Tuesday, May 07, 2024
Follow Us
අපනයන ආර්ථිකයට නිෂ්පාදන කරන්න..

ජාතික ශිල්ප සභාවේ අධ්‍යක්ෂිකා චන්ද්‍රමාලි ලියනගේ
ජාතික ශිල්ප සභාවෙන් ඇරැයුමක්..


අපේ රට මහත් වූ අර්බුදයකට ලක්ව ඇති යුගයකි. මේ දිනවල දී අවශ්‍ය වන්නේ පවතින අර්බුදයෙන් මිදීමට ක්‍රියා කිරීමයි. කුළල් කා ගැනීමෙන් සිදු වන්නේ රට අගාධයට තල්ලු කිරීමයි. මේ නිසා අප පොදුවේ මෙන්ම තනි තනිව හෝ නැගී සිටිය යුතුය. ඒ අපේ දක්ෂතා දියුණු කරගෙන ඉන් අපට මෙන්ම රටට ද යමක් කිරීමේ අරමුණෙනි.

 

ජාතික ශිල්ප සභාව එතෙක් මෙතෙක් ලාංකේය අනන්‍යතාව පවත්වා ගනිමින් අත්කම් හා කලා විෂය ක්ෂේත්‍රවල දක්ෂයන් බිහි කළ ආයතනයකි. සෞන්දර්යය මුසු කලා නිර්මාණ, නව නිර්මාණ බිහි කිරීමේ ආයතනයකි. ඉන් ශිල්ප ඥානය ලබාගැනීම අතමිට සරුකර ගැනීමට, ව්‍යාපාරයක් ආරම්භ කිරීමට, ව්‍යවසායිකාවක් ලෙසින් ඉදිරියට ඒමට රුකුලක් වේ.

මෙවැනි වටිනා ආයතනයක අධ්‍යක්ෂිකාව ලෙසින් සේවය කරනා ඇය අපේ කාන්තාවන්ට ආදර්ශයක් වන්නේ තමා කරන දේ හරියට කිරීමෙන් ජාත්‍යන්තර පැසසුමට පවා පත්ව සිටින බැවිනි. ඇය නමින් චන්ද්‍රමාලි ලියනගේ ය. පවතින තත්ත්වය හමුවේ ජාතික ශිල්ප සභාවේ පුහුණුවෙන් අපට ලබා ගත හැකි දේ බොහෝ ය. ඇගේ ජීවන තොරතුරු සමඟින් අපි මේ පිළිබඳ ඇයගෙන්ම දැන ගනිමු.

කොලොන්නාව, වැල්ලම්පිටිය විද්‍යාවර්ධන විද්‍යාලයෙන් හා මරදාන ගෝතමී බාලිකාවෙන් ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරා ඇති ඇය වැල්ලවත්ත ශාන්ත ක්ලෙයාර් විද්‍යාලයෙන් 6 ශ්‍රේණියේ සිට අ.පො.ස. උ/පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරුවා ය. “මගේ පියා නිමල් සරත්චන්ද්‍ර ගුවන්විදුලියේ වැඩසටහන් සම්බන්ධ හා ලේඛන කලාවට සම්බන්ධව වැඩ කළ නිසා මම පුස්තකාල විද්‍යාවට ආසා කළා.

ඒ නිසා පුස්තකාල විද්‍යාව හැදෑරුවා. ඒ සම්බන්ධයෙන් උසස් අධ්‍යාපනයට යොමු වුණා. ඉන්පසුව සිරස මාධ්‍ය ආයතනයේ පුහුණුව ලැබුවා. පශ්චාත් උපාධි ආයතනයේ පුස්තකාලයේ තමයි මම මුලින්ම රාජකාරි කටයුතු කළේ.. ඉන් පසුව බිට්‍රිෂ් කවුන්සිල් වැනි ආයතන කිහිපයක ම කටයුතු කළා. ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ රාජ්‍ය කළමනාකරණපති පශ්චාද් උපාධිය ලබා ගත්තා.

ඒ අනුව මම 1988 ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ තොරතුරු නිලධාරී හා පුස්තකාලයාධිපති ලෙස කටයුතු කළා. ඉන් පසුව ක්‍රමයෙන් සහය අධ්‍යක්ෂ තොරතුරු සහ අලෙවි ලෙස උසස් වීම් ලැබුවා. ඉන්පසුවයි හස්ත කර්මාන්ත පැත්තට යොමු වුණේ... 2009 වසරේ දී ජාතික ශිල්ප සභාවට පැමිණියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, සංවර්ධන ලෙසයි.

හැම පළාතකම කාර්යාල ජාතික ශිල්ප සභාව තාක්ෂණික ඥානය, ශිල්පීය ඥානය වර්ධනය කරන හා ශිල්පීන්ගේ දක්ෂතා එළිදැක්වීම සඳහා ප්‍රදර්ශන පවත්වන, දක්ෂතම ශිල්පීන් තෝරා ජනාධිපති සම්මාන ලබා දෙන ක්‍රියාකාරී ආයතනයකි.

ලංකාව පුරා විසිරී සිටින අත්කම් නිර්මාණ ශිල්පීන් හඳුනාගෙන ඔවුන්ට තම දක්ෂතා දියුණුකර ගැනීමට අතහිත ලබාදෙනවා. හැම පළාතකම ඇති කාර්යාලවලට අමතරව දිස්ත්‍රික් කාර්යාල ද පවතින බැවින් එම ආයතනවලට දුරකථනයෙන් අමතා ඕනෑම අයකුට වැඩි විස්තර ලබා ගත හැකියි. ඊට අමතරව පුහුණු මධ්‍යස්ථානවල පුහුණු උපදේශකයන් සිටින අතර මේ වන විට දිවයින පුරා මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා.

ප්‍රධාන ක්ෂේත්‍ර 21ක් ඇතුළු ක්ෂේත්‍ර 57ක පමණ ප්‍රාදේශීය නිලධාරීන් ලවා දැනට හස්ත කර්මාන්ත කරන අය හඳුනාගෙන ඔවුන් එකතුකර කණ්ඩායම් සකසා තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික පුහුණුව, උසස් පුහුණුව, නව නිෂ්පාදන පුහුණුව මෙන්ම නිෂ්පාදන කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, උපකරණ ආදිය ද ලබා දේ. පසුගිය කාලයේ දී ගම්මාන 98කට ව්‍යවසායකත්ව සංවර්ධනය, උපකරණ, අමුද්‍රව්‍ය සපයා නිෂ්පාදන කිරීම සඳහා පහසුකම් සැපයුවා.

මේ වසරේ අපේ මූලික අරමුණ වන්නේ ශිල්පීන්ට තව දුරටත් මේ සම්බන්ධ විධිමත් පුහුණුවක් ලබා දී අපනයන මට්ටමට නිෂ්පාදන කිරීම සඳහා උනන්දු කරවීමයි. දැනටත් අපි ඒ කටයුතු සිදු කරමින් පවතිනවා.

දැනට අපේ අපනයන වෙළෙඳපොළ ලොව පුරා විසිර පැවතියත් වැඩි ගැනුම්කරුවන් ලෙසින් තායිලන්තය, රුසියාව, ඩුබායි ආදී රටවල් දැක්විය හැකියි. වාර්ෂිකව ඉන්දියාවේ පැවැත්වෙන හස්තකර්මාන්ත ප්‍රදර්ශනයට අපේ ශිල්පීන් සහභාගී කරවීමත් දැනට සිදු කරනවා. එයින් අපි ජාත්‍යන්තර වෙළෙඳපොළට අපේ නිර්මාණකරුවන් ඍජුවම සම්බන්ධ කරනවා.

 

වයස් සීමා

මේ පුහුණු වැඩසටහන් සඳහා සම්බන්ධ විය හැකිවන්නේ වයස 18-40 සීමාවේ අයට වුවත් වැඩ කිරීමට කැමැත්ත, හැකියාව ඇති අයට වයස් සීමාව ඉක්මවුවත් ඒ සඳහා සම්බන්ධ විය හැකියි. මෙහිදී අපේ පුහුණු මධ්‍යස්ථාන සමඟ පුහුණු හා නිෂ්පාදන මධ්‍යස්ථාන තිබෙන නිසා කැමැති අයට ඒවායෙහි නිෂ්පාදන කටයුතුවලට සම්බන්ධ වී ආදායම් ඉපයීමටත් පුළුවන්.

 

චිත්‍ර පුහුණුව

බත්තරමුල්ලේ ශිල්ප සභාවේ සාම්ප්‍රදායික චිත්‍ර පුහුණු වැඩසටහනක් තියෙනවා. ඒකට දුර පළාත්වල ඉඳන් ශිල්පීන් සහභාගී වෙනවා. මේ කලාව ඉගෙන ගත්තාම තමා කරන ඕනෑම නිර්මාණයකට එම චිත්‍ර භාවිත කරන්න පුළුවන්. මේක එක් උදාහරණයක් විතරයි. අපේ ආයතනයේ සුබසාධක වැඩසටහන් ද ක්‍රියාත්මකයි. ආයතනයේ ලියාපදිංචි වූ ආබාධිත වූ හෝ විශ්‍රාමික ශිල්පීන් වෙනුවෙන් අපි මාසික දීමනාවක් ලබා දෙනවා.

අපේ ආයතනයට 2019 වසරේ තිරසාර සංවර්ධනය සඳහා වූ ආයතනයක් ලෙසින් ජාත්‍යන්තර සම්මානයක් ලැබුණා. ඒ වගේම පෞද්ගලිකවත් ක්‍රාෆ්ට් අයිකන් ඔෆ් දි ඉයර් 2001 සම්මානය ලැබුණා.

ඕනෑම අයකුට අපේ www.lakshilpa.com වෙබ් අඩවියෙන් අලෙවි කටයුතු පිළිබඳ තොරතුරු දැනගැනීමට පුළුවන්. අත්කම් අලෙවිය, පාඨමාලා, උපදේශක වැඩමුළු ආදිය පිළිබඳ තොරතුරු දැනගැනීමට 0112787441, 0112177336(පුහුණු), 0112784424

(ලිපාපදිංචි හා සංවර්ධන) අංකයට අමතන්න.”

රටට අවශ්‍ය විදේශ විනිමය සොයන්න අපේ දේට වැඩි තැනක් දීමෙන් ඔබේ දක්ෂතා ඔස්සේ සිදු කළ හැකියි. රටේ ප්‍රගතියට ඔබටත් දායක වෙන්න මෙය හොඳ අවස්ථාවක්.

අයන්ති උඩුගම්පල

Tharunie