Saturday, April 20, 2024
Follow Us
විසි එක් වැනි සියවසේ සැමියෙක් වෙන්න

කාලයත් එක්ක පරිණාමය වෙන්න

නිදහස නිරායාසයෙන් හිමිවන්නක් මිස තවත් කෙනකු වෙතින් ලබා ගත යුතු දෙයක් නොවේ.

ශ්‍රී ලාංකික ජන සමාජය බොහෝවිට නිර්මාණය වී ඇත්තේ පුරුෂ මූලික සමාජයක් ලෙසිනි. අතීතයේ දී මේ තත්ත්වය වැඩි වශයෙන් අත් විඳින්නට සිදු වූ අතර වර්තමානයේ ජීවත් වන ඇතැම් පුද්ගලයෝ ද තවමත් කාන්තාව ගැන ගතානුගතික අදහස් දරති.

 

මේ කාරණාවේ දී සාම්ප්‍රදායික අදහස් දරනවා යැයි පවසමින් බොහෝදෙනකු පුරුෂ පාර්ශ්වය වෙත චෝදනා එල්ල කරති. නමුත් ඒ චෝදනාවේ වැරැදිකාරියක ලෙසින් මවට ද එනම් තවත් ගැහැනියකට ද ඇඟිල්ල දිගුවන බව ඔබ මොහොතකට සිතුවා ද?

මොහාතක් සිතන්න,

මවක් වූ ඔබ, ඔබේ දියණියට සේම පුතණුවන්ට සලකන්නේ එකම ආකාරයකට දැයි සිතන්න. ගේ දොර වැඩ කටයුතු, ඉවුම් පිහුම්, මැහුම් ගෙතුම් මේ සියල්ල ඉගැන්වීමට උත්සාහ දරන්නේ තම දියණියට නොවේ ද? අවම වශයෙන් තමන්ගේ කාමරය, නිදන ඇඳ, ඇඳුම් පැලඳුම් පවා පිරිසුදු කර ගැනීමට පුතුට පුරුදු කරන මවුවරුන් අවමය. ඒ සියලු කටයුතු මව අතින් ඉටු කෙරෙන අතර නිවෙසේ දියණියක් සිටින්නී නම් ඇය ලවා පුතුගේ වැඩ කටයුතු කරවා දීමට උනන්දු වේ.

මේ නිසා බොහෝ පිරිමි දරුවන් කුඩා කළ සිටම තම මනස සකසා ගන්නේ මව සහ සොහොයුරිය එහෙමත් නැතිනම් ගැහැනිය යනු තමන්ගේ වැඩ කටයුතු වෙනුවෙන් කැප වූ පිරිසක් ලෙසිනි. තම වැඩ කරවා ගැනීම මෙන්ම ඔවුන් තළා පෙළා දැමුවාට ගැටලුවක් නොවේ යැයි ඔවුහු කුඩා කළ සිටම සිතන්නට පුරුදු වෙති.

එමෙන්ම තම ආදරණීය බිරිය ගැන කතා කරන ඇතැම් සැමියන් පවසන්නේ "මම එයාට ඕනෑ තරම් නිදහස දී තිබෙනවා" යනුවෙනි. බොහෝ බිරියන් ද තම සැමියා ගැන කියන්නේ "මගේ සැමියා මට උපරිම නිදහසක් ලබා දෙනවා" වශයෙනි. නමුත් නිදහස යනු කෙනකු වෙත නිරායාසයෙන් හිමිවන දෙයක් මිස එය තවත් කෙනකු වෙතින් ලබා ගත යුතු දෙයක් නොවේ යැයි ඔවුනට අවබෝධයක් නොමැත.

නමුත් මේ සමාජයේ බොහෝ බිරියෝ සේම පෙම්වතියෝ ද තම සැමියා එහෙමත් නැතිනම් පෙම්වතා නිසා තම හැකියාවන්, රුචිකත්වයන් සඟවාගෙන සිටිති. තමන් කැමැති විලාසිතාවක් කරන්න, හැඩට අඳින්න පලඳින්න, නිදහසේ විනෝද චාරිකාවක යෙදෙන්න, චිත්‍රපටයක් නරඹන්න, යහළුවකු හෝ යෙහෙළියක ඇසුරු කරන්න හිමිවන කාන්තා පාර්ශ්වය කොතරම් හිඟ ද? දියණියක ලෙස පියා යටතේත්, අනතුරුව පෙම්වතා සහ සැමියා යටතේත් තම රුචිකත්වයන් සියල්ල පසෙකලා ඔවුන් වෙහෙසෙන්නේ සාමකාමී පවුල් දිවියක් උදෙසාය.

ඔබත් සාම්ප්‍රදායික රාමුවක් තුළ හැදී වැඩුණු පුතකු වෙන්න ඇති. නමුත් පොතපතින් උගත් දැනුමට වඩා මේ සමාජ ආශ්‍රය තුළින් ලබාගත් සමාජ දැනුම ගැන සිතන්න. එබැවින් ඔබේ පෙම්වතිය, බිරිය දෙස නවමු ආකාරයට බලන්න, සිතන්න. ඇයගේ සිහින කරා ගමන් කරන්නට හොඳම අත්වැල ඔබ වෙන්න. ඇයගේ සිහින වෙත පිය නැඟීමට ඉඩ දෙනවා සේම ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනය ද ලබා දෙන්න.

පිරිමි ඔබ ගතානුගතිකත්වයෙන් අත් මිදෙන්න. එම රාමුවට කොටු වී සිටින තාක් කල් ආකල්පමය වශයෙන් දියුණු වීමට ඔබට නොහැකි වේවි. අපි ආකල්පමය වශයෙන් පරිණාමය නොවනතාක් කල් මෙය සදාකාලික ගැටලුවක් වනු නොඅනුමානයි.

Tharunie