Friday, April 19, 2024
Follow Us
සුවනාරී සායනය ගැන දැන සිටියා ද?

දැන් FB පිටුවත් ක්‍රියාත්මකයි

ගැහැනිය උදේ ඉඳන් රෑ වනතුරු එකාකාරවම කුමන හෝ කර්තව්‍යයක නියැළෙයි. යන්ත්‍රයක් මෙන් ක්‍රියාකාරීව සිටින ඇය ජීවන ගමනේ එක්තරා නැවතුම්පළක දී රෝදුක් නිසා ම වෙනදා මෙන් ක්‍රියාශීලී නො වේවි. රෝදුක්වලට ජයගන්නට ඉඩ දී බලා සිටිනවා ද? නැතිනම් ඒවා මැඬ පවත්වා ගනිමින් හෝ මුලිනුපුටා දමමින් වෙනදා මෙන් ක්‍රියාශීලීව සිටිනවා ද?

 

සුවනාරී සායනය කාන්තා ඔබ වෙනුවෙන් ම බිහි වූවකි. මේ සායනය පිළිබඳ, ඉන් සිදුවන සේවාවන් පිළිබඳ කාන්තාවන් බොහොමයකට ඇත්තේ අඩු දැනුමකි. ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාල 48ක් තුළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල (MOH) 354ක් පුරාවටම සුවනාරී සායනය ක්‍රියාත්මක වේ. ෙම් සායනයන් වෙතින් අපේක්ෂා කරනුයේ කාන්තා පරපුර බෝ නොවන රෝග සහ ඒ ආශ්‍රිත අතුරු අන්තරාවන්ගෙන් මුදවා ගැනීමයි.

ඒ අනුව පිළිකා වර්ග මුල් අවධියේ හඳුනා ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි. පවුල් සැලසුම් සේවාවන්, ආර්තව චක්‍රය ආශ්‍රිත පීඩාවන් ආර්තවහරණය පිළිබඳ දැනුවත්භාවයක් ලබා දීම මේ ඔස්සේ සිදුවේ.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල මෙලෙස සායන දහසක් පමණ ක්‍රියාත්මක වේ. අවුරුදු 35 -45 අතර කතුන් ෙම් සායනයේ ඉලක්කගත කණ්ඩායමයි.

පළමුව සිදුවන්නේ සායනයට පැමිණෙන කතුන් ලියාපදිංචි කිරීමයි. දෙවැනුව සුවනාරී සායනය පිළිබඳ උපදේශනයක් ලබා දේ. ෙමහිදී ඉතා බහුලව ඇති ගැබ් ගෙල පිළිකාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වේ. ගර්භාෂ ගෙලෙහි පහළ කොටසේ සිදු කෙරෙන මෙය පැප් පරීක්ෂණය යි. ඉතා සියුම් ව වේදනාවකින් තොරව සිදු කෙරෙන්නක්. බොහොමයක් කාන්තාවන් ෙම් සායන සඳහා සහභාගී වීමට මැළිකමක් දක්වන්නේ එම පරීක්ෂණය වේදනාව ගෙන දෙන්නක් යැයි සිතායි. මේ දුර්මතය නිසා පසුකාලීනව යම් හෙයකින් ගැබ් ගෙල පිළිකාව වැලඳුණහොත් මුළු ජීවිතයෙන් ම වන්දි ගෙවන්නට සිදු වේවි. සායනයේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ ගැබ්ගෙල පිළිකාව මූලික අවධියේදී ම හඳුනා ගැනීමයි. එසේම ගැබ්ගෙල පිළිකාව 2030 වසර වනවිට ලංකාවෙන් තුරන් කිරීමයි.

අවුරුදු 10 -11 වයස් කාණ්ඩයේ (පාසලේ 6 ශ්‍රේණියේ) ගැහැනු දරුවන් සඳහා රජයෙන් HPV නොහොත් හියුමන් පැපිලෝමා වෛරසය සඳහා වන එන්නත නොමිලයේ ලබා දේ. මේ ඔස්සේ ද බලාපොරොත්තු වන්නේ ගැබ්ගෙල පිළිකාව මුළුමනින් ම තුරන් කිරීමයි.

අවුරුදු 35 - 45 අතර කාන්තාවන්ගෙන් සියයට 70ක් පමණ හෝ මුල් අවධියේ ගැබ්ගෙල පිළිකාව හඳුනා ගැනීම සඳහා සිදු කරන HPV DNA පරීක්ෂාව කළ යුතුමයි. මීට අමතරව සායනික පියයුරු පරීක්ෂාවක් සිදු කොට වෙනසක් ඇත්නම් විශේෂඥ ශල්‍ය සායන සඳහා යොමු කරයි. ඔසප්වීම සිදුවී සතියකින් පමණ පසු ස්වයං පියයුරු පරීක්ෂාව සිදු කරන අන්දම පිළිබඳ දැනුවත් කරයි.

දියවැඩියාව, අධි රුධිර පීඩනය, ස්ථුලතාව යන කරුණු හඳුනා ගැනීමක් මෙහිදී සිදුවේ.

සුවනාරී ෆේස්බුක් පිටුව ද පසුගිය දිනෙක එළි දැක්වූයේ සුවනාරි සායනයේ ඇති වැදගත්කම කාන්තා පරපුර අතරට තව තවත් ගෙන යෑමේ අටියෙනි. මුහුණු පොතේ එසේත් නැතිනම් ෆේස්බුක් එකේ සක්‍රියව සිටින කතුන් වෙත දෙන පණිවුඩය වන්නේත් අවුරුදු 35 - 45 අතර කාන්තාවන් ගැබ්ගෙල පිළිකා පරීක්ෂණය සඳහා යොමු කරවා ගැනීමයි. මේ සියලුම සේවාවන් නොමිලයේ ලබා දෙන අතර සායනයට යොමුවන කතුන්ගේ රහස්‍යභාවය ද උපරිමයෙන් ම සුරකී. යම් හෙයකින් ෙම් පරීක්ෂණ සිදු කරන්නේ පිරිමි පාර්ශ්වයේ වෛද්‍යවරයෙක් නම් සෞඛ්‍ය සේවිකාවක් ද ඒ අසලම සිටි. පුහුණු කළ වෛද්‍යවරුන් සහ මහජන සෞඛ්‍ය හෙද සොයුරියන් අතින් ගැබ්ගෙල පිළිකා පරීක්ෂණය සිදු කෙරේ.

අදාළ පරීක්ෂණවල වාර්තාව ලබා දෙන්නේ සායනය සඳහා සහභාගී වු පරීක්ෂණය සඳහා මුහුණ දුන් අදාළ කාන්තාවගේ අතටම පමණි. පවුලේ වෙනත් අයකුට හෝ නොදේ. මේ ඔස්සේ පූර්ව පිළිකා තත්ත්වයක් ඇත්නම් එය හඳුනාගන්නා නිසා මුල් අවධියේ දී ම ප්‍රතිකාර කර පිළිකාමය තත්ත්වයක් කරා දිගින් දිගටම යෑම වළකාලයි. බොහෝවිට අවුරුදු 35 වැනි කාල ෙය් දී හඳුනා ගන්නේ පූර්ව පිළිකාමය තත්ත්වයයි. අවුරුදු 35ත් පසු නැවත අවුරුදු 45 දී පැප් පරීක්ෂණය සිදු කරයි. ගැබ්ගෙල පිළිකාව වර්ධනය වන්නේ ඉතාම සෙමිනි.

මවක්, බිරියක්, සොයුරියක්, දියණියක් ලෙස ඔබත් නීරෝගි දිවි පැවැත්මක් උදෙසා සුවනාරි සායන වැඩසටහන් සඳහා සහභාගි වී රෝදුක් ඇත්නම් කල්තියා හඳුනා ගන්න. වළකාගන්න.

 

 

උපදෙස්

ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය පද්මක සිල්වා

පවුල් සෞඛ්‍ය සේවා කාර්යාලය සුවනාරි වැඩසටහන

Tharunie