මහ පොළොව තවමත් නිහඩය.මේ පොළෝ ගැබ අප දෙස බලා සිටින්නේ මහත් වේදනාවෙනි. සාරවත් මහ පොළොවේ වටිනාකම නොදත් මිනිසුන් දෑස නොසෙල්වා බලා සිටින්නේ රට වටකරගත් මුහුද දෙසය. එහෙත් මේ පොළොවේ වටිනාකම හඳුනාගත් මිනිසුන් ඒයින් නියම පලනෙළා ගන්නේ දහදිය මහන්සියෙනි. රුවන්වැල්ලේ වහරක මධුෂි භාග්‍යා ද එලෙසින් තම දහදිය මහන්සියෙන් ජීවිතය දිනූ තරුණියකි.
උපාධික් ලබා රජයේ කාර්යාලයක රැකියාවක් ලබා ගැනීම බොහෝ තරුණ තරුණියන්ගේ සිහිනයකි. එහෙත් මධුෂි කෘෂිකර්ම උපාධියක් ලබා ගන්නට සබරගමුව විශ්ව විද්‍යාලයට ආ මඟ බොහෝ දුෂ්කරය. ඈත එපිට ගමක ගොවි මහතකුගේ දියණියක් ලෙස උපන් මධුෂීට කැත්ත, උදැල්ල කුඩා කල පටන්ම දෑතට හුරු වුයේ නිරායාසයෙනි.බෝනික්කන් සමඟ සෙල්ලම් කරනවාට වඩා උදැල්ල ගෙන තම පියා සමඟ වත්තට යන්නට ආසා කළ මධුෂී හැමදාම සිහින මැව්වේ තම පියා ගිය අඩි පාරේ දුර ගමනක් යන්නටය. එදා පියාගේ අතේ ඒල්ලී වත්තට ගිය මධුෂී අද කෘෂිකර්ම උපාධී අපේක්ෂිකාවකි. එසේම දක්ෂ කෘෂි ව්‍යාපාරයක හිමිකාරිනියකි. තම අපේක්ෂා ඉටු කර ගත් ඇය මහ පොළොවට බරක් නොවූ දියණියකි. තම දහදිය කඳුළු මතින් පැමිණි සාර්ථක ගමන ඇය අපට විස්තර කළේමෙලෙසිනි.
“මම පුංචි කාලේ පටන්ම දැක්කේ අම්මයි තාත්තයි දෙන්නා හරි හරියට මහන්සි වෙලා වැඩ කරනවා. පොඩි කාලේ මම ඉස්කෝලේ ඇරුණු ගමන් දුවෙගන එන්නේ වත්තට. තාත්තා වගාවට හරි දක්ෂයි. අපට තිබුණේ අක්කරයක විතර පොඩි ඉඩමක්. ඒ ඉඩම මදි නිසා තාත්තා තව ළඟාපාත ඉඩම් අඳේට ගත්තා. තේ, කුරුඳු, ගම්මිරිස්, එනසාල්, ඉඟුරු, කහ, එළවළු, පලතුරු ආදිය තමයි වගා කළේ. තාත්තා කොයි තරම් දක්ෂ විදිහට වගා කළා ද කියනවා නම් තුන් පාරක් ලංකාවේ හොඳම ගොවියා වුණා. ඒ නිසා මටත් වගා කරන්න ආසාවක් පුංචි කාලේම ඇති වුණා. හැබැයි තාත්තාගේ ආසාව තිබුණේ මට හොඳට උගන්වන්න. මට බාල තව නංගීලා හතර දෙනෙක් ඉන්නවා. මම ශිෂ්‍යත්ව විභාගේ පාස් වෙලා ගම්පහ යසෝදරා විද්‍යාලයට ඇතුළත් වුණා. උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් සමත් වෙලා තමයි සබරගමුවේ කෘෂි විද්‍යා පීඨයට ඇතුළත් වුණේ.”
මධුෂී මෙලෙසින් විශ්ව විද්‍යාලයට පිවිසෙන්නේ කිසියම් ආයතනයක රැකියාවක් කිරීමේ අපේක්ෂාවෙන් නොවේ. ඇය කුඩා කාලයේ සිට මැවූ සිහිනය සැබෑ කර ගැනීමේ අපේක්ෂාවෙනි. ඇය ඒ ගැන සඳහන් කළේ මෙලෙසිනි. “පුංච් කාලේ පටන්ම මම තරමක් වෙනස් විදිහට තමයි හිතන්නේ. මම උපාධිය හදාරන්න තීරණය කළේ මගේම ව්‍යාපාරයක් කරනවා කියන අධිෂ්ඨානයෙන්. හැබැයි උපාධිය අවසන් කරන්නත් කලින් මට ඒකට අත තියන්න වූණා. කැම්පස් එකේ දෙවැනි අවුරුද්ද වෙනකොට කොරෝනා ආවා. කැම්පස් වැහුණු නිසා ගෙදර ඉඳන් ඔන් ලයින් තමයි ලෙක්චර්ස් කළේ. මේ කාලේ කහ වගාවට හොඳ ඉල්ලුමක් ආවානේ. මම අක්කර හයක කහ වගා කළා. කිසිම බයක් නැතුව වැඩේට අත තිබ්බා. සැප් ආයතනයයි, DFCC බැංකුවයි මුල්‍ය ණය පහසුකම් ලබා දුන්නා. තාත්තාගේත් සහයෝගය තිබුණු නිසා සාර්ථක කහ වගාවක් කළා. හැබැයි ඒ වෙනකොට කහ මිල පහළ වැටුණා. මම කළේ කහ කුඩු කරන යන්ත්‍රයක් අරගෙන කහ වේළලා වෙළෙඳපොළට දැමීමයි. ඒ වැඩේ සාර්ථක වුණා. “සෞභාග්‍යා ඇග්රි” නමින් තමයි මගේ නිෂ්පාදන වෙළෙඳපොළට ඒක් කළේ. මේ වැඩේට අපේ පවුලේ හැමෝම උදව් කරනවා. අපට දැන් විජලන යන්ත්‍රයකුත් තියෙන නිසා අපි කහවලට අමතරව කොස්, දෙල්, පොලොස් වගේ දේවල් වියළා ඇසුරුම් කර වෙළෙඳපොළට දානවා. තව අපට පොල් වගාවක් තියෙන නිසා පිරිසුදු සුදු පොල් තෙල් නිෂ්පාදනය කරනවා. ගුණාත්මක බවින් ඉහළ හොඳ දෙයක් විකිණීම තමයි මගේ අපේක්ෂාව. ඇත්තටම මේ නිෂ්පාදන විදේශීය වෙළෙඳපොළට හඳුන්වා දීමෙන් අපේ රටට විදේශ විනිමය ලෙස එක ඩොලර් ඒකක් හරි හොයලා දීම තමයි බලාපොරොත්තුව.”කෘෂිකර්ම උපාධිය හිමිකර ගැනීමේ අවසන් වසරේ සිටින මධුෂී, තරුණ දියණියක් ලෙස මේ වන විටත් සාර්ථක ජයග්‍රාහී ගමනක් පැමිණ ඇත්තේ විශාල කැපවීමක් කරමිනි. මේ කැප කිරීම සෑම තරුණියකටම ආදර්ශයකි.
Tharunie