Friday, April 19, 2024
Follow Us
සාදික්කා වගා කර අතමිට සරු කර ගනිමු.

කවුරුත් ගෙදර ඉන්න දවසක හැමෝටම සතුටින් රස විඳින්න රසම රස වටලප්පන් පුඩිමක් හැදුවයි කියමුකෝ. හැබැයි ඉතින් සාදික්කා ගෙඩියකින් පොඩ්ඩක් කුරුටු ගාලා එකතු නොකළෝතින් ඒක රසවත් හෝ සුවඳවත් වටලප්පමක් නෙවෙයි.

ඉතින් සාදික්කා සහ වසාවාසි යන කුළුබඩු වර්ග දෙකම ලබාදෙමින් මුළුතැන්ගෙයි ඉවුම් පිහුම් රසවත් කරනා සාදික්කා පැළයක් ඔබේ ගෙවත්තේත් සිටුවා ගතහොත් අපූරුයි නේද ? මේ කුළුබඩු ඔබේ ප්‍රයෝජනයට යොදා ගන්නවා පමණක් නොව එය හොඳ අනාගත ආයෝජනයක්.

එහෙමනම් අද අපි සාදික්කා පැළයක් ගෙවත්තේ සිටුවා රැක බලාගන්නා ආකාරය සොයා බලමු .

සාදික්කා කියන්නෙ තරමක් විශාලව වැඩෙන ශාකයකි. වැඩුණු ගසක් මීටර 10ත් 15ත් අතර උසකට වර්ධනය වෙනවා. ඒ නිසා මේ වගාවෙ දී ඔබේ ගෙවත්තේ ඉඩකඩ ගැනත් කල්පනාකාරී වෙන්න ඕනෑ. ඉතින් ඔබේ ගෙවත්ත ඉඩකඩ සහිත නම් බීජ පැළ සිටුවීමට සුදුසුයි. හැබැයි ඉඩකඩ අඩු වුණා කියලත් ගැටලුවක් නැහැ. ඔබට සාදික්කා බද්ධ පැළයක් සිටුවාගන්නටත් පුළුවනි.

ඒ නිසා අපි මුලින්ම ඉඩකඩ සහිත ගෙවත්තක බීජ පැළ හදාගන්න ආකාරය බලමු.

 

පැළ තෝරා ගැනීම

සාමාන්‍යයෙන් සාදික්කා ගසේ ගැහැනු මල් සහ පිරිමි මල් යනුවෙන් වෙන වෙනම මල් හට ගනී. ඒ කියන්නේ ගැහැනු ගස් හා පිරිමි ගස් කියලා අපට ගස් වෙන් කරගත හැකියි.

හැබැයි ඔබ දන්නවා ගෙඩි හැදෙන්නේ ගැහැනු ශාකවල පමණයි. නමුත් ඵල දරන්න එක් පිරිමි ගසක් හෝ

තිබීම අත්‍යවශ්‍යයි. ඒ වගේම බීජ පැළයක් පීදෙනකම් එය ගැහැනු ගසක් ද එහෙමත් නැතිනම් පිරිමි ගසක්ද කියලා හඳුනා ගන්නත් අපහසුයි.

මේ හේතුව නිසාම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් බීජ පැළ ලබාදෙන විට සැමවිටම පැළ තුනක් ලබා දෙනවා.

එබැවින් ඔබ සාදික්කා පැළ මිලදී ගන්නවා නම් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පැළ තවානකින් සහතික කරනලද පැළ තුනක් තෝරා මිලදී ගන්නට සැලකිලිමත් වන්න.

මෙහිදී තවාන තුළ වසර 1 1/2ක් පමණ ඇතිදැඩි කරනලද පැළයකුයි සිටුවීම සඳහා ඔබට ලබාදෙන්නේ. ඒ වගේම ඔබ තෝරගත් පැළ අඩියක් පමණ උස, අතු බෙදීම ආරම්භ වූ නිරෝගී පැළ විය යුතුයි.

 

සුදුසු ස්ථානයක්

දැන් ඔබ කළ යුත්තේ ගෙවත්තේ පැළ සිටුවා ගැනීම සඳහා සුදුසු තැනක් තෝරා ගැනීමයි.

මේ සඳහා හොඳින් ජලය බැසයන මැටි සහිත පසක් එහෙමත් නැතිනම් කාබනික ද්‍රව්‍ය බහුල වැලි මිශ්‍ර මැටි පසක් තිබීම වඩා සුදුසුයි. වියළි දේශගුණික තත්ත්ව සහිත පරිසරයක නම් සාදික්කා වගාව එතරම් සාර්ථක වෙන්නේ නැහැ. ඒ වගේම තදින් සුළඟ හමන්නේ නැති පරිසරයක් වෙන්නත් ඕනෑ.

 

සෙවණ

සාදික්කා පැළයට වයස අවුරුදු 3ක විතර කාලයක් හොඳින් සෙවණ ලබාදීමට ඔබ වග බලා ගත යුතුයි. ඒ නිසා ඔබ

තෝරාගත් ස්ථානය සෙවණ සහිත ස්ථානයක් බවට පත්කිරීම‍යි මුලින්ම කළයුත්තේ. ඒ සඳහා ග්ලිරිසීඩියා, එරබදු එහෙමත් නැත්නම් කෙසෙල් පැළ ටිකක් සිටුවා ගත හැකියි. සෙවණ පැළ සිටුවා මාස 6ක් පමණ ගත වූ පසුවයි අපි සාදික්කා පැළ සිටුවා ගන්නේ.

අනතුරුව සාදික්කා පැළ අවුරුදු තුනක් පමණ වර්ධනය වූ පසුව මේ සෙවණ ශාක ඉවත් කළ යුතුයි. මන්ද ඒ වනවිට සාදික්කා ශාකවලට හොඳින් හිරු එළිය පතිත වීමට ඉඩ හැරිය යුතු බැවිනි. ඒ වාගේම සෙවණ ශාක වගාව වෙනුවට ඔබට පොල් අතු මඟින් තාවකාලික සෙවණක් ලබා දෙන්නත් පුළුවනි.

 

වළවල් සකසා ගැනීම

ඔබ තෝරාගත් සාදික්කා පැළ තුන එකිනෙක ආසන්නයේ සිටුවා ගන්න. මන්ද එය මල් පරාගණයට වඩාත් පහසුවක් වෙනවා. එමෙන්ම සාදික්කා ගස් දෙකක් අතර පරතරය ද අඩි 20ක් විය යුතුයි. එම පරතරයට වළවල් 3ක් කපාගන්න. මේ එක් වළක දිග, පළල සහ උස අඩි 2 1/2ක් විය යුතු බව මතක තබාගන්න.

 

වගා මාධ්‍යය

ඔබ පැළ සිටුවීමට වළවල් කපා ගැනීමේ දී මුලින්ම ගොඩ දාගත් මතුපිට පස් හා කොම්පෝස්ට් සමාන ප්‍රමාණවලින් මිශ්‍ර කරන්න. අනතුරුව එයටම රොක් පොස්ෆේට් ග්‍රෑම් 200කුත්

එකතු කරලා නැවතත් වළවල් පුරවා ගන්න. මෙහිදී කොම්පෝස්ට් වෙනුවට ඔබට හොඳින් දිරාපත් වූ ගොම යොදා ගන්නත් පුළුවනි.

 

උපදෙස්

අපනයන කෘෂිකර්ම

දෙපාර්තමේන්තුවේ (මාතර),

සහකාර අධ්‍යක්ෂ

සුජිතා චතුරංගි

(Tharunie)