Tuesday, May 07, 2024
Follow Us
කැඩුණු බිඳුණු තැන් පිළිසකර කරන්න ඔබට ම පුළුවන්

අභියෝග පැමිණෙන්නේ ඔබ විනාශ කිරීමට නොවේ. ඔබගේ සැඟවුණු හැකියාවන් හඳුනාගැනීමටය. අප මේ ගෙවමින් සිටින්නේ ද එවැනි කාල පරාසයකි. ආර්ථික අභියෝග හමුවේ සියල්ල කඩා වැටී එකතැන නතර වී ඇති මොහොතක ඒ ආර්ථික දුෂ්කරතා මතින් ජීවිතය ජය ගන්නට අපේ ගෘහණියන් සැබෑ දක්ෂය. මේ කාලයේ අපට ඇත්තේ සිහින සැබෑකර ගැනීම වෙනුවට ඒ සඳහා පසුබිම තැනීමය. නිවහනක් තැනීමේ සිහිනය මඳකට කල් තබා තිබෙන නිවෙස පිළිසකර කර ගැනීම පවා මේ කාලයේ විශාල මුදලක් වැයවෙන කටයුත්තකි.

දක්ෂ ගෘහණියක් ලෙස ඔබටත් මුදල් වියදම් අවම කර ගන්නට අවශ්‍ය වෙන්නේ පුංචි දැනුමක් විතරයි. ඔබ බුද්ධිමත්ව කටයුතු කළොත් නිවෙසක තිබෙන බොහෝ අඩුපාඩු ඔබටම පහසුවෙන් පිළිසකර කර ගැනීමට පුළුවන්. ඒ විතරක් නොවෙයි ඔබේ අසල්වැසියන්ටත් උදව් කරන්න පුළුවන්.

අප මේ ලිපියෙන් උත්සාහ කරන්නේ ඔබේ ඒ දැනුමට අත්වැලක් වෙන්න. ඒ සඳහා නිවෙසක පුංචි පුංචි මෙවලම් හා උපකරණ කිහිපයක් තිබීම ඉතාම ප්‍රයෝජනවත් වේවි. අපි මුලින්ම නිවෙසක පුංචි පුංචි නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය වෙන මූලික උපකරණ පිළිබඳ දැනුවත් වෙමු. ඇතැම්විට මේ උපකරණ බොහෝවිට ඔබගේ නිවෙසේ තිබේවි. ඒ තිබුණත් ඒ උපකරණවලින් ගතහැකි ප්‍රයෝජනය ගැන ඔබට අවබෝධයක් නොවේවි. ඉදිරියේදී අප ඒ ගැනත් වඩාත් හොඳින් කතා කරමු.

ඉනිමඟක් - නිවෙසක ඉහළ ස්ථානයකට නැඟීම සඳහා ඉනිමඟක් හැම නිවෙසකම තිබීම ප්‍රයෝජනවත්ය. එය ලීයෙන් තනාගැනීම කළ හැකියි. නැතිනම් ඇලුමිනියම් මඟින් සකස් කළ ඉනිමඟක් මිල දී ගැනීමට අවස්ථාව ඇත.

මිටියක්,‍ අඬුවක්, ඉස්කුරුප්පුනියනක්, ටෙස්ටරයක් (විදුලි පරීක්ෂා කිරීම සඳහා) බදාම හැන්දක්, නියනක්, යකඩ කපන කියතක්, යකඩ කපන කියත්තල කිහිපයක්, ජලනල අලවන ගම් බෝතලයක්, වැලි කඩදාසියක්, මල් ඉස්කුරුප්පු නියනක්, උදැල්ලක්, යකඩ ඉන්නක්, සවලක්, තාච්චියක්, වැලි හලාගත හැකි සල්ලඩයක්, මිටියක්, අත්වැසුමක්, ආරක්ෂක තොප්පියක්, පිහියක්, කුඩා යකඩ කටුවක්. තලවල කුණු ඉවත් කරන රබර් සකරයක් ආදිය ඔබේ නි‍ෙවසේ තිබිය යුතුයි.

ඊට අමතරව එදිනෙදා මතුවන ගැටලු හමුවේ ප්‍රයෝජනවත් වන කුඩා උපකරණ මිලදී ගැනීම ඔබ විසින් තීරණය කළ යුතුය. විශේෂයෙන් ගෘහණියක් ලෙස නිවෙස පිරිසුදු කිරීම සඳහා අවශ්‍ය මූලික

 

 

උපකරණ ආදිය ඔබ විසින් තීරණය කර ඒවා මිල දී ගත යුතුය.

 

වහලය පිළිසකර කර ගැනීම

මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමඟ ඔබ පදිංචි නිවෙසේ වහලය කොතැනකින් හෝ තෙමෙන්නට ඉඩ තිබේ. මෙවැනි අවස්ථාවක ඒවා පිළිසකර කිරීම සඳහා කාර්මිකයකු යොදාගත් විට විශාල මුදලක් ගෙවීමට සිදුවෙයි. තවද මේ කාලයේ ගොඩනැඟිලි උපකරණවල මිල අධික නිසා ඒ සඳහා අලුත් සෙවිලි උපකරණ යෙදීම ද පහසු නොවෙයි. මේ සඳහා කාර්මිකයකු යොදා ගත් විට ඔබට ඇතැම්විට ඔහුගේ උපදෙස් මත අලුතෙන් ඒවා යෙදීමට සිදුවුවහොත් ඒ සඳහා විශාල මුදලක් වැයවනු ඇත.

 

වහලය

නිවෙසක වහලයට බොහෝ දෙනෙක් පෙර කාලයේ යෙදුවේ උළුකැට, ඇස්බැස්ටෝස් නැතිනම් තහඩු. මේ කාලයේ ඒ සඳහා විවිධ වර්ගයේ ඇලුමිනියම් තහඩු, පයිබර් තහඩු යොදා ගන්නවා. මේ කුමන වර්ගයක සෙවිලි උපකරණ යෙදුවත් කාලයක් ගතවන විට මේවා පිළිසකර කිරීම කළ යුතුමයි. විශේෂයෙන්ම වැහි කාලයේදී තමයි වහලය තෙමෙන්න පටන් ගන්නේ. තහඩු අතර කුණු රොඩු සිරවීම නිසා යි. සමහර විට උළු යෙදුවොත් ඒවා කැඩෙන්නත් ඉඩ තිබෙනවා. ඇතැම්විට මුදුන් උළු ගැලවිලා, ඒ අතුරින් ජලය කාන්දු වෙනවා. මේ නිසා වහලයේ ලී, පරාල තෙමෙන්න පටන් ගන්නවා. ඕනෑම වහලයක් වසර කිහිපයක් ගතවෙන විට මේ ගැටලු ඇතිවෙනවා.

 

සරල පිළියම්

වහලයක උළු හෝ තහඩු තෙමෙන විට කළ හැකි සරල පිළියම තමයි ඒ තෙමෙන ස්ථානය මුලින්ම වසා දැමීම. මේ කාලයේ දී එවැනි කටයුත්තක් ඔබටම කර ගන්න පුළුවන් සරල ක්‍රමයක් තමයි තහඩුවක් නමා එම ජල කාන්දුව සිදුවන ස්ථානයට ගැසීම. ඔබ කළ යුත්තේ කුඩා ටින් කැබැල්ලක් ගෙන එය හොඳින් තළා මට්ටම් කර ගැනීමයි. ඉන්පසුව නිශ්චිතවම තෙමෙන ස්ථානය හඳුනාගෙන එම ස්ථානයට ප්‍රවේශමෙන් ඔබ නමාගත් තහඩු කැබැල්ල ඇතුළු කිරීමයි. එවිට ජලය කාන්දුවන ස්ථානයේ සිදුර වැසී නැවතත් පහළ ඇති තහඩුව ජලය ගමන් කරයි. තවද මේ සඳහා ඔබට කුඩා තාර සීට් කැබැල්ලක් යෙදීම ද කළ හැකි අතර ඒ සඳහා අවශ්‍ය ප්‍රමාණයට තාරෂීට් මිල දී ගැනීම කළ යුතුය. ටින් කැබැල්ලක් හෝ තාරසීට් කැබැල්ලක් යොදා තාවකාලිකව තෙමෙන ස්ථානය වසා දැමීම ඔබට කළ හැකි වන්නේ උළු වහලයකටය. ඇස්බැස්ටෝස් හෝ සෙවිලි තහඩු යෙදූ වහලයක් තෙමෙන විට එය පිළිසකර කිරීම සඳහා වෙනත් තහඩුවක් යෙදීම හෝ ඒ තෙමෙන සීමාවම ආවරණය වන ලෙසින් තාරසීට් කැබැල්ලක් යෙදීම තාවකාලික පිළියමයි.

 

 

මුදුන් උළුකැට පිළිසකර කිරීම

 

බොහෝ විට වහලයක් තෙමෙන්න හේතුවක් වෙන්නේ මුදුන් උළුකැට සඳහා බදාම නිසි ආකාරව නොයෙදීම. මේ සඳහා යොදන නියම ප්‍රමිතිය තමයි සිමෙන්ති, හුණු, වැලි 1 : 1: 5 කියන අනුපාතයට යෙදීම. බොහෝ විට මේ ප්‍රමිතියට නොයෙදීම නිසා බදාම පුපුරා ගැලවීයනවා. ඉන්පසුව ජලය කාන්දු වෙනවා. ඒ නිසා ඔබේ වහලය තෙමෙන ස්ථාන හා මුදුන් උළු දැමූ ස්ථාන හොඳින් පරීක්ෂා කරන්න. මුදුන් උළු සඳහා නැවත බදාම යොදන විට නියම ප්‍රමිතියට ම ඒ කටයුත්ත සිදුවේ දැයි හොඳින් පරීක්ෂා කරන්න. එසේම ඔබේ නි‍ෙවසේ වහලය තෙ‍මෙන විට පරාල ගැන හොඳින් පරීක්ෂාකර බලන්න . වහලයේ මුදුන් යට ලීය හෝ පරාල දිරා යාමෙන් සිදුවන හානිය නිසා ඉතා කෙටි කාලයකින් ඔබට විශාල පාඩුවක් සිදුවිය හැකියි.

 

උපදෙස්:
අජන්ත කාරියවසම්
ගොඩනැගිලි
තාක්ෂණ ඉංජිනේරු

Tharunie