උඩවැඩියා එහෙමත් නැතිනම් ඕකිඩ් යනු නේක වර්ණ රටා පිරුණු සොඳුරු මල් ලෝකයේ ආඩම්බරකාරියයි. සිය දැකුම්කලු පෙනුමෙන් බොහෝදෙනකුගේ නෙත සේම සිත ද දිනාගත් ඕ ගෙමිදුලට රැගෙන එන සුන්දරත්වය පුදුමාකාරය.
එමෙන්ම ආර්ථිකය ඉහළ නංවන වගාවක් ලෙසින් ද ඕකිඩ් වගාවට හිමිවන්නේ ඉහළ ඉල්ලුමකි. එහිදී මනා අස්වැන්නක් ලැබිය හැකි, වැඩි වටිනාකමක් සහිත ඕකිඩ් වර්ග තෝරා බලා වගා කිරීම වඩාත් වාසිදායක වේ. මෙහිදී ඩෙන්ඩ්‍රෝබියම් සේම වැන්ඩා වර්ගයේ ඕකිඩ් ද මනා අස්වැන්නක් ලබා දේ.
ඒ අනුව අද අපි ස්ට්‍රැප් වැන්ඩා වගාවක් පවත්වාගෙන යන ආකාරය පිළිබඳ සොයා බලමු.
ස්ට්‍රැප් වැන්ඩා
ගෙමිදුලේ සුන්දරත්වයට නොව ඔබ ආර්ථික වගාවක් ලෙසින් ස්ට්‍රැප් වැන්ඩා වර්ගයේ ඕකිඩ් වගා කරන්නේ නම් එය ඉතා කුඩා පැළවලින් ආරම්භ කිරීම යෝග්‍ය වේ. මෙහිදී කුඩා පැළ දැල් පෝච්චි තුළ හෝ සිදුරු සහිත මැටි බඳුන්වල වගා කළ හැකියි. එමෙන්ම සිටුවා ගත් මේ පැළ පළමු මාස කිහිපය තුළ අධික වර්ෂාවෙන් ආවරණය කරගන්නටත් ඔබ වගබලා ගන්න.
වගා මාධ්‍යය
ස්ට්‍රැප් වැන්ඩා සඳහා විශාල වශයෙන් වගා මාධ්‍යය භාවිත කිරීම අවශ්‍ය නොවේ. තරමක ප්‍රමාණයේ අඟුරු කැබැල්ලක් සහ උළුකැට කැබැල්ලක් මෙහි රෝපණ මාධ්‍ය ලෙස ඔබට භාවිත කළ හැකියි.
සෙවණ
කුඩා ස්ට්‍රැප් වැන්ඩා පැළෑටියේ මුල් හොඳින් වැඩී එය පැළෑටියක් ලෙසට ස්ථාවර වනතෙක් 60%ක් පමණ සෙවණ සපයන්නට වගබලාගන්න. ඉන්පසුව 50%ක සෙවණ සහිතව දැල් යට එළිමහනේ වගා කළ හැකි වේවි.
බඳුන් මාරු කිරීම
කුඩා ප්‍රමාණයේ වැන්ඩා පැළ දැල් බඳුන්වල හෝ මැටි බඳුන් තුළ සිටවුවද ඒවා තරමක් වර්ධනය වද්දී වෙනත් බඳුන්වලට මාරු කිරීම කළ යුතුයි.
එහිදී තරමක් වැඩුණු පැළෑටි ලී පටි හෝ ප්ලාස්ටික්වලින් සාදාගත් බාස්කට් (Crates) වලට මාරු කිරීම සුදුසුය. තරමක් දුරට ස්ථාවරව වැඩුණු පැළෑටිය දැල් පෝච්චියෙන් පරෙස්සමට ගලවා මේ බාස්කට් හෝ ලී බඳුන මත සිරස්ව සිටින සේ තබාගන්න.
අනතුරුව පැළෑටිය එහාමෙහා නොවන පරිද්දෙන් කුඩා ප්ලාස්ටික් කෙන්දකින් හෝ වයර් කැබැල්ලකින් පතුළට තබා ගැටගසන්න. මෙම බාස්කට් මීටර් 2 1/2ක් පමණ උස මැස්සක ඔබට එල්ලා තැබිය හැකිය. මෙහිදී පොළොව මට්ටමේ සිට
මීටර් 01ට වඩා වැඩි උසකින් මෙම බාස්කට් එල්ලා තැබිය යුතු බව මතක තබාගන්න.
පළමු මල් කිනිත්ත
සාමාන්‍යයෙන් කුඩා ස්ට්‍රැප් වැන්ඩා පැළයකින් ඔබේ වගාව ආරම්භ කළහොත් පළමු මල් කිනිත්ත දැකිය හැකි වන්නේ
අවුරුදු තුනක් පමණ ගතවූ පසුවයි. අනතුරුව තවත් අවුුද්දකින් පමණ පසුව, එනම් පැළ සිටුවා වසර 04ක් ගතවන විට
විශාල මල් සහිත ස්ට්‍රැප් වැන්ඩා කිනිති දැකිය හැකියි.
මෙම ඕකිඩ් වර්ගයේ ගසක වසරකට මල් කිනිති 04ක් පමණ හට ගන්නවා ඇත.
කප්පාදු කිරීම
මෙම පැළයේ උස වැඩිවන විට කප්පාදුවකට ලක් කළයුතු වේ. එහිදී මුල් කිහිපයක් සමඟ ශාකයේ උඩ කොටස ඉවත් කිරීමට වගබලාගන්න. එම කොටස පරෙස්සමට අලුත් බඳුනක සිටුවා නව ශාකයක් ලෙසින් රැකබලා ගන්න. ඉතිරි වූ ශාක කොටසින් ද පැති පැළ හටගන්නා
අතර මාස කිහිපයකට පසුව ඒවාද ඔබට වෙන්කර අලුත් පැළ ලෙසින් සිටුවා ගත හැකිය. මෙලෙස ඔබේ පළමු වගාවේ පැළවලින් ක්‍රම ක්‍රමයෙන් වගාව පුළුල් කරගත හැකි වේ.
ස්ට්‍රැප් වැන්ඩා ඕකිඩ් හොඳින් වැඩෙන්නට නම් කලට වේලාවට ජලය සේම පොහොර ද සැපයිය යුතු වේ. ක්‍රමානුකූලව එය කළයුතු ආකාරය අපි ලබන සතියේ දී දැනගනිමු.
(Tharunie)