Wednesday, December 07, 2022
Follow Us
දණහිස රැකුණොත් මැදි වයස සතුටින්

දණහිස රැක ගත්තොත්, දණහිස නීරෝගිව තිබුණොත් මැදි වයසට එළැඹෙද්දී සතුටින් ඉන්නට ලැබේවි. එහෙත් කාන්තාවන් බහුතරයකට අද ඒ තත්ත්වය අහිමි වෙලා. ඔවුන් මැදි වයසට එද්දී දණහිසේ නොයෙකුත් ආබාධ ඇති පුද්ගලයන් එසේත් නැතිනම් ආතරයිටීස් රෝගීන් බවට පත් වෙලා.

අපේ සිරුරේ බර දරන ප්‍රධාන සන්ධියක් වෙන්නේ දණහිස. දණහිසට ඍජුවම බලපෑම් කරන මේ තත්ත්වය හැඳින්වෙන්නේ ඔස්ටියෝ ආතරයිටිස් නමින්.

ආතරයිටිස් වර්ග සියයකට ආසන්න ප්‍රමාණයක් තිබියදී ඉන් පහක්, හයක් පමණ ප්‍රමාණයක් වැඩිපුර දක්නට තිබේ. සන්ධි ගෙවීමක් නිසා ඇතිවන ඔස්ටියෝ ආතරයිටිස් තත්ත්වය නිතරම වගේ දක්නට ලැබෙන්නක්.

ප්‍රාථමික හා ද්විතියික වශයෙන් ඔස්ටියෝ ආතරයිටිස් තත්ත්ව දෙකක් දක්නට ලැබෙනවා. ප්‍රාථමික තත්ත්වය සඳහා වෙනත් හේතුවක් බල නොපායි. එහෙත් ද්විතියික තත්ත්වය ඇතිවන්නේ වෙනත් හේතුවක බලපෑමෙනි. හදිසි අනතුරක්, ආසාදන තත්ත්වයක් හෝ වෙනත් ආතරයිටිස් තත්ත්වයක් නිසා ද්විතියික තත්ත්වය ඇති වීමට පුළුවන්.

වයස අවුරුදු 40 පමණ පසුත්, ශරීරයේ බර වැඩි වීම නිසාත් ප්‍රාථමික තත්ත්වයේ ඔස්ටියෝ ආතරයිටිස් හැදෙනවා. ඔස්ටියෝ ආතරයිටිස් වැඩිම බලපෑමක් ඇත්තේ කාන්තාවන්ටයි. ඒ අතරින් පෙර කීවාක් මෙන් වයස සහ BMI අගය බලපායි.

උසට සරිලන බර පවත්වාගෙන යෑම ඔස්ටියෝ ආතරයිටිස්වලදී අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ බර වැඩිවන්න වැඩිවන්න දණහිස් සන්ධිය ඒ බර දැරිය යුතු නිසයි.

දණහිස ඉදිමුණ, දණහිස රිදුණු රතු වුණු වගේ මැසිවිලි රෝගීන් පවසද්දී ඔස්ටියෝ ආතරයිටිස් පටන් ගැන්මේදී ඉදිමුමක් තිබෙන්නට පුළුවන්. ඒත් සාමාන්‍යයෙන් ඔස්ටියෝ ආතරයිටිස්වලදී ඉදිමුම අඩුයි. ප්‍රතිකාර නොකර කාලයක් තිබුණහොත් සන්ධිවල විකෘතිතා ඇතිවීමට පුළුවනි. එහිදී දණහිස් වක ගැහෙන්නත් පුළුවන්.

වෛද්‍ය පරීක්ෂණ මඟින් ඔස්ටියෝ ආතරයිටිස් ද ඇත්තේ යැයි දැන ගන්නේ කොහොමද?

ESR වැනි රුධිර පරීක්ෂණ කිහිපයක්, තයිරොයිඩ් පරීක්ෂණ සිදු කරාවි. ඔස්ටියෝ ආතරයිටිස් යනු වෛද්‍යවරයකු නිරීක්ෂණය කොට දෙන ලද නිගමනයක් විය හැකියි. මෙය හඳුනා ගැනීමට X-ray අවශ්‍ය ම නොවේ.

 

ප්‍රතිකාර

දීර්ඝකාලීනව වේදනා නාශක ගැනීම කළත් මෙහිදී සිදුවිය යුත්තේ කාටිලේජ ආරක්ෂා කර ගැනීමයි. වේදනා නාශක අවශ්‍ය වූ විට පමණයි දිය යුතු වන්නේ. මීට අමතරව ග්ලූකොසොමින් (Gloucosamine) මුල් අවස්ථාවේ ඔස්ටියෝ ආතරයීටීස් සඳහා වෛද්‍ය උපදෙස් මත ලබා ගත හැකියි. ස්ටිරොයිඩ් (stteroid) වර්ගයේ බෙහෙත් පෙති වශයෙන් හෝ නික්ෂේපණ මඟින් ලබා දේ. මීට අමතරව දින චර්යාවේ ඇති වැරැදි පුරුදු නම් අතහැරිය යුතුමයි. ඇණ තියාගෙන වාඩිවී සිටින ඉරියව්ව ඔස්ටියෝ ආතරයිටිස්වලට සුදුසු නොවේ. වැසිකිලි භාවිතය පිළිබඳත් හිතන්න සිදුවේ. ස්කොටින් ලෙස ඇති වැසිකිළි මෙම රෝගීන්ට සුදුසු නැත. වෙළෙඳපොළේ දණහිසට දැමිය හැකි විවිධ ආරක්ෂිත උපකරණ භාවිතය, සැරයටියක් භාවිතය ඔස්ටියෝපොරෝසීස් රෝගයෙන් පීඩා විඳින ඔබට යම් සහනයක් වේවි.

 

දණහිස් සන්ධිය ශක්තිමත් කරන ව්‍යායාම

ඔස්ටියෝපොරොසිස් ඇති අය මෙන්ම නැති අයත් තම දණහිස් සන්ධිය ශක්තිමත් කරවීම සඳහා ව්‍යායාම කිරීම අතිශය වැදගත්. BMI අගය 25 -30 වැඩි අය එය අඩු කරගතහොත් දණහිස් සන්ධිය අතර තෙරපීම සෑහෙන අවම කරගත හැකියි. සතියකට විනාඩි 150ක් - 300ක් අතර ඇවිදීම වැදගත්.

දිවීම එතරම්ම සුදුසු නොවේවි. ඇවිදීම තරබාරු බව ද අඩු කරාවි.

වේගයෙන් ඇවිදීම, පිහිනීම සහ බයිසිකල් පැදීම වැනි ව්‍යායාම සුදුසුයි. දණහිස සන්ධිය වටා ඇති මාංසපේශී ශක්තිමත් කරන ව්‍යායාම් කිරීම වැදගත්. මින් දණහිස ඇතුළේ ඇති කාටිලේජ ශක්තිමත් වේ. තමා පුටුවක වාඩි වී සිට එක් කකුලක් දණහිසේ තරමට ඔසවන්න. එය තුන්වතාවක් පමණ කකුල් දෙකටම කරන්න.

හිටගෙන ඉදිරියෙන් පුටුවක් වැනි ආධාරකයක් අල්ලාගෙන දණහිස අසලින් අංශක 90ක ප්‍රමාණයට පිටුපසට කකුල නමන්න. කකුල එසේම තබාගෙන එක, දෙක, තුන ආදී වශයෙන් 5ට පමණ ගනින්න. (තත්පර 6ක් පමණ) ඒ කකුල බිමට දමා තත්පර කිහිපයකට පසු අනෙක් කකුලට ද එසේම කරන්න. මෙය තුන්වරක් පමණ කරන්න. වේදනාවක් ගෙන දේ නම් එක්වරක් පමණක් කරන්න.

 

හිටගෙන කරන රැකියාවක නියැළේ නම් විනාඩි 15කට පමණ විනාඩියක් දෙකක් පමණ අසුන් ගන්න. ඇණ තියා වාඩි වීම සුදුසු නොවන්නේ දණහිසට විශේෂයෙන්ම කාටිලේජවලට අධික තෙරපීමක් ඇතිවන නිසයි. පඩි තරමක ප්‍රමාණයන් නඟින්නට ඇත්නම් වේදනාව ඇතිවිට පඩි නැඟීම සීමා කරන්න.

 

ඔස්ටියෝ ආතරයිටිස් සහ ඔස්ටියෝපොරෝසීස් යන රෝගතත්ත්ව දෙකටම භෞතචිකිත්සක ප්‍රතිකර්ම සඳහා යොමු වීමත් වටී.

 

 

උපදෙස් :

නිර්වින්දන සහ ක්‍රීඩා සෞඛ්‍ය වෛද්‍ය

නාමල් විජේසිංහ

ආශිර්වාදිනි හෙට්ටිආරච්චි

Tharunie