Saturday, November 23, 2024
Follow Us
මෙච්චර අව්ව තිබිලත් ඇයි මේ ඌනතා?

වසර පුරාවටම හොඳින්ම ඉර එළිය ලැබෙන රටක ජීවත් වුවත් විටමින් D ඌනතාව අපටත් සැලකිය යුතු ලෙස බලපා ඇති බව දන්නේ නම් ඔබ පුදුමයට පත් වේවි.

පුංචි කාලේ ඉඳන්ම පරිසරය, විද්‍යාව විෂයයන්වල දී අපට ඉගැන් වූයේ විටමින් D ලැබෙන්නේ හිරුඑළියෙන් බවයි. එදා අපි හිතුවේ නෑ නේද කවදාවත් විටමින් D ඌනතාවක් ඇති වේවි කියා.

 

පරීක්ෂණයක ප්‍රතිඵල

ලංකාවේ නාගරික ජනගහනයෙන් සෑම තුන්දෙෙනකුගෙන් එක් අයකු (31%) විටමින් D ඌනතාවෙන් (vitamin D Deficiency) පෙළෙන අතර අඩකට වඩා (59%) පිරිසකගේ ශරීරයේ විටමින් D මට්ටම ප්‍රමාණවත් ලෙස නොමැත. දකුණු පළාතේ කාන්තාවන් අතර සිදු කළ සමීක්ෂණයෙනුත් මෙයට සමාන ප්‍රතිඵල ලැබී ඇති අතර අඩකට වඩා වැඩි පිරිසකගේ (56%) විටමින් D මට්ටම ප්‍රමාණවත් නැති බව තහවුරු වී තිබේ. වයස 10 - 18 අතර පාසල් සිසුන් අතරත් ආසන්න වශයෙන් අඩකගේ පමණ (46%) විටමින් D මට්ටම ප්‍රමාණවත්ව නැත.

විටමින් D, කැල්සියම් සහ පොස්පරස් යන තුනම අපේ සිරුරේ එකට බැඳෙමින් ක්‍රියා කරයි. අස්ථිවල නීරෝගි වර්ධනයට සහ යහපත් පැවැත්මට මේ මූලද්‍රව්‍ය තුනම අවශ්‍ය වේ.

විටමින් D අස්ථිවලට පමණක් නොව හෘදය රෝග වැළැක්වීමට, ගැබිනි මවගේ කළලයේ වර්ධනයට, පුංචි දරුවන් උපන් දා පටන් ඔවුන්ගේ වර්ධනයට, සමේ වියළි බව වළකා පැහැපත් සමක් පවත්වා ගෙන යෑමට, දිගුකාලීනව සමේ ඇති එක්සිමා (රක්තයා) වැනි තත්ත්ව මඟ හරවා ගැනීමට විටමින් D මට්ටම නිවැරැදි ලෙස පවත්වා ගැනීම වැදගත් වේ.

 

අඩංගු ආහාරපාන

සූර්යා ලෝකයට නිරාවරණය වීමෙන් විටමින් D ලබා ගන්නා මෙන් පවසන්නේ එය ආහාරපාන මඟින් අවශෝෂණය කර ගැනීම තරමක් අසීරු කටයුත්තක් වන බැවිනි.

ආහාර වශයෙන් ගත් කළ තෙල් ඇති පොඩි මාළු එනම් හුරුල්ලන්, සාලයන්, සූඩයන් වැනි බැදගෙන කටුත් සමඟ කෑමට ගත හැකි මාළු විටමින් D ප්‍රභවයකි. කෑලි සපා කන මාළුවල මේ විටමිනය ඇත්තේ ඉතාම සුළු ප්‍රතිශතයකි.

රතු මස්, හරක් මස් පීකුදු, හතුවල විටමින් D අඩංගු වේ. මාගරින්, කිරි පිටි, සීරියල් වර්ග මේ ආදී විටමින් D එකතු කළ නිෂ්පාදන ද තිබේ.

එහෙත් මේ කවර ආකාරයටත් වඩා විටමින් D දෛනික අවශ්‍යතාව සපුරාලිය හැකි හොඳම ප්‍රභවය වන්නේ හිරු එළිය බව පුන පුනාම කිව යුතු වේ. එහි ඇති පාරජම්බුල කිරණ ඍජුවම සම මතට වැටිය යුතු වේ. එහි දී සම මත විටමින් D නිපද වීම ස්වාභාවික ක්‍රියාවලියක් ලෙසින් සිදු වේ.

එදා අප විශ්වාස කළේ විටමින් D ලැබීමට නම් උදෑසන හිරු එළියට විනාඩි 5 -10ක් නිරාවරණය විය යුතු බවයි. එහෙත් අලුත්ම සොයා ගැනීම වන්නේ උදේ 10ත් සවස 3.00ත් අතර කාලයේ විනාඩි 15ක් 30ක් පමණ කාලයක් හිරු එළියට නිරාවරණය විය යුතු බවයි.

අපේ සමේ වර්ණය අනුවත් මේ හිරු එළිය උරා ගැනීම අඩු වැඩි වේ. ඒ තරමක් තලෙළු වන තරමට මෙලනින් වර්ණකය වැඩියෙන් රැඳී ඇති නිසා පාරජම්බුල කිරණ උරා ගැනීම ද තරමක් අඩු වේ. එසේ නම් මෙලනින් වර්ණකය වැඩි කෙනෙක් එසේත් නැත්නම් තලෙළු කෙනෙක් සාමාන්‍යයෙන් වැඩි වේලාවක් හිරු එළියට නිරාවරණය වෙමින් පාරජම්බුල කිරණ සම මතට පතිත වන පරිදි සිටිය යුතුයි.

 

කාමරවලට කොටු වෙලා නම්...

මේ ආමන්ත්‍රණය හිරු එළියට නිරාවරණය වෙමින් වත්තේ පිටියේ වැඩ කරන කුඹුරේ වැඩ කරන මහමඟ රිය හසුරුවන පොලිස් නිලධාරින්ට නොවේ. එළිමහනේ ක්‍රීඩා කරන දරුවන්ට ද නොවේ. පංති කාමරයට ම වී සිටින නිවෙස, කාර්යාලය ඇතුළටම වී සිටින උදවිය සඳහායි.

පසුගිය වසර 3ක් වැනි කාලයක දී දරුවන් නිවෙස්වලට ම කොටු විය. පාසලේ ක්‍රීඩාපිටියේ කළ ක්‍රීඩාවන්, ක්‍රියාකාරකම් අහිමි වී ඇත. අඩුම තරමේ පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උෙලළක්වත් නැත. දරුවන්ට විටමින් D ලබා ගැනීමට හිරු එළියට නිරාවරණය වූයේ අවම වශයෙනි. පාසල් ඇඳුමක්, සාමාන්‍ය අතපය නිරාවරණය වූ ඇඳුමකින් හිරුඑළියට නිරාවරණය වීම ප්‍රමාණවත් වේ. මේ හිරුඑළිය වීදුරුවක් හරහා පැමිණියාට ඵලක් නැත.

දැන් ඔබට ගැටලුවක් මතු වේවි. රූපලාවණ්‍ය ශිල්පීන් ඇතුළු පිරිස් උපදෙස් දෙනුයේ හිරු එළියට නිරාවරණය වීම සමට සුදුසු නැත. එසේ එළිමහනට යන්නේ නම් Sun Protection Cream එකක් ආලේප කළ යුතුය යනාදි වශයෙනි. එහෙත් දිනකට විනාඩි 15 -30ක් පමණ හිරුඑළියට නිරාවරණයවී තවදුරටත් අව්වේ යෑමට සිදුවන්නේ නම් Sun Protection Cream එකක් ආලේප කිරීමට පුළුවනි.

අව්වට නිරාවරණය වූ විට සම ඉක්මනින් ම රැලි වැටේවි යැයි කෙනකුට සිතේවි. මෙය සත්‍යයකි. අධිකව හිරු එළියට නිරාවරණය වීමෙන් සමේ වයස් ගත පෙනුම වැඩි වීමට පුළුවන. මේ හිරු එළියට සම නිරාවරණය වීමේ අහිතකර ඵලයකි. අව්වට නිරාවරණයවී සමට අඳුරු පැහැයක් ගෙන එන්නට විශේෂයෙන් ම තරුණ ගැහැනු ළමයි හා කාන්තාවන් කැමැති වන්නේ නැත.

 

ව්‍යායාම් කරන අයකුට

ගෙවත්තේ උදේ වරුවම ඩහදිය හෙළමින් වැඩ කරන කාන්තාවන් අතරට මේ ලිපිය පත් වුවහොත් ඔබ දිනකට 15-30 අතර කාලයක් ඍජුවම හිරු රශ්මිය සමට වැටෙන්නට සලස්වා ගන්න. ඉතිරි කාලය සමට ආවරණයක් එකතු කරගන්න. Sun Protection Cream එකක් එයට හොඳම පිළිතුරක් වේවි.

විටමින් D ඌනතාව උග්‍ර වීම නිසා දරුවන්ට රිකට්ස් නමැති තත්ත්වය ඇතිවන්නට පුළුවනි. මීට අමතරව දරුවන්ගේ වර්ධනය ද බාල වේ. ක්‍රියාශීලි බව අඩු වේ. හේතුවක් නොමැතිව හිසකෙස් ගැලවී යන කෙනකුට ද ඇත්තේ විටමින් D ඌනතාවක් විය හැකියි. විටමින් D යනු තෙල් මේදයේ දියවන විටමින් වර්ගයකි.

ජලයේ දිය නො වන්නක් නිසා එය සිරුරේ තැන්පත් වේ. මේ නිසා විටමින් D හිතුමතේ ෆාමසිවලින් ලබා ගැනීම කෙනෙක්ට සුදුසු නොවේ. එවිට වැඩිපුර තැන්පත් වන විටමින් D විස වීමට පුළුවනි.

නමුත් සමහර රෝග තත්ත්වවලදී විටමින් D ඌනතා මට්ටම පරීක්ෂා කොට අවශ්‍ය වන්නේ නම් වෛද්‍යවරයා විසින් එය නික්ෂේපණ යන්ත්‍රයකින් හෝ පෙති කරල් ලෙස ලබා දේවි.

උපදෙස්

චර්ම රෝග විශේෂඥ වෛද්‍ය

ඉන්දිරා කහවිට

Tharunie