Sunday, September 08, 2024
Follow Us
ඔළුවට වද දෙන අනවශ්‍ය රෝම

අනවශ්‍ය රෝම ඉවත් කිරීමේ කර්තව්‍යය සඳහා බොහෝ දෙනා රූපලාවණ්‍යාගාරයක පිහිට පතන්නට පුරුදුව සිටියි. මේ නිසා රූපලාවණ්‍ය යේ දී අනවශ්‍ය රෝම ඉවත් කිරීමට සුවිශේෂි තැනක් හිමි වෙයි.

අනවශ්‍ය රෝම ඉවත් කිරීමේ කර්තව්‍යය සඳහා රූපලාවණ්‍යාගාරයක පිහිට පතා පැමිණෙන ගනුදෙනුකරුවකුගේ අවශ්‍යතාව මනා අවබෝධයකින් යුතුව කළ යුතුවේ.

අත්ල, යටි පතුල ආදිය හැර සිරුරේ සෑම තැනකම රෝම වැඩේ. මෙසේ ඇතිවෙන රෝම සමහර ස්ථානවල ඉතා පරීක්ෂාකාරීව බැලූ විට පමණක් දක්නට ලැබේ. හෝමෝනවල බලපෑම නිසා මෙය සිදු වේ. දහදිය ඇතිවී ගැටලු ඇතිවන බැවින් කිහිලි සහ ඉකිළිවල රෝම ඉවත් කිරීම ජනප්‍රිය ක්‍රමවේදයකි.

අනවශ්‍ය රෝම ඉවත් කිරීමේ ක්‍රම

* Wax කිරීම

* Threding

* Laser

* Twisser

* Shaving and using Chemical

* Electrorizer

බොහෝ කාන්තාවන්ගේ මුහුණේ සහ අත් පාවල අසීමිත ලෙස රෝම වැඩියි. මෙයට හේතුව හෝමෝනවල බලපෑමයි. Hisutism යනු මුඛය සහ නිකට වටා ඇති අධික හිසකෙස් වේ. මෙම හිසකෙස් වර්ධනය Androgen නම්වූ පිරිමි හෝමෝනය මූලික කොට ගෙන ටෙස්ටෙස්ටරොන්වලින් ඇති වෙයි. ජන්මයෙන් මෙන්ම මානසික ආබාධ සහ සමහර ඖෂධවල බලපෑමෙන් ද මෙම තත්ත්වය ඇතිවිය හැකියි. Hisutism ඇති කාන්තාවක් අධික තරබාරු ස්වභාවයක් ගනියි. මේ වන විට මෙවැනි ගැටලු සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාරයන් තිබේ.

රෝම පිහිටන ස්ථානය අනුව ඝනත්වය සහ ප්‍රමාණ වෙනස් වේ. මීට අමතරව ගැහැනු, පිරිමි භේදය අනුව ද හිසකෙස්වල ස්වභාවය වෙනස් වෙයි. සාමාන්‍යයෙන් පුරුෂ පාර්ශ්වයේ කෙස්වල ඝනකම ගැහැනු පාර්ශ්වයට සාපේක්ෂව වැඩිවන අතර එයටද හෝමෝනවල බලපෑම, වයස, පෝෂණය, පාරිසරික හේතු බලපායි.

මූලික වශයෙන් රෝමවලින් ශරීරයට ආරක්ෂාව සපයන අතර ශරීර අභ්‍යන්තර උෂ්ණත්වය පාලනයට දායක වේ. හිසකෙස් මඟින් හිස්කබලට ආරක්ෂාවත් ඇහි බැම සහ ඇහි පිහාටු ඇසට ආරක්ෂාව සහ අත්පාවල ඇති රෝම සමේ උෂ්ණත්වය සහ තෙතමනය පාලනයටත් පිහිටා ඇත.

Twizer භාවිතය

ප්‍රධාන වශයෙන් ඇහි බැමි හැඩය සාදා ගැනීමට භාවිත කෙරේ. Twizer මඟින් රෝම ඉවත් කිරීමේදී රෝම ගස වැඩෙන දිශාවට ගලවා ඉවත් කළ යුතුය. මේ ක්‍රමය සුදුසු වන්නේ ඇහි බැම සැකසීමටයි. රෝම මූලයෙන්ම ගැලවී යන නිසා නැවත වැඩෙන්නට සතියක හමාරක පමණ කාලයක් ගත වෙයි. හෝමෝන ක්‍රියාකාරීත්වය අනුව මෙය වෙනස් වේ. නැවත වැඩෙන විට ඝනකම අඩුවේ.

Twizer කිරීමෙන් පසු සත්කාර

මෙහිදී රෝම සම්පූර්ණයෙන් ඉවත්වන නිසා Twizer කළ පසු Toner පෙඟවූ පුළුන් කැබැල්ලකින් ඇහි බැම පිස දමන්න. අධික ලෙස ඉදිමී, රතු වී, පලු දමා ඇත්නම් අයිස් කැට හෝ අයිස් පෙඟවූ පුළුල්වලින් පිස දැමිය යුතුය. ඒ වන විට ඇතිවන සිදුරු සහිත තත්ත්වය හෝ ඉහත තත්ත්වයන් අවම කරගත හැකියි. පසුව ඇලොයි වේරා ජෙල් හෝ සුදුසු මොයිස්චර්රයිසර් වර්ගයක් ආලේප කළ හැකියි.

Threding කිරීම

මුහුණේ සහ ඇහි බැමේ ඇති සියුම් රෝම ඉවත් කිරීමට භාවිත කෙරේ. මේ සඳහා විශේෂ නූල් වර්ගයක් භාවිත කරන අතර ඕනෑම කපු නූල් වර්ගයක් වුව භාවිත කළ හැකියි. මෙහිදී රෝම වැවෙන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ දිශාවට රෝම කූපය ගැලවීම සිදු කරයි. මෙහිදීද රෝම කූපය නැවත වැඩීමට සති එකහමාරක පමණ කාලයක් ගතවේ.

මෙහිදී දෙකොන එක්කර ගැට ගසා තොණ්ඩුවක් ආකාරයට සාදා එහි මැදින් කිහිප වරක් අඹරා 8 ඉලක්කම ආකාරයට නූල සකසාගෙන ගෙන දෙඅත් දබරඇඟිල්ල සහ මහපට ඇඟිල්ල ප්‍රසාරණය හා හැකිළීම මඟින් රෝම ගැලවීම සිදු කළ හැකියි. මෙහි නූලේ ගැටය තමාට වඩාත් හුරු අතට තිබිය යුතු අතර මෙම තොණ්ඩුව රෝම වැඩී ඇති පැත්තේ සිට විරුද්ධ පැත්තට කෙස් ගස් මත තබමින් අඹරවමින් රෝමය ඉවත් කරයි. රෝමය සම්පූර්ණයෙන්ම ගැලවී යයි. එනම් එයාර් බල්බයෙන් (මූලයෙන්ම) ගැලවීම සිදු වේ. රෝම ගැලවූ පසු ටෝනර් දැමීම සිදු කළ යුතු අතර පලු දැමීමක් හෝ සම රතු වී බිබිලි ඇත්නම් පෙර පරිදිම අයිස් තැබීම හෝ කූල් ස්ටීමර් භාවිත කළ යුතුය.

Laser කිරීම

මෙහිදී ලේසර් කිරණ නිකුත් කිරීම මඟින් Hair Pepilar එක විනාශ කිරීමක් සිදු වේ. රෝමවල ඝනකම අනුව මෙම ප්‍රතිකර්මය කිහිපවරක් කිරීමටද සිදුවන අවස්ථා තිබේ. සම අභ්‍යන්තරයෙන්ම රෝම ගස වෙන්වී ඉවත් වී ගිය පසු ස්ථිර ලෙසම රෝම වැඩීම නවතී. සමහර අවස්ථාවලදී මෙය රූපලාවණ්‍යාගාරයක් තුළ සිදු නොකළ යුතු අතර පළපුරුදු වෛද්‍යවරයකුගේ නිර්දේශය මත සිදුවිය යුතු කාර්යයකි.

තාවකාලික ක්‍රම

* කැපීම

* ගැලවීම

* රසායනික ආලේපන

* ඉටි වර්ග යෙදීම

* බීලීචිං කිරීම

කැපීම සහ ගැලවීම

මෙය වඩාත් පැරණි මෙන්ම වැඩිපුරම භාවිත වන ක්‍රමය වේ. ගැලවීමේ ඇති වාසිය නම් රෝම මුල්වල පිහිටීම අවුල් වී යාමයි. මෙම ක්‍රමය විශාල ප්‍රදේශයකට යෙදිය නොහැක. රේසර් කිරීම හෝ කැපීම නිසා කේශ මුල් සම මතුපිට ඉතිරි වේ. ඒ අනුව ඝනව මෙන්ම ඉක්මනින්ම වැවේ. රේසර් භාවිතකර රෝම කැපීම නිසා එක් එක් පුද්ගලයන්ගේ රෝම වැඩීම හෝමෝන ක්‍රියාකාරීත්වයේ ස්වභාවය අනුව මෙම රෝම පැය විසිහතරක් ඇතුළත නැවත වැඩීම සිදුවේ. තවද සම කැසීමට සහ හැකිළීමට ද ඉඩ ඇති නිසා කාන්තාවන්ට භාවිතය සඳහා එතරම් සුදුසු ක්‍රමයක් නොවේ.

රසායනික ආලේපන යෙදීම

රෝම ඉවත් කිරීමට රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම මෙහිදී සිදු වේ. මෙම රසායනිකයන් තුළ රෝම විනාශ කිරීමේ ශක්තියක් ඇත. භාවිතයෙන් පසු රෝම වැඩීමට ගතවනු කාලය වැඩිය. එනම් සමට බලපෑමක් ඇතිවිය හැකියි. භාවිතයට පෙර ඇලජී ටෙස්ට් එකක් කළ යුතුය. භාවිතයේදී නිෂ්පාදනයේ උපදෙස් නිවැරැදිව පිළිපැදිය යුතුය.

ඉටි වර්ග භාවිතය

සම මතුපිට ඉටි තට්ටුවක් ආලේප කර ඉටි ආධාරයෙන් රෝම මුලින්ම ගලවා දැමීමේ මේ ක්‍රමය කාන්තාවන් අතර බොහෝ ජනප්‍රියව ඇත. මේ ක්‍රමය ඉතා සුළු පුහුණුවකින් පසුව ක්‍රියාත්මක කළ හැකියි. යළිත් රෝම වැඩීමට ගතවන කාලය වැඩිය. විශාල ප්‍රදේශයක රෝම ඉක්මනින් ඉවත් කළ හැකිවේ.

දැඩි ද්‍රව්‍යවලින් ඇල්ලීම

අනවශ්‍ය රෝම ඉවත් කිරීම සඳහා පියුමික් ස්ටෝන් වැනි ගල් වර්ග භාවිත වේ. එමඟින් සමට හානි සිදුවිය හැකියි. සම රැළි වැටීමට ගොරෝසු වීමට පුළුවනි. එම නිසා මෙම ක්‍රමය බොහෝ විට භාවිත නොවේ.

බ්ලීචිං කිරීම

මෙමඟින් රසායන ද්‍රව්‍ය නිසා රෝමවල වර්ණය අඩුකර, ශක්තිය අඩුකර ගැනීම සිදුකරන නමුත් ගැලවී යාමට ඇති ප්‍රවණතාව අඩුය. මෙම රසායනික ද්‍රව්‍ය භාවිත කිරීමට ප්‍රථම පූර්ව පරීක්ෂාවක් සිදු කළ යුතුය.

ක්‍රීම් සහ ලෝෂන් භාවිතය

සාමාන්‍යයෙන් රූපලාවණ්‍යාගාර තුළ භාවිත නොවේ. අත් හා පාදවලට භාවිත කරයි. භාවිතයෙන් පසු සම අධිකව වියළීම නිසා කළු පැහැ විය හැකියි. දිගු කලක් භාවිත කිරීමට සුදුසු නොවේ. රෝම කූපවල ඇති ශක්තිමත් බව අඩු කිරීමක් සිදුවන බැවින් පහසුවෙන් ඉවත් කළ හැකියි.ඇමෝනියම් තයිගයිකොලෙට්(Amonium Thioglycolate) අඩංගු බැවින් සම අධිකව වියළේ. භාවිත කළ පසු නිෂ්පාදනයේ දක්වා ඇති පරිදි උපදෙස් පිළිපැද අනවශ්‍ය රෝම ඉවත් කළ ස්ථානය මඳ උණුසුම් ජලයෙන් හොඳින් සෝදා තෙත මාත්තු කරන්න. සුදුසු මොයිස්චර්රයිසර් ක්‍රීම් වර්ගයක් භාවිත කරන්න. පැය විසිහතරක් යනතුරු කිහිප වරක් ආලේප කරන්න.

Electrolyzer

ඉතා සියුම් ඉදිකටු විශේෂයක් රෝම සිදුරු තුළට ඇතුළු කිරීමෙන් රෝම කූපයේ එහි මූලයෙන් ගලවා ඉවත් කිරීම මෙමඟින් සිදු කරයි. රෝම මූලය සහ ඒ අවට ඇති සෛල විනාශ වේ. මේ නිසා රෝම ඉවත් කිරීමට බඳුන්වන ප්‍රදේශය තුළ නැවත රෝම හට නොගනියි. මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී විදුලිය භාවිත කරයි. වෛද්‍ය නියමය මත භාවිත කළ යුතු අතර මෙම ක්‍රමවේදයේදී නිසි පරිදි නොකළහොත් පේශීන්ට හානිකර තත්ත්වයන් ඇතිවිය හැකියි. සෑම අවස්ථාවකදීම මෙම ක්‍රමය භාවිත නොවන අතර සමහර අසාමාන්‍ය රෝම වැවෙන තත්ත්වයන්වලදී පමණක් භාවිත කරයි.

Tharunie