Friday, October 18, 2024
Follow Us
සුදු ලූනු අච්චාරුව

සුදු ලූනු ඖෂධීය වටිනාකමින් ඉහළ ආහාරයක්. මෙතෙකැයි කිව නොහැකි බොහෝ වාසි අපේ සිරුරට ගෙන දීමට සුදුවලට ඇත්තේ පුදුමාකාර හැකියාවක්.

ශක්තිය වර්ධනය කිරීමට මෙන්ම සිරුරේ ඇති තෙල් (කොලෙස්ටරෝල්) දිය කිරීමේ හැකියාවක් සුදු ලූනු සතුයි. මේ නිසා අවුරුදු සමයේ තෙල් ආහාර වැඩියෙන් රස විඳි ඔබට සුදු ලූනු අච්චාරුවක් සකසා තබා රස විඳීම මඟින් දිවගට දැනෙන රසය මෙන්ම සිරුරේ ඇති අනවශ්‍ය මේද කොටස් නැතිකර ගැනීමටත් උදව්වක් වේවි.

 

මේ සඳහා අවශ්‍ය

ද්‍රව්‍ය වන්නේ,

සුදු ලූනු ග්‍රෑම් 500 ක්

අමු මිරිස් (තමාගේ කැමැත්ත අනුව ප්‍රමාණය සකසා ගන්න)

නයි මිරිස් හෝ කොච්චි

කරල් 5-6 ක්

රතු ලූනු ග්‍රෑම් 100 ක්

විනාකිරි කෝප්ප

භාගයක් පමණ

අබ තේ හැඳි 1 ක්

සූදුරු තේ හැඳි 2 ක්

මිරිස්කුඩු තේ හැඳි 2-3 ක්

තුනපහ තේ හැඳි 1/2 ක්

කහ කුඩු තේ හැඳි 1/4 ක්

එනසාල් කරල් 5 ක් පමණ

කරාබුනැටි 2-3 ක්

ලුණු රස අනුව

සීනි තේ හැඳි 2-3 ක්

තෙල් අවශ්‍ය පමණ

 

දැන් එය

මෙලෙසින් සාදමු,

පොතු ඉවත්කර සෝදා ගත් සුදු ලූනු දෙකට පලා ගන්න. මෙය ගැඹුරු තෙලේ තරමක් රන්වන් පැහැ වනතෙක් බැදගෙන තෙල් බේරෙන්නට තබන්න. දුඹුරු පැහැ වන තෙක් බැදීම සුදුසු නැත. දැන් පොතු ඉවත්කර සෝදා ගත් රතු ලූනු, අමු මිරිස් හා කොච්චි තෙල් බිඳක් තවරා ගත් වළඳක හොඳින් තෙතමනය යන තෙක් එහා මෙහා කරගන්න. මෙහිදී ළිපේ ගින්දර අඩුකර තබා ගත යුතුයි. මෙසේ කිරීමෙන් ඒවා යම් තරමකට පිසීමක් සිදුවන අතර මෙහිදී වර්ණය වෙනස් නොවන සේ එය කිරීමට වගබලා ගන්න.

දැන් අබ සහ සූදුරු හොඳින් අඹරා ගන්න. එනසල් සහා කරාබුනැටි හොඳින් කොටා ගන්න.

මැටි බඳුනක් ළිප තබා එයට අඹරාගත් අබ, සූදුරු සහ කොටාගත් එනසල්, කරාබුනැටි හා සීනි සමඟ අනෙකුත් සියලුම තුනපහ වර්ග ද දමන්න. ලුණු සහ විනාකිරි දමා මෙය මඳ ගින්නේ පිස ගන්න. මෙයට කලින් බැදගත් සුදු ලූනු, අමු මිරිස්, කොච්චි, රතු ලූනු ආදිය දමා මඳ වේලාවක් පිසගන්න.

මෙය හොඳින් නිවුණ පසුව හොඳින් සෝදා වියළා ගත් බෝතලයක දමා කල් තබා ගැනීමට වුවද පුළුවනි.

නමුත් පිසූ විගසම ආහාරයට ගන්නවාට වඩා දින දෙක තුනක් ගිය පසු මෙහි රසය වැඩි වේ. එදිනෙදා ආහාරවේලට මෙන්ම අවුරුද්දෙන් පසුව ඔබේ තෙල් දියකර හැරීමට මේ අච්චාරුවෙන් බික් දෙක තුනක් ආහාරයට ගැනීමට ඔබට පුළුවන්. රසය මෙන්ම ශරීර සෞඛ්‍යයද රැක දෙන මේ අච්චාරුව ඔබේ පවුලේ නැතිවම බැරි ආහාරයක් බවට පත් වේවි.

ඉදිරිපත් කිරීම නෙදර්ලන්තයේ වෙසෙන

ආත්මා ඇන්තනී
(Tharunie)