඔප වෙනා

කාලයේ තාලයට මැවෙන විලාසිතා විවිධයි. ඒ අතර ඇඳුම් විලාසිතාවලට ප්‍රමුඛස්ථානයක් හිමිවේ. එහෙත් වෙළඳ පොළේ ඇති ඇඳුම් මිල දී ගැනීමේදී මුදල් පසුම්බිය ගැන දෙවරක් නොව කිහිපවරක්ම සිතන්නට වෙනවා. ඔබ සොයනා විලාසිතාව ඒ අතර නොවන්නත් පුළුවන්. එහෙත් මැහුමට ගෙතුමට දක්ෂ ඔබට එය එතරම් ගැටලුවක් නොවේවී. අද අපි ඔබට ලබා දෙන මේ තට්ටු ගවුම් විලාසිතාව මසා ගැනීම හරිම පහසුයි. අමතර පන්ති යන දියණියට කදිමයි.

* උරහිස අඟල් 15 1/2

* කර වට අඟල් 15

* ඉණ දක්වා උස අඟල් 16

* පපුව වට අඟල් 36

* ඉණ වට අඟල් 31

* සාය උස අඟල් 24

* අත උස අඟල්18

* කැප් උස අඟල් 5

* අත අගවට අඟල් 9

* පතරොමේ අත්කට අඟල් 12

* කප් උස අඟල් 3

මෙම ඇඳුම් නිර්මාණය සඳහා බ්ලවුසය හා සාය කොටස වෙන වෙනම සාදා ගත යුතුයි. සාය සඳහා තට්ටු සාය භාවිතකර ඇත.

මුලින් බ්ලවුසය සාදා ගන්න.

පතරොම සාදා ගැනීම සඳහා බලවාටියට තබාගන්න. බලවාටියේ සිට අඟල් 2ක් තබා නැම්ම රේඛාව අඳින්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම් වාසි අඟල් 1/2 ක් එකතු කර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අඟල් 1 3/4 ක් පහත්කර A ලක්ෂ්‍ය යා කරන්න. එය AC වේ.

කර වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකර මූලික කර අඳින්න.

අවශ්‍ය කර ගැඹුර පහත්කර කර අඳින්න.

E සිට පහතට ඉණ දක්වා උස පහත්කර හරහට රේඛා අඳින්න.

අත්කට රේඛාවට උස සෙවීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාවයි.

අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි හා බුරුල සඳහා එකතුකර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ.

ඉණ වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට බුරුල සඳහා මැහුම් වාසි එකතු කර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ.

GI යාකර අංශය අඳින්න.

අත්කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍ය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2 අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මේ සිට මැද ලක්ෂ්‍ය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍ය කැපීයන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අඳින්න.

බ්ලවුසයේ ඉදිරිපසට විවරය සඳහා ෆිල් අල්ලා ඇත. එය වෙනම පටියක් ගෙන රැලිකර ඇල්ලිය යුතුයි .

ඉදිරිපස විවරය සහිත නිසා පසුපස පතරොම නැම්මට තබාගන්න. ඉදිරිපස පතරොම නැම්මේ සිට අඟල් 1/2ක් අඩුවෙන් තබා ගන්න. ඉදිරිපස උරහිසට සමාන්තරව අඟල් 1ක් උසින් වැඩි කරන්න. පසුපස කර ගැඹුර අඟල් 1 1/2ක් පහත්කර කර අඳින්න.

සාය සඳහා තට්ටු සාය භාවිතකර ඇත. එය තට්ටු 2ක් හා ෆිල් එකක් භාවිතකර මසා ඇත. පළමු තට්ටුව සඳහා උස වැඩිපුරත් දෙවැනි තට්ටුව සඳහා උස අඩුවෙනුත් භාවිතකර ඇත. ඒ සඳහා සාය උස අනුව තට්ටු දෙකේ උස වෙන්කර ගන්න.

පළමු තට්ටුව සඳහා ඉණ වට මිම්මට වඩා අවශ්‍ය රැලි සඳහා එකතුකර පළල ලෙස ගන්න. උසට මැහුම් වාසි එකතුකර උස ලෙස ගන්න.

දෙවැනි තට්ටුව සඳහා පළමු තට්ටුවේ පළල ද රැලි සඳහා අවශ්‍ය ප්‍රමාණය ද එකතුකර දිග ලෙසද උසට මැහුම් වාසි එකතුකර උස ලෙසද ගෙන රෙදි කපාගන්න.

දෙවැනි තට්ටුවට අල්ලා ඇති ෆිල් එක සඳහා ද අවශ්‍ය උස හා මැහුම් වාසි ද පළලට පළමු තට්ටුවේ පළල හා රැලි සඳහා එකතුකර රෙදි කොටස කපාගන්න.

අතට කප් එක යොදා ඇති නිසා කප් උස අඩුකර අතේ උස ගන්න. අත සඳහා අවශ්‍ය රෙදි කොටස නැම්මට තබා ගන්න. ඉහළින් රේඛාවක් අඳින්න. නැම්මෙ උඩ සිට පහතට කැප් උස පහත් කරන්න. එය AB වේ. හරහට රේඛාව අඳින්න. A සිට පහතට උස පහත් කරන්න. එය AC වේ. හරහට රේඛාව අඳින්න. එය වාටිය නැම්ම රේඛාවයි. වාටිය රේඛාව සඳහා මැහුම් වාසි තබා වාටිය රේඛාව අඳින්න. පතරොමේ අත්කට ප්‍රමාණය A සිට හැඩේට ලකුණු කරන්න. එය AD වේ. එම රේඛාවේ මැද ලක්ෂ්‍ය ලකුණුකර අත්කට වක්‍රය අඳින්න. අත අගවට ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි එකතුකර වාටිය නැම්ම රේඛාවේ හරහට ලකුණු කරන්න. එයB E වේ. ED යා කරන්න.

කප් එක සඳහා අවශ්‍ය උසට හා පළලට ස්ටිෆ් එකක් කපා එය තබා රෙදි කැපීමේදී රෙදි කොටස දෙගුණයක් වන ලෙස මැහුම් වාසි තබා කපාගන්න.

මෙලෙසින් මසා ගනිමු

* මැදට ඉදිරිපස පලුවේ ෆිල් කොටස් අල්ලා ගන්න.

* උරහිස මසන්න.

* අත අල්ලා ගන්න.

* සාය රැලිකර අල්ලා ගන්න.

* පසුව ඉණට අල්ලන

* අංශය මසන්න.

* අතේ කප් කොටස අල්ලා ගන්න.

 

Tharunie