Thursday, January 02, 2025
Follow Us
කුණු කූඩයට දමන සාදික්කා ලෙල්ලෙන් කටට රසට කෑම

නොසිතූ නොපැතූ මොහොතක පැමිණි කොරෝනා වසංගතය අපේ ජීවිත උඩුයටිකුරු කළා. සැහැල්ලුවෙන්, ප්‍රීතියෙන් ගෙන ගිය ජීවන රටාව අකර්මණ්‍ය කරමින් පැමිණි මේ ව්‍යසනය හමුවේ අපි හැමෝම ආර්ථික වශයෙන් ද දැඩි පසුබෑමකට ලක් වුණා.

බොහෝ දෙනකුට රැකියාව පමණක් නොව ජීවිත පවා අහිමි කළ මේ කොරෝනාව හමුවේ අමතර ආදායමක් ලබාගන්න තමයි මේ දිනවල හැමෝම වෙහෙසෙන්නේ. ඒ විතරක් නෙමෙයි කෑම බීම පවා සපයා ගැනීම දුෂ්කර වූ මේ කාලවකවානුව තුළ අලුත් අලුත් කෑම වර්ග අත්හදා බලන්නටත්, ඒවා නිර්ලෝභීව අන් අය වෙත තිළිණ කරන්නටත් අපේ උදවිය අමතක කරන්නේ නැහැ.

අන්න ඒ වගේ මෙතෙක් කාලයක් රස නොවිඳි, ඇතැම්විට අහලවත් නැති ආහාර කිහිපයක් තමයි අද අපි ඔයාලට රැගෙන ආවේ. දේශීය රසකාරක භෝග වගාව විශේෂාංගය ඔස්සේ පසුගිය දිනවල සාදික්කා වගාව ගැන කියා දුන්නා ඔබට මතක ඇති. ඉතින් ඒ සාදික්කා ගෙඩියෙන් ඉවතලන පොත්ත උපයෝගී කරගෙන සකස් කරගත් ආහාර තමයි මෙලෙස ඔබට පිරිනමන්නේ. ඉතින් අමතර ආදායමක් ලබා ගත හැකි ස්වයං රැකියාවක් විදියටත් ඔබට මේ ආහාර සකසා ගන්නට පුළුවනි.

එහෙම නම් ඉතින් ඔබත් හදලා රස විඳලම බලන්න කෝ....

 

උපදෙස් - මහනුවර

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ,

දිස්ත්‍රික් ව්‍යාප්ති නිලධාරී

හිල්ඩා කුමාරි සෝමලතා

විශේෂ ස්තූතිය - අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ

මාධ්‍ය හා සන්නිවේදන අංශයේ

දිශාන්ති නිරෝෂා කොඩිතුවක්කු

ජායාරූප - ලසන්ත අබේරත්න

 

 

වටකුරු කුඩා ටෙනිස් බෝලයක හැඩැති සාදික්කා ගෙඩිය පැසෙනවිට කහ පැහැයට හැරේ.

හුරුබුහුටි පෙනුමක් ගන්නා මේ ගෙඩිය මේරූ පසු එහි ලෙල්ල හෙවත් පිට පොත්ත පිපිරී ඇතුළත තිබෙන වසාවාසි රත් පැහැයෙන් දක්නට ලැබේ.

සාදික්කා ගසක ගෙඩි මේ ආකාරයට පැසුණු පසු අස්වනු නෙළා ගත හැකියි. මෙහිදී ලෙල්ල හෙවත් පිට

පොත්ත ගලවා ඉවත් කරනු ලැබේ. අනතුරුව එහි මැද කොටස වූ කළු පැහැ සාදික්කා ඇටයත්, එය වටා දැලක් මෙන් බැඳී ඇති රතු පැහැති කොටස වසාවාසි ලෙසත් ලබා ගනියි. ඒවා අපේ මුළුතැන්ගෙයි ආහාර රස ගන්වන රසකාරකයි.

මේ ආකාරයට සාදික්කා ගෙඩියෙන් ප්‍රධාන කුළුබඩු දෙකම වෙන්කර ගැනීමෙන් අනතුරුව ඉවත් කළ ලෙල්ල විසිකිරීම සාමාන්‍ය සිරිතයි. ඔබත් සාදික්කා වගාවේ නියැලී සිටින්නේ නම් එහෙමත් නැත්නම් ඔබේ ගෙදර සාදික්කා ගසක් ඇත්නම් මෙතෙක් දවසක් සාදික්කා සහ වසාවාසි ලබාගෙන නිසැකයෙන්ම පොත්ත ඉවතලන්නට ඇති.

නමුත් මෙලෙස කුණු කූඩයට විසි කරන සාදික්කා ලෙල්ලෙන් රසවත් කෑම වර්ග කිහිපයක්ම සාදා ගැනීමේ හැකියාව ඇති බව ඔබ නොදන්නවා ඇති. මේ ආහාර වැඩි වියදමක් නොදරාම නිවෙසේ දී ඉතා පහසුවෙන් සාදා ගත හැකියි. එපමණක් නොව ස්වයං රැකියාවක් ලෙස මේ ආහාර වර්ග සැකසීම කළ හැකි නම් අමතර ආදායමක් ලබා ගන්නට ද පුළුවනි.

මෙම සෑම නිෂ්පාදනයක් සඳහාම ඔබට අවශ්‍ය වන්නේ හොඳින් මේරූ සාදික්කා ලෙල්ලයි. එයට අමතරව සීනී, ලුණු සහ මෙම නිෂ්පාදන වැඩි කල් තබා ගැනීමට එකතු කරන පොටෑසියම් (හෝ සෝඩියම්) මෙටා බයිසල්පේට් ඉතා සුළු

ප්‍රමාණයක් සහ සිට්‍රික් අම්ලයයි. මේවා ඔබට පහසුවෙන්ම වෙළෙඳපොළන් මිලදී ගත හැකිය. ඒ හැරුණුකොට මේ නිෂ්පාදන සඳහා වෙනත් ස්වභාවික ද්‍රව්‍ය කිහිපයක් ද භාවිත කරන අතර ඒවා ඔබ සකසන නිෂ්පාදන අනුව අවශ්‍ය වේ.

(Tharunie)