Sunday, May 05, 2024
Follow Us
ඔබේ නිවෙස් විදුලි උපකරණ රැකගන්න

ප්ලග් ටොප් ගැන හරියට දැනගන්න

විදුලිය ජීවත්වීමේ දී නැතුවම බැරි දෙයක්. ඒත් අවබෝධ්‍යක් නොමැතිවීම, නොසැලකිලිමත් බව වැනි කාරණා නිසා විදුලියෙන් අනතුරු සිදුවීමත් බහුලවම දැකිය හැකියි.

අපේ මේ ලිපි පෙළෙන් කතා කරන්නේ නිවෙසක විදුලි පරිපථවල ඇතිවන පුංචි පුංචි දෝෂ මොනවාද? පහසුවෙන් පිළිසකර කළ හැකි එම දෝෂ නිසි ලෙස පිළිසකර නොකළහොත් ඇතිවිය හැකි භයානක ප්‍රතිවිපාක පිළිබඳවත්ය.

තමාටම එම දෝෂ නිවැරැදි කර ගැනීමට හෝ කාර්මිකයකු ලවා ඒවා පිළිසකර කරවා ගැනීමට හෝ ගෘහණියකට මේ දැනුම අතිශයින්ම වැදගත් වෙයි.

අද අප විදුලි පේනු ගැන දැනුම්වත් වෙමු.

“මිගාර ප්ලග් ටොප් වර්ග දෙකක් තියෙන්නෙ මොකටද? අලුතෙන් එන හැම විදුලි උපකරණයකට ම එන්නෙ හතරැස් පින්. ඒත් හුඟක් ගෙවල්වල තියෙන ප්ලග් බේස්වලට කැටයක් ගන්න වෙනවා. හරි වදයක් වගේම අමතර වියදමක්නෙ ඒක?“

පූර්ණිමා කතා කළේ නොරිස්සුමෙන්.

“අන්න ඒකත් කතා කරන්න ඕනෙ මාතෘකාවක් තමයි පූර්ණි. මම දැන් කියලා දෙන්න හදන්නෙ ප්ලග් බේස්වලයි (විදුලි කෙවෙනි) ප්ලග් ටොප්වල (විදුලි පේනු) තියෙන විශේෂතා ගැන. ඒක ආරක්ෂාවටත් විශේෂයෙන්ම වැදගත් වෙන කාරණාවක්.“

“මොනවද ඒවයෙ තියෙන විශේෂතා... කරන්ට් එක ගන්නවා ඇරෙන්න?“

“එහෙම තමයි වැඩි දෙනෙක් හිතාගෙන ඉන්නෙ. ඒ නොදැනුවත්කම ජීවිතවලට වගේම විදුලි උපකරණවලටත් හානි කරන අවස්ථා යෙදෙන බව දැනගෙන ඉන්නම ඕනෙ පූර්ණී.“

මිගාර කිව්වේ බැරෑරුම් හඬකින්.

“සිංහල යෙදුම ‘විදුලි පේනු‘ වුවද එය දන්නා අය අතිශය විරළය. ඔබ වෙළෙඳසලට ගොස්, “මට විදුලි කෙවෙනියකුයි, පේනුවකුයි දෙන්න“ යැයි පැවසුවහොත් වෙළෙඳ සේවකයා උඩ බිම බලනු ඇත. ඒ නිසා කවුරුත් දන්නා පරිදි Plug Base සහ Plug Top කියා සඳහන් කිරීම නිරවුල් ය.

ප්ලග් බේස් වර්ග තුනකි. (විදුලි කෙවෙනි) එනම්,

01. ඇම්පියර් පහ ප්ලග් බේස් (5A Plug Base)

02. ඇම්පියර් දහතුන ප්ලග් බේස් (13A Plug Base)

03. ඇම්පියර් පහළොව ප්ලග් බේස් (15A Plug Base)

දැන් මේවායේ සුවිශේෂතා වෙන් වෙන් වශයෙන් විමසා බලමු

 

01. ඇම්පියර් පහ ප්ලග් බේස් (5A)

නිවාසවල බහුල වශයෙන් භාවිත වන්නේ මෙම වර්ගයේ විදුලි කෙවෙනි ය. නිවෙස්වල භාවිතවන විදුලි උපකරණ බොහොමයක් නිර්මාණය වී ඇත්තේ ඇම්පියර් පහ ප්ලග් බේස් සඳහා ය. ඇම්පියර් පහට වඩා වැඩියෙන් විදුලි ධාරාවක් ලබා ගන්නා උපකරණ සඳහා මෙම විදුලි කෙවෙනි භාවිත කිරීම සුදුසු නොවේ. මේවායින් විදුලිය ලබා ගැනීමේ දී භාවිත කළ යුතු වන්නේ ද ඇම්පියර් පහේ විදුලි පේනු ය. (Plug Top)

 

02. ඇම්පියර් දහතුන ප්ලග් බේස්

(13A)

මේවායින් විදුලිය ලබා ගැනීම සඳහා ඇම්පියර් දහතුන ප්ලග් ටොප් යොදා ගත යුතුය. මෙම ප්ලග් බේස් සඳහා තනි විලායකයක් (Fuse) යොදා ගැනේ. පරිගණක සඳහා විදුලි බලය ලබා ගන්නේ ඇම්පියර් දහතුන ප්ලග් බේස් මඟිනි.

 

03. ඇම්පියර් පහළොව ප්ලග් බේස්

(15A)

මෙම ප්ලග් බේස් විශේෂය ඇම්පියර් 5 ප්ලග් බේස් වලට වඩා විශාල කෙවෙනි සහිතය. ඒ සඳහාම වන ප්ලග් ටොප් යොදා ගැනේ. මේ සඳහා ද තනි විලායකයක් යොදා ගැනෙන අතර සාමාන්‍ය විදුලි රැහැනට වඩා විශාල ද්විත්ව වයරයක් (Two Core) භාවිත වේ. එසේම ඇම්පියර් 13 ප්ලග් බේස් සඳහා යොදා ගැනෙන ලෙස විලායකයක් (Fuse) හෝ මයික්‍රෝ සර්කිට් බ්‍රේකරයක් (Micro Circuit Breaker) යොදා ගැනීම අනිවාර්ය ය. ගෘහස්ථ වතුර මෝරය සඳහා යොදා ගැනෙනුයේ ඇම්පියර් පහළොව ප්ලග් බේස් ය. එමෙන්ම ඇම්පියර් පහළොවකට වැඩි විදුලි ධාරාවක් ලබා ගන්නා විදුලි උපකරණ සඳහා ද භාවිත වනුයේ මෙම වර්ගයේ ප්ලග් බේස් ය.

ඉහත සඳහන් ප්ලග් බේස් මගින් විදුලිය පිටතට ගැනීමට යොදා ගැනෙනුයේ ප්ලග් ටොප් හෙවත් විදුලි පේනුය. මේවා දෙආකාරය. එනම්,

01. දෙ කූරු පේනු

(Two Pin Plug Top)

02. තුන් කූරු පේනු

(Three Pin Plug Top)

* ටූ පින් ප්ලග් ටොප්

(Two Pin Plug Top)

මෙම වර්ගයේ ප්ලග් ටොප්වල දක්නට ලැබෙන්නේ ලෝහමය කූර (අග්‍ර) දෙකක් පමණි. එය පේනුවේ (Current) වයරය (Live wire) සහ නියුට්‍රල් වයරය (Neutral) සමඟ සම්බන්ධතාවය ඇති කර ගනී.

මෙවැනි ටූ පින් ප්ලග් ටොප් යෙදෙනුයේ විදුලි උපකරණවල පිටත ආවරණය ප්ලාස්ටික්, රබර් වැනි ද්‍රව්‍යයකින් තනා ඇත්නම් පමණි.

නිදසුන් ලෙස ගුවන් විදුලි සහ රූපවාහිනී යන්ත්‍ර‍, බ්ලෙන්ඩර් ආදිය පෙන්වා දීමට පුළුවන.

 

ත්‍රී පින් ප්ලග් ටොප් (Three Pin plug Top)

මේවායේ අග්‍ර හෙවත් ලෝහමය කුරු තුනක් දක්නට ලැබේ. මෙහි දක්නට ලැබෙන තුන්වැනි අග්‍රය සම්බන්ධ වන්නේ අර්ත් වයරයටයි. මෙම ත්‍රී පින් ප්ලග් ටොප් භාවිත වන්නේ විදුලි උපකරණය පිටතින් ලෝහ ආවරණයක් යොදා ඇති විටෙකය. යම් ලෙසකින් උපකරණයේ විදුලි කාන්දුවක් සිදුවුවහොත් එය පිටත ආවරණයට ගලා ඒම බොහෝ දුරට සිදුවේ. මෙය උපකරණය ක්‍රියා කරවන්නාගේ ජීවිතයට තර්ජනයකි. එවැනි අවස්ථාවක හානිකර විදුලි කාන්දු ධාරාව පිට දකිනුයේ භූගත සම්බන්ධතාව තුළින්.

“ඔය කියන විදිහෙ උපකරණ මොනවද මිගාර?“

පූර්ණිමා විමසුවේ විදුලි සැර වැදුණා සමාන හැඟීමක් ඇති වූ බැවිනි.

“ගෙදරක වැඩිපුරම භාවිත කරන්නේ ඒ වගේ ඒව තමයි ළමයො... අයන්‍, හීටර්, හොට් ප්ලේට්, අවන්... ඔය වගේ දේවල් ගෙදරක හැමෝම පාවිච්චි කරනවනෙ.“

“අම්මෝ.... ඇත්තමයි.... අනේ මිගාර අපේ අර්ත් වයර් කනෙක්ෂන් එකේ අවුලක් නැහැ නේද?“

පූර්ණිමා බියපත්ව ඇසුවාය.

“ඒක ඇක්ටිව් පූර්ණි. ඒ වුණත් ගෙදරක තියෙන අවදානම්ම විදුලි උපකරණ තමයි... අයන් එකයි හීටර් එකයි. මම එකට හොඳම සත්‍යම උදාහරණයක් ලබන සතියෙ කියන්නම්කො.“

(Tharunie)