Saturday, April 20, 2024
Follow Us
පත්වීම ස්ථිර වෙයි ද?

කාලය ගෙවීගෙන යනවා. ඒ අතරේ විභාගය සමත්ව පුහුණු සේවයට යෙද වූ ගුරුවරුන්ගේ පත්වීම් ස්ථිර කරගෙන යනවා. ලකුණු අනුව ද විෂයය අනුව ද කියන එක පැහැදිලි නෑ. මට වඩා වැඩි ලකුණු ලැබූ සොයුරියටත් අඩු ලකුණු ලැබූ සොයුරියටත් ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය සඳහා කැඳවීම් ලිපි ලැබුණත් මට ලිපියක් නෑ.

එදත් බොහෝ බලාපොරොත්තු හිතේ පුරවගෙන පාසල නිම වී නිවෙසට ආවත් ලිපියක් නෑ. හිත කඩා වැටෙනවා. පුංචි පුතු තුරුලු කරගෙන "අනේ...., මට මේ ගුරු රස්සාවත් නැති වෙයි ද..." ඇස්වලට කඳුළු පිරෙද්දි මං සුසුම් හෙලනවා.

"ඔය පුහුණුවීම්වලට ගියාට ස්ථිර කරන්නෙ නෑ ඕවා..." අම්මගෙ සාරි ඇඳලා එකට ගෙදරින් එළියට බැහැලා යන අපි තුන්දෙනාට ලස්සන හිනාවක් දීලා ළඟපාත ඉන්න බල්ලකුට කපුටකුටවත් අර විදියට කියන අසල්වැසි ඇනුම්පදයක් හිතට එනවා. 'මට හරි දුකයි දුව..., ඉගෙන ගත්තු ඔයාලා උදේට ගෙවල් මිදුල් අතුගානවා පේනවා. ඉගෙන නොගෙන දේශපාලනය කරලා රස්සාවල් ගත්ත, අය සාරි ඇඳගෙන උදේට රස්සාවට යනවා පේනවා.' ඒත් අසල්වැසි ආදරණීය හඬක්.

"යමු... , යමු... අපි එක්ක ඔයාත් ගාලු යමු..." ඒ පත්වීම් ලිපි බාරගන්න ගාලු යන්න ලෑස්ති වෙන නංගිලාගෙ හඬ. "වැඩක් නෑ... නැතුව යන එක තේරුමක් නැති වැඩක්... මං ඔයාලත් එක්කම ගිහින් ඉස්කෝලෙ ගාව බහින්නම්..." මං හිතේ දුකක් එක්කම පාසල් යන්න සූදානම් වෙනවා. නිවෙසේ සිට පහළට යන මිනිත්තු දහයක පහළොවක කාලය තුළ දී පෙරැත්ත කරලා මගේ හිත ගාලු යන්න කැමැති කරවගන්න එයාලා සමත් වෙනවා. "හරි මොනවත් ඕනෙ නෑ... වෙනසකටත් එක්ක රවුමක් ගහලා එමු..." ඒ, රියැදුරු ආසනයෙ හිටිය ලොකු මස්සිනා පොඩ්ඩ.

උත්සවය ඉවර වෙලා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අදාළ අංශයට ගිහින් පරීක්ෂා කරද්දී මගේ ලිපිය ඉදිරියෙ දී තැපැල් කිරීම සඳහා සැකසෙමින් පවතිනවා. වාණිජ විෂයයන් සඳහා මේ වන තෙක් කිසිවකුටවත් පත්වීම් ලිපි යවා නෑ. ලිපිය අතේ අරගෙන රටක් රාජ්‍යයක් ලැබුණා වගේ සතුටින් මාත් ගෙදර එනවා.

දුරකථන බහුල නොවූ කාලයක පහුවදා පාසලේ දී එක මිතුරියක් අමනාපයෙන් වගේ නමුත් සාවධානව අසා සිටිද්දී අනෙක් මිතුරිය පැත්තක ඉඳන් ඇනුම්පද ඊතල ගොඩාක් පපුවටම එවනවා.

"මේ ගුරුවරියො ද...?" මට එහෙම හිතෙන අතරෙ අම්මගෙ වටිනා වචන නැවත සිහි වෙනවා.

හැමෝම එක වගේ නෑ. සමාජයේ විවිධ චරිත අපට මුණගැහිලා පාඩම් උගන්වනවා.

මවුවරු, පියවරු වගේ ගුරුවරුන් සහෝදර සහෝදරියො වගේ ගුරුවරුන් මේ ගුරු ක්ෂේත්‍රයේ ආත්මගත පුරුද්දට වගේ අපට මුණගැහෙනවා. ඒ තමයි රැස් කළ පින්.

ඒත් රටක් හදන තැන, රටක දරු පරපුර යහමඟට ගන්න තැන ඉන්න ඕනෙ උදවිය අතර හැමෝම එහෙම වෙනව නම් කියල මට හිතෙනවා. මොකද... රටක දරු පරපුර කියන්නෙ කිරි කළයක්. ඒකට ගොම බිඳුවක්වත් මුසු විය යුතු නම් නෑ... නැහැමයි කියලා මේ ගුරුතුමී අදහනවා. අදට ඇති නේද?

මං ගුරුතුමී

කුමාරි ලියනගේ

 

-------------------------

හිටිගමන් සේවය අත්හිටුවලා

සුසාර පියවරෙන් පියවර ඉදිරියට ඇවිත් රැකියාවේ ඉහළට ම යද්දි දන්නෙම නැතුව හතුරෝ පිරිසකුත් ඇති වෙලා. කොහොමින් කොහොම හරි නොකළ වරදකට හසු කරමින් ඔහුගේ සේවය අත්හිටුවන තැනටම කටයුතු කෙරුණා.

 

එක්වරම තම රැකියාව අහිමිව යද්දි තනිකඩයෙක් වේවා, දරු පවුලක් රකින කෙනකු වේවා මොනතරම් අපහසුතාවකට පත් වේවි ද?

කම්කරු ආරවුලක් ඇති වූ විට නීතියෙන් සුසාරට කවරාකාරයේ සහනයක් ලැබේවි ද?

මෙය නීති පොතේ ඇත්තේ කම්කරු ආරවුල් විසඳීම, කම්කරු ආරවුල් පරීක්ෂා කිරීම යන අරමුණු අරඹයායි. මේ කම්කරු පනත ආමන්ත්‍රණය කරනුයේ පෞද්ගලික අංශය හා අර්ධ රාජ්‍ය ආයතන මූලික කරගෙනයි.

 

1950 අංක 43 දරන කම්කරු ආරවුල් විසඳීමේ පනත. කම්කරු ආරවුලක් පිළිබඳ කරුණු කාරණා නොදැන නීති මඟට බැසීම අපහසුයි. කම්කරු ආරවුලක් සේවා යෝජකයා සහ කම්කරුවා අතර, කම්කරුවන් - කම්කරුවන් අතර, කම්කරුවෝ කිහිපදෙනකු සහ සේවා යෝජකයන් කිහිපදෙනකු අතර ද වෘත්තිය සමිති සහ සේවා යෝජකයා අතර කම්කරු ආරවුලක් ඇති වීමට පුළුවනි.

 

සේවයට බඳවා ගැනීමේදී ඇතිවන ආරවුලක්, සේවයෙන් පහ කිරීමේ ආරවුලක්, සේවයේ තත්ත්වය පිළිබඳ ආරවුලක්, සේවය උසස් කිරීමේදී වන ආරවුලක්, සේවය නොදී සිටීම, සේවයට නොකැඳවීම යන කාරණා නිසා කම්කරු ආරවුලක් ඇති වීමට පුළුවනි.

 

කම්කරුවෝ යනු

සේවායෝජකයා සමඟ සේවය කිරීම සම්බන්ධයෙන් යම් ගිවිසුමකට ලිඛිතව හෝ වාචිකව එක්වන කෙනා කම්කරුවෙකි.

 

සේවා යෝජකයා යනු

මේ හෙළි කළ හෝ හෙළි නොකළ පුද්ගලයකු විය හැකියි. මේ පුද්ගලයා සේවා යෝජකයකු, මණ්ඩලයක්, සංස්ථාවක්, වෘත්තීය සමිතියක් වීමට පුළුවනි. නැතහොත් ඔබගේ ප්‍රධානියා කවුරුන් දැයි හඳුනාගත යුතුයි. ඇතැම්, විට ඔබ නියෝජිතයකු හරහා සම්බන්ධ වූවා විය හැකියි. ඔබ යටත් වන්නේ... ප්‍රධානියා ද නියෝජිතයකුට ද යන්න හඳුනාගත යුතුයි. ඒ අනුව නඩු පැවරීම ද කළ යුතුයි. පත්වීම් ලිපියේ ඇති කොන්දේසි පිළිබඳව ද නඩුවක් දැමීමට පෙර අවධානය යොමු කළ යුතු වේ. තනතුරේ නම, තනතුර ස්ථීර එකක් ද? තාවකාලික එකක් ද පරිවාස කාලසීමාව අයත් එකක් ද යන වග, වැටුප, දීමනා, වරප්‍රසාද පිළිබඳ, සේවා කාර්යභාරයන් පිළිබඳ දැනුවත් විය යුතු වේ. පත්වීම් ලිපියට පරිබාහිරව සේවා යෝජකයාට විරුද්ධව නඩු මඟට බැසිය නොහැකියි.

 

කම්කරු ආරවුලක් පිළිබඳ කතා කරන්නට, සේවායෝජකයාට විරුද්ධව නඩු මඟට යෑමට නම් ඔබ ඒ සඳහා සුදුසු පාර්ශ්වකරුවකු විය යුතුයි. ස්ථිර සේවකයෙක් ද ස්ථීර කාලීන සේවකයෙක් ද පරිවාස කාලයට අයත් වුවෙක් ද කාලීන සේවකයෙක් ද (Seasonal worker), ආධුනික සේවකයෙක් ද යනාදී ලෙස ඔබගේ සේවය හඳුනාගත යුතුයි. මෙය ඔබ කම්කරු ආරවුලක් විසඳීමට සුදුසු පුද්ගලයෙක් ද යන වග කියාපායි.

 

කම්කරු ආරවුලක් විසඳීමේ

පියවරයන් මොනවා දැයි ඉදිරි සතියකදී හඳුනා ගනිමු.

උපදෙස් :

නීතිඥ රනිලා එල්. සේනාධීර

Tharunie