Thursday, May 16, 2024
Follow Us
පොලොස් සහ චීස් සොසේජස්

සොසේජස් කන්න පොඩ්ඩො හරිම කැමැතියි. ඒත් සෞඛ්‍යයට නම් ඒක ඒතරම් හොඳ මදි. ඒත් කෑම කටක් කවා ගන්න ඕන නිසා මවුවරුන් දරුවන්ට අකැමැත්තෙන් වුණත් සොසේජස් දෙන්න පුරුදු වෙලා. කටට රස වගේම පෝෂණ ගුණයෙන් ද සපිරි දේශීය සොසේජ් එකක් සකසා ගන්නා ආකාරය අපි ඔබට ඉදිරිපත් කරන්නේ ඒ නිසයි.

නිවෙසේ දීම සාදා ගත හැකි මේ සොසේජ් එක රස ගුණ අතින් පවුලේ සෞඛ්‍ය රකින අතරම ඔබේ පසුම්බියට ද ඉතිරියක් ගෙන දේවි.

මේ සඳහා අවශ්‍ය වන්නේ:

තරමක ප්‍රමාණයේ පොලොස් ගෙඩියක්

කඩල පිටි

තුනපහ කුඩු ස්වල්පයක්

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

පැපි‍්‍රකා මිරිස් කුඩු ස්වල්පයක් ( ලස්සන තැඹිලි පැහැයක් පැපි‍්‍රකා වලින් ලැබේ)

ලුණු ස්වල්පයක්

කරපිංචා

අමු මිරිස්

බිත්තරයක්

චීස් කියුබ් 1ක්

බිස්කට් කුඩු

දැන් සොසේජ් හදමු:

පොලොස් ගෙඩිය පිටින්ම රයිස් කුකර් එකේ හෝ ළිපේ තබා තම්බා ගන්න. එය නිවෙන්නට තබා කටු ටික ඉවත්කර කැබැලිවලට කපා බ්ලෙන්ඩ් කරගන්න. මෙලෙස කිරීමේ දී කොහොල්ලෑ ගැටලුවක් නොවේ.

දැන් බ්ලෙන්ඩ් කරගත් පොලොස්වලට පැපි‍්‍රකා මිරිස් කුඩු, ලුණු, තුනපහ, ගම්මිරිස්, සිහින්ව කපා ගත් අමු මිරිස් සහ කරපිංචා, බිත්තරය, බිස්කට් කුඩු ස්වල්පයක් දමා එයට කඩල පිටි ස්වල්පයක් ද දමා අතින් මිශ්‍ර කරගන්න. මෙයට චීස් කියුබ් එකද කුඩා කැබැලිවලට කපා මිශ්‍ර කරන්න. හොඳ වියළි මිශ්‍රණයක් ලැබෙන තෙක් හොඳින් කලවම් කරන්න. (මිරිස්, අමුමිරිස්, ගම්මිරිස් ආදිය තමා කැමැති පමණට එකතුකර ගන්න)

දැන් කිලිං රැප් ගෙන (මේවා වෙළෙඳපොළෙන් මිලදී ගත හැකිය. ඉවීමේ දී භාවිත කරන ෆොයිල් පේපර් වැනි දෙයකි. රත් කිරීමට වුවද හැකියි.) ටොෆියක් ඔතන ආකාරයට මැදට සාදා ගත් මිශ්‍රණයෙන් ස්වල්පයක් තබා ඔතා ගන්න. මෙලෙස සාදා ගත් සොසේජ් විනාඩි 15 ක් පමණ වේලාවක් අධිශීතකරණයේ තබා ගැනීමෙන් හොඳ හැඩයක් ලබා ගත හැකියි.

ශීතකරණයෙන් ඉවතට ගත් සොසේජ් ටික නටන උණුවතුර බඳුනක විනාඩි 5ක් පමණ වේලාවක් තබන්න. තැම්බුණ විට මෙය ඝන වේ. අල්ලා බැලීමෙන් මෙය ඔබට දැනගත හැකියි. උණුවතුරෙන් ඉවතට ගත් සොසේජ් ඔතා ඇති කිලිං රැප් එක හෙමින් ගළවා ඉවත් කරන්න. මෙලෙස සාදා ගත් සොසේජස් ඩීප් ෆී‍්‍රසර් එකේ දමා සති 2-3 ක් තබා ගත හැකියි.

අවශ්‍ය වේලාවට එළියට ගෙන බැද කෑමට එක්කර ගත හැකියි.

 

ඉදිරිපත් කිරීම

නිලුෂිණී පොත්දූවගේ

විශේෂ ස්තුතිය - කනවනම් කමු සමූහයේ Group Admin අමල් අත්තනායකට

(Tharunie)