Tuesday, September 17, 2024
Follow Us
කොණ්ඩෙට දාන ඩයි විස වෙන්නෙ ඇයි?

‘කොණ්ඩය කර්ල් කරගන්න ගිය කතගේ තට්ටය පෑදිලා‘ මේ පසුගියදා රූපලාවණ්‍ය ක්ෂේත්‍රය ආන්දෝලනාත්මක කළ පුවතයි. මෙහෙම දේවල් සිද්ධ වුණොත් අපි කොහොමද රූපලාවණ්‍යාගාරයකින් විශ්වාසනීය සේවාවක් ලබා ගන්නේ? ඒ වගේමයි වර්තමානයේ රුව ඔප්නංවාලන දේ කෙරෙහි යොමුවීමත් එන්න එන්නම වැඩියි. එබැවින් රූපලාවණ්‍ය කිසිදා අතහැරිය නොහැකි විෂයයකි.

ඔබ කළ යුතු වන්නේ ඔබට අවැසි රූපලාවණ්‍ය සේවාව ලබා ගැනීම සඳහා වඩාත් සුදුසු විශ්වාසනීය රූපලාවණ්‍යාගාරයක් සහ රූපලාවණ්‍ය ශිල්පියෙක් / ශිල්පිනියක් තෝරා ගැනීමයි.

ඔබ මෙලෙස තෝරා ගනු ලබන රූපලාවණ්‍යා ශිල්පිනිය ඒ පිළිබඳ හසල දැනුමක් ඇති අයකුදැයි විමසිලිමත් වන්න. අදාළ රූපලාවණ්‍යගාරයේ එම ශිල්පිනිය විසින් සිදුකරන ලද පාඨමාලා, ලබාගත් සහතික, සම්මාන, ඇගයීම් ප්‍රදර්ශනය කර ඇතිදැයි බලන්න. රූපලාවණ්‍ය පිළිබඳ පාඨමාලාව සම්පූර්ණ වන්නේ හෙයාර් බියුටි සහ බ්‍රයිඩ්ල් යන කොටස් තුනෙනි. වර්තමානයේ මේ සඳහා NVQ Level - 4 සහතිකය ද හිමි වේ. එබැවින් ඔබ මේ පිළිබඳත් සිහිතබා ගන්න.

එහිදී ඔබ සේවාව ලබා ගැනීම සඳහා තෝරා ගත් රූපලාවණ්‍යගාරය තුළ ඇති උපකරණ නවීන පන්නයේ ක්‍රමවත් ඒවා දැයි අවබෝධයක් ලබා ගන්න. එය රූපලාවණ්‍ය ශිල්පිනිය හා සුහදශීලී කතාබහෙන් විමසා දැනගත හැකියි.

තවද විශේෂයෙන්ම ඔබ කොණ්ඩය සඳහා සත්කාර කිරීමේදී යොදන නිෂ්පාදනය ගැන විමසිලිමත් වන්න. එහි නිෂ්පාදිත දිනය හා කල් ඉකුත්වී‍ෙම් දිනයට විශේෂ අවබෝධයක් ලබා ගන්න. කල් ඉකුත් වූ රූපලාවණ්‍ය ද්‍රව්‍ය කොණ්ඩය සඳහා භාවිතයෙන් කොණ්ඩය ගැල වී යයි. නිෂ්පාදන ගුණාත්මක ප්‍රමිතියෙන් තොර වීමෙන් අසාත්මිකතා (Allergy) තත්ත්ව ඇති වේ. එමෙන්ම treatment එක සඳහා භාවිත කරන කෙමිකල් එක හිස මත ගල්වා තැබිය යුතු කාලය පිළිබඳවත් දැනුම්වත් වී සිටින්න අපි ඒ පිළිබඳ රූපලාවණ්‍ය හා කේශලංකරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණ ශිල්පිනියකගෙන් විමසා බලමු.

Hair Colour එකක් කරගන්න එක එහෙමත් නැත්නම් කොණ්ඩෙ පාට කරන එක කාලයක් තිස්සෙ තියෙන තවමත් ජනප්‍රියත්වයේ ලොකු වෙනසක් වෙලා නැති විලාසිතාවක්. කාන්තා පිරිමි භේදයක් නැතුව Hair Colouring කරනවා. හැබැයි Hair Colour එකක් කරද්දි ඔබ සැලකිලිමත් වෙන්න ඕ‍ෙන කරුණු කීහිපයක් තියෙනවා. බලන්න මේ දේවල් ඔබට වැදගත් වෙනව ද කියල.

1.සමේ ස්වභාවය

මුලින්ම තමන්ට ගැළපෙන වර්ණයක් තෝරගන්න ඕනෙ. දැක්ක ගමන් ආස හිතුණට එහෙම හිතෙන පාටවල් අපේ කොණ්ඩෙට ගැළපෙන්නෙ නෑ. ඒකෙන් ඔබේ පෙනුම ඉස්මතු වීම වෙනුවට ඔබේ පෙනුම අවම කරාවි. ඔබේ සම Warm සමක් ද Cool සමක් ද කියලා මුලින්ම හඳුනගන්න. ඔබ කොණ්ඩයට ගල්වන වර්ණයෙන් ඔබේ සමේ පෙනුම ඉස්මතු විය යුතුයි.

2. Skin Allergy චෙක් කිරීම

ලස්සන වෙන්න කොණ්ඩෙ පාට කරන්න හිතුවට ඔබේ ආරක්ෂාව ගැන ඔබ සැලකිලිමත් වුණේ නැත්නම් ඒක ඔබට ඔබ නොහිතන තරම් ලොකු හානියක් කරන්න පුළුවන්. ඒ නිසා හැමවිටම හිසකෙස් වර්ණ ගැන්වීමට අවම පැය 24කට පෙර ඔබ Skin Allergy Test එකක් කර ගත යුතුමයි. මේක ලොකු වැඩක් නෙවෙයි. ඔබ භාවිත කිරීමට තෝරාගත් නිෂ්පාදනයෙන් ස්වල්පයක් ඔබේ කන පිටුපස හෝ වැලමිටෙහි ඇතුළු පැත්තෙහි ආලේපකර බලන්න. කැසීමක් හෝ හුස්ම ගැනීමේ අපහසුතාවක් හෝ ඔබට මොනයම් ආකාරයක අපහසුවක් ඇති වන්නේ නම් එම නිෂ්පාදනය භාවිත කිරීමෙන් වළකින්න. සැලෝන් එකකින් කලරින් එක කර ගන්නව නම් ඔබ වෙලාවක් වෙන් කරගැනීමට කළින් දවසේ සැලෝන් එකට ගිය විට එම නිෂ්පාදනයෙන් ස්වල්පයක් කන පිටුපස ආලේප කරගෙන පැමිණීමෙන් ඔබට මේ ටෙස්ට් එක කරගත හැකියි.

3. Light Colour එකක් වෙනුවට Dark Colour එකක් තෝරා ගැනීමේ වාසිය

ඔබ කොණ්ඩයට තද වර්ණයක් ආලේප කරනවා නම් ඔබේ හිසකෙස් සාමාන්‍ය ආකාරයට තිබියදීම වර්ණ ගැන්වීම කළ හැකියි. නමුත් ඔබ ළා වර්ණයක් ගැල්වීමට තීරණය කළොත් ඔබේ හිසකෙස් බ්ලීච් කිරීමක් එහෙමත් නැත්නම් සුදු කිරීමක් කිරීමෙන් පසුවයි එම වර්ණය ආලේප කිරීම වෙන්නෙ. බ්ලීච් කිරීමෙන් ඔබේ හිසකෙස්වලට හානි සිදු විය හැකියි.

4. කොණ්ඩයට වැඩි Volume එකක් ලැබෙන පරිදි Hair Colour කිරීම

ඔබ ඝන කොණ්ඩයකට උරුමකම් නොකියන කෙනෙක් නම් ඔබේ කොණ්ඩයේ Volume එක වැඩිකර පෙන්වීමට ඔබ ෂේඩ්ස් දෙකක Hair Colours පාවිච්චි කරන්න. ඔබේ කොණ්ඩයේ ස්වාභාවික වර්ණයට අමතරව තවත් වර්ණ දෙකකින් හිසකෙස් වර්ණ ගැන්වීමෙන් ඔබට වැඩි Volume එකක් පෙන්වන්න පුළුවන්.

5. වර්ණ ගැන්වීමෙන් පසු හිසකෙස් රැක ගැනීම

හිසකෙස් වර්ණ ගැන්වීමෙන් පසු ඔබ කළින් භාවිත කළ සාමාන්‍ය ෂැම්පු හෝ කන්ඩිෂනර් වර්ගයම භාවිත කිරීමෙන් හිසකෙස් වියළෙන්න සහ ඔබ ගැල්වූ වර්ණය ඉක්මනින් ෆේඩ් වී යාමට බලපාන්න පුළුවන්. ඒ නිසා වර්ණ ගැන්වූ හිසකෙස්වලටම විශේෂිත වූ ෂැම්පු සහ කන්ඩිෂනර් භාවිත කරන්න. හිසකෙස් UV කිරණවලින් ආරක්ෂා කරගැනීමට සිලිකන් ඔයිල් වැනි Leave-On කන්ඩිෂනර් එකක් හැමවිටම භාවිත කිරීමෙන් හිස කෙස් වියළි පළුදු වී යාම වළක්වා ගත හැකියි.

6. ඔබ නොහිතන සිතිය යුතුම දේවල්

එමෙන්ම ඔබ තෝරා ගන්නා වර්ණයන් ගැල්වූ අලුත තද පාටට පෙනුණත් කල් යාමේදී ළා පාට විය හැකි නිසා ඒ ගැනත් සිතේ තබාගෙනම වර්ණ තෝරාගන්න. හැමවිටම මිල වැඩි වුණත් තත්ත්වයෙන් උසස් නිෂ්පාදන තෝරා ගන්න තරමට ඔබෙ හිසකෙස්වලට වන හානිය අවම බව මතක තබා ගන්න.

7. Hair Colour එක පවත්වාගෙන යාම

හෙයාර් කලර් එකක් කරගැනීමෙන් පසු සුන්දරත්වය දිගටම පවත්වා ගෙන යන්න නම් ඔබ අවම වශයෙන් මාස 3කට වරක්වත් නැවත කලරින් කරගත යුතුයි. ඔබේ හිසකෙස් වැඩීමේදී වර්ණ ගැන්වූ කොටස් පහළට ගොස් සාමාන්‍ය ඔබේ ස්වාභාවික වර්ණයෙන් වැඩෙන හිසකෙස් පෙනෙන්න ගන්නවා. වර්ණ ගැන්වීමෙන් ඔබ බලාපොරොත්තු වෙන පෙනුම මෙයින් ගිලිහී යා හැකියි.

 

Tharunie