Thursday, March 28, 2024
Follow Us
හිසකෙස් රැකදෙන කෙරෙටින් සත්කාරය ගැන හරියටම දැන ගන්න

පිරිපුන් සුන්දර කෙස් කළඹකට හැමෝම කැමැතියි. ඒ නිසාම කෙස් කළඹ ලස්සන කරගන්න යුවතියන් විවිධ ක්‍රම භාවිත කරනවා. ඒ විවිධ ක්‍රම අතරින් බොහෝ දෙනා වැඩි කැමැත්තක් දක්වන්නේ කෘත්‍රීමව හිසකෙස් සකස් කරන්නයි. හැබැයි ඒ විදියට කොණ්ඩය සකස් කරගැනීමේදී, එයින් කොයි තරම් අලංකාර පෙනුමක් ලැබුණත් හිසකෙස්වලට සිදුවන හානිය නැවත පිළිසකර කිරීම නම් එතරම් ලේසි පහසු දෙයක් වෙන්නේ නැහැ. ඔබේ කෙස් කළඹ දැනටමත් එහෙම හානියට පත්වෙලා නම්, එහෙමත් නැත්නම් damage වූ  කෙස් කළඹ සකස් කරගන්න ඔබ කැමතියි නම් මේ තමයි හොඳම විසඳුම. කෙරටින් ට්‍රීට්මන් එහෙමත් නැතිනම් කෙරටින් ස්ට්‍රේට් ගැනයි අද මේ ලිපියෙන් කතා බහ කරන්නේ.

Rebonding සහ keratin treatment අතර වෙනස ?

බැලූ බැල්මට මේ අවස්ථා දෙකේදිම ලැබෙන ප්‍රතිඵලය එක සමාන වගේ වුණත් හිසකෙස්වලට සිදුවන බලපෑම නම් හාත්පසින්ම දෙයාකාරයක් ගන්නවා. රසායනික ද්‍රව්‍ය යෙදීම මඟින් හිසකෙස් සැදි ඇති natural bonds බිඳ දමා, ඉන් පසුව iron කිරීම මඟින් හිසකෙස් ඍජු කිරීමක් rebonding වලදි සිදු කරනවා. ඒ කියන්නේ straightening cream වර්ගයක් ආලේප කර මඳ වෙලාවකට පසු සෝදා හැරීමත්, ඉන් පසුව iron කිරීමත් මෙහිදි සිදු වෙනවා. හැබැයි මේ ක්‍රියාවලිය හරහා සම්පූර්ණයෙන් ම හිසකෙස් පළුදු වීමක් තමයි සිදු වෙන්නේ. නමුත් keratin treatment එකකදි කිසිසේත්ම මෙවැනි damage වීමක් සිදු වන්නේ නැහැ.

එහෙනම් Keratin seal එකේදි වෙන්නේ මොකක්ද ?

අපේ හිසකෙස් සහ නියපොතු හැදිලා තියෙන්නේ keratin කියන protein cells වලින් බව ඔබ දන්නවා ඇති. ශරීරයට නිසි පරිදි පෝෂණයක් නොලැබෙන කොට ශරීරයේ අනිත් කොටස් අඩපණ වෙනවා වගේම හිසකෙසුත් දුර්වල වීමට, කැඩී යාමට, ගැලවීමට සහ dull පෙනීමක් ගන්නට පටන් ගන්නවා. අන්න ඒ වගේ අප්‍රාණික හිසකෙස්වලට keratin ආලේප කරලා iron කිරීම මඟින් seal කිරීමෙන්, කොණ්ඩයට පෝෂණයක් සැපයීමත්, හිසකෙස් යථා තත්ත්වයට පත් කිරීමත් තමයි මෙහිදී සිදු කරන්නේ. Rebonding process එකේදි cream ආලේප කිරීමෙන් පසු සෝදාහරිනවා වගේ මෙහිදි keratin ආලේප කරලා සෝදාහැරීමක් සිදු කරන්නේ නැති බව අමතක කරන්න එපා.

වෙනත් සත්කාර හරියන්නේ නැද්ද ?

සාමාන්‍යයෙන් ඔබ හිස්කබල shampoo කළාට පස්සේ හිසකෙස්වලට conditioner ආලේප කිරීමක් සිදු කරනවා. එහෙමත් නැත්නම් සතියකට දෙකකට වතාවක් deep conditioner කරනවා වෙන්නත් පුළුවන්. හැබැයි මේ දේවල් තාවකාලික සත්කාර පමණයි. Keratin seal එකක් කරපු කොණ්ඩයක් හරි විදියට සත්කාර කරලා පරිස්සම් කරගත්තොත් මාස 6කට කිට්ටු කාලයක් බොහොම ලස්සනට තියාගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම අවුරුද්දට 2-3 වතාවක් වුණත් කරන්න පුළුවන්කම තියෙනවා.

කොහොමද keratin treatment එකක් කරන්නේ ?57 1

මේ ක්‍රියාවලිය නිවෙසේදි සිදු කරන එක නම් සාර්ථක වැඩක් නෙවෙයි. සුදුසුකම් සහිත සහ විශ්වාසවන්ත රූපලාවණ්‍ය ශිල්පිනියකගෙන් ම තමයි මේ සත්කාරය කරගන්න අවශ්‍ය වෙන්නේ. මුලින්ම හිසකෙස් සහ හිස්කබලේ ඇති සියලුම කුණු දුහුවිලි, conditioner, තෙල් යනාදිය අයින් වෙලා යන පරිදි හොඳින් සෝදා, ඉන්පසු වියළා ගන්නවා. සම්පූර්ණයෙන් කෙස් කළඹම ආවරණය වෙන විදියට keratin ආලේප කරලා තියලා නියමිත කාල සීමාවකට පස්සේ dryer එකක් මඟින් හිසකෙස් හොඳින් වියළා ගැනීමත්, පසුව iron කිරීමත් සිදු කරනවා. Keratin යොදා කෙස් ගසේ cuticle එක වසා දමා seal කරන මේ ක්‍රියාවලියට පැය 2-4 පමණ කාලයක් සාමාන්‍ය යෙන් ගත වෙනවා. මේ කාල සීමාව තීරණය වන්නේ ඔබේ සම්පූර්ණ කෙස්කලඹේ ස්වභාවය අනුවයි.

සාර්ථකව සිදු කරපු මේ ක්‍රියාවලියෙන් පැය 48 කට පස්සේ සාමාන්‍ය විදියට නාන්න, shampoo, conditioner කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි sulphate- free, මෘදු shampoo වර්ගයක් සහ ගුණාත්මක බවෙන් ඉහළ conditioner වර්ගයක් යෙදීම තමයි ඉතාමත් සුදුසු වෙන්නේ. Keratin straightening එකකට පස්සේ ඔබගේ හිසකෙස්වල වියවුල් සහ දුර්වල බව නැතිවෙලා පිරිපුන්, ශක්තිමත් සහ කඩාහැලෙන සුළු සහ දිදුලන කෙස් කළඹකට හිමිකම් කියන්න ඔබට අවස්ථාව උදා වෙනවා.

කොයි වගේ කොණ්ඩෙකටද කරන්න පුළුවන් ?

සාමන්‍ය හිසකෙස්වලට සහ කෘත්‍රීමව වෙනස් කරපු හිසකෙස් වලට මේ සත්කාරය කරන්න පුළුවන්. ඒ වගේ ම color කරපු හිසකෙස්වලට සිදු කරන්නත් පුළුවන්කම තියෙනවා. Blonde වගේ වර්ණයක් යෙදීම වෙනුවෙන් bleach කිරීම නිසා අධික විදියට damage වුණු හිසකෙස් වලටත් keratin treatment එක කරන්න පුළුවන් වුණත් එතරම් කාලයක් සත්කාරයේ ප්‍රතිඵල විඳින්න නම් ඉඩ ලැබෙන්නේ නැහැ. ඒ වගේම අධික සිහින් හිසකෙස්වලට මේ සත්කාරය සිදු කරනවා නම් iron කිරීමේදි නොකැඩෙන පරිදි ඉතාම ප්‍රවේසමෙන් සිදු කරන්න අවශ්‍ය වෙනවා. Seal කිරීම සඳහා iron කිරීමේදී කොණ්ඩයේ Curly ගතිය නැතිවෙන නිසා curl කොණ්ඩයකට keratin treatment එකක් කරනවා නම් හිසකෙස්වල කැරලි ගතිය ගැන තියෙන ආසාව නම් අතහරින්න වෙනවා.

මෙය සාමාන්‍යෙන් rebonding වලට වඩා මිල අධික සත්කාරයක් විදියට තමයි සැලකෙන්නේ. ඒ නිසා බොහොම අඩු මුදලකට keratin seal එකක් කරදීමට රූපලාවණ්‍යාගාරයකින් පොරොන්දු වෙනවා නම් එය විශ්වාස කරන්න පුළුවන් පොරොන්දුවක් නම් නෙවෙයි. බොහෝ දුරට ඔවුන් පොරොන්දු වෙන්නේ සාමාන්‍ය rebonding එකක් ම කරලා දෙන්න වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න.

රූපලාවණ්‍ය ශිල්පීනී - තක්ෂි වනිගසේකර

විදුමිණී දිසාකරුණා