Monday, May 06, 2024
Follow Us
කට්ට කාගෙන සිටින ඇට්ටරයකු වෙන්නට හැමෝටම බැරිය

Readers hub

"ජීවිතය" මහා පුදුමාකාර දෙයකි. සසර සැරිසරණ ගමනේ ගිමන් හරින්නට නැවතුණු අරුම පුදුම නවාතැන්පොළකි. ජීවිතය යනු මෙයයි කියා ස්ථිර අර්ථකථනයක් දිය නොහැකි මහා ඉන්ද්‍රජාලයකි. ජීවිතය යනු කුමක්දැයි කියා පුද්ගලයන් දස දෙනකුගෙන් විමසූ කළ ලැබෙන්නේ එකිනෙකට හාත්පසින්ම වෙනස් වූ අර්ථකථනයන් දහයකි. එය සාධාරණය. මිනිසා විසින් ජීවිතය කුමක්දැයි කියා අර්ථකථනය කරන්නේ තමන්ට ලැබෙන්නා වූ තමන් විඳින්නා වූ අත්දැකීම් හා සිදුවීම් අනුව ය.

 

ජීවිතය පහසු නැත. සැමවිටම, සැමටම සමානව ලැබෙන්නේ ද නැත. ජීවිතය නම් වූ අම්බලම තුළ හිසට සෙවණක් තනා ගනිමින් විවිධ වූ වර්ගයේ පුද්ගලයන් වාසය කරයි. ඇත්තටම ජීවිතය නම් ප්‍රශ්න පත්තරයකි. එහි ඇති ගැටලූ නිරාකරණය කරගනිමින් ඉදිරියට යාම ජීවත්වීමයි. ජීවිතය නම් වූ කඨෝර කාන්තාරය තුළ අපහසුම දේ ජීවත් වීමයි.

ජීවත්වීමට නම් ජීවිතය ගලා ගෙන යා යුතුය. ජීවිතය නම් වූ රිය හසුරවන රියැදුරා එසේ නැතිනම් ජීවිතය නම් වූ නොදන්නා ඉසව්වේ අතරමං නොවී සංචාරය කිරීමට මඟ පෙන්වන මාර්ගෝපදේශකයා "දෛවය" ලෙස අර්ථකතනය කළහොත් ජීවිතයේ මුදුන් මුල දෛවය ලෙස සිතීමට අපට සිදුවනු ඇත.

සමහරකුට දැනෙන්නේ ජීවිතය ගඟක් සේ ය. බාධක මැදින් අපහසු සීමාවන් පසු කරමින් ගඟක් පහළට ගලා යනවා සේම ජීවිතය ද එකම දිශානතියකට ගමන් කරයි. එය ද එක් එක් පුද්ගලයාට විවිධාකාරයෙන් අත්විඳින්නට සිදු විය හැකියි. යමකුට ගැටලු නිරාකරණය කරගනිමින් ඉදිරියටම ගොස් කෙටිකාලයක් තුළ ජීවිතය දිනන්නට, ස්ථාවරත්වයකට පත් වෙන්නට අවස්ථාව උදා විය හැකියි. එහෙත් සමහරෙක්ට කොතරම් ගැටුම්, ගැටලු නිරාකරණය කරගනිමින් ඉදිරියට යන්නට උත්සාහ කළත් ජීවිතය ආපස්සටම ගමන් කරමින් සියලු බලාපොරොත්තු ඉච්ඡාභංගත්වයට පත්ව ජීවිතය ගලා යාම ද සිදුවිය හැකියි. එහෙයින් ජීවිතය එක් දිශානතියක් ඔස්සේ ඉහළට හෝ පහළට ගමන් කරන ආකාරය බලා ජීවිතය ගලන ගඟකට උපමා කරන්නට ද හැකියි.

ජීවිතය, විටෙක සසල වන, විටෙක නිසල වන මහා සයුරට සමාන කළ හැකිය. සයුර නිශ්චලතාවයේ පසුවන අවස්ථාවන් සොයා ගැනීම බොහෝ දුර්ලභය. සයුර හා එකට එක්ව ඇති වෙරළ මතට පැමිණෙන රැලි ආපසු යන්නේ ද සයුරටමය. එහෙයින් වෙරළට රැල්ල පැමිණෙනවා සේම ආපසු යන්නේ ද එම රැල්ලමය. සමහර අවස්ථාවල වෙරළට ගැසුව රැල්ල ආපසු යන විට අතරමඟ දී තවත් රැල්ලක් සමඟ නැවත වෙරළට පැමිණ ආපසු යන්නට ද සිදුවිය හැකිය. සයුර එසේමය. යමකුගේ ජීවිතය ද එවැනිම ස්වභාවයක් ගැනීමට හැකියාවක් පවතී. ගැටලු නිරාකරණය කරගනිමින් ඉදිරියට යන අතර ආපස්සට අඩියක් හෝ පියවර කිහිපයක් ගොස් යළි ඉදිරියට යාමට ද ජීවත්වීම නම් වූ බැරෑරුම් කර්තව්ය තුළ අපට සිදුවෙයි. එහෙයින් ජීවිතයට ද එකම සිදුවීම නැවත නැවත සිදුවෙමින් පසුපසට හෝ ඉදිරියට ගලාගෙන යා හැකිය. ජීවිත අත්දැකීම් අනුව ජීවිතය ගෙවන ආකාරය අනුව ජීවිතය යන්න කුමක්ද කියා අර්ථකථනය කරන විට ජීවිතය සයුරක් වැනිය කියා කීම ද මේ නිසා අසාධාරණ නොවේ.

මෙලෙස ජීවිතය විවිධ අයුරින් විනිවිද දකින්නට ඕනෑ ම අයකුට ඉඩ ප්‍රස්ථාව පවතී. ජීවිතය පිළිබඳ සෘණාත්මකව දකින්නටත්, ධනාත්මකව දකින්නටත් ඉවහල් වනුයේ කෙනකු ලබන අත්දැකීම්ය. ඒ ජීවන ඔරුව පැද යාමේදී විඳින්නට, අහන්නට, දකින්නට ලැබෙන සිදුවීම් අනුවය.

කෙසේ නමුත් පුද්ගලයකුගේ ජීවිතය පාලනය කරන කොඳුනාරටිය ලෙස දරාගැනීම හා වීර්යය දක්වන්නට හැකිය. සමාජයේ සිදුවන විවිධ සිදුවීම් ඔස්සේ විවිධ පුද්ගලයන් තම අත්දැකීම්වලට අනුව තව කෙනකුගේ ජීවිතය නිරීක්ෂණය කිරීමට, නිගමනය කිරීමට පෙළඹුණත් එසේ කිරීම සාධාරණීකරණය කළ නොහැකියි. ඒ එක් එක් පුද්ගලයන්ගේ ජීවිත අත්දැකීම් සහ දරාගැනීමේ ශක්තීන් විවිධ මට්ටම්වල පවතින නිසාවෙනි.

වර්තමානයේ තරුණ තරුණියන්ගේ සිට වයස්ගත පුද්ගලයන් දක්වාම සියදිවි නසාගන්නට පෙළඹීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇත. එහෙයින් සමාජය ඔවුන් පිළිබඳ පටු ආකල්ප දක්වන්නට ඔවුන්ගේ ප්‍රතිරූපය තම අත්දැකීම් රාමුවට අනුව නිරීක්ෂණය කරන්නට පුරුදුව සිටියි. සැබෑවටම සියදිවි නසාගැනීම මෝඩකමකි. ධර්මය පැත්තෙන් බැලුවහොත් මිනිස් ආත්මයක් ලබා ගැනීමට කල්ප කාලයක් දුක් විඳිමින් බලා සිටීමට සිදුවන පාපකර්මයකි. එහෙත් එවැනි ඛේදවාචකයක් සිදුවීමට සැකසුණු පසුබිම අප දන්නේ නැත.

යමෙක් සිය දිවි නසා ගන්නේ ඉතා කුඩා හේතුවකට විය හැකිය. කුඩා කල සිට දුක යන අකුරු දෙක ජීවිතයට ළං නොවී සැපය පමණක්ම වින්දේ නම් සමහර විට කුමන වයසක, කුමන තරාතිරමක සිටියත් දුකක් පීඩනයක් දැනුණු කල එය දරා ගැනීමට තරම් ශක්තියක් නොමැති විය හැකයි. මන්ද ඔහුට හෝ ඇයට ආයාසයකින් තොරව සියලු දේ ලැබුණේ නම් අදාළ ඍණාත්මක හැඟීම් පාලනය කරගැනීමට, ආත්ම ශක්තිය නිසි අයුරින් කළමනාකරණය කරගැනීමට නොහැකි විය හැකියි. යම්කිසි ගැටලුවක දී හදවතට පෙර මොළය ක්‍රියාත්මක කළ යුතුය. එහෙත් ගැටලු නිරාකරණය කිරීමේ අත්දැකීම් නොමැතිනම් ක්ෂණිකව දැනෙනා වේදනාව දරා ගැනීමට නොහැකිවීම හේතුවෙන් ඉක්මන් තීරණයක් ක්‍රියාත්මක කරයි. එය දුර්වලතාවක් ලෙස සමාජය දුටුවත් එහි ඇතුළාන්තයේ සමාජය නොදකින හේතුන් සැඟව තිබිය හැකියි. ඒ නිසා එවැනි චෝදනා එල්ල කිරීමේ අයිතිය සමාජයට නැත.

නිරන්තරයෙන්ම තමාට උරුම වී ඇත්තා වූ උරුමවෙන්නා වූ ඍණාත්මක ජීවිතය ධනාත්මක පසුබිමකට පරිවර්තනය කර ගන්නට බොහෝ කැපකිරීම් කරන අය හිඳී. ඔවුන් ලැබෙන්නා වූ දරාගත නොහැකි මානසික පීඩනය කුමන ආකාරයකින් හෝ (අන් අයගේ සහය ඇතිව හෝ ස්වයංව) කළමනාකරණය කරගනිමින් ඍණාත්මක හැඟීම් සමුදායන් සමඟ සටන් කරමින් කඪෝර වේදනාවන් විඳ දරා ගනී. ඒ ජීවිතයේ කොතැනක දී හෝ ලැබෙන සැනසිල්ල බලාපොරොත්තුවෙනි. ඔවුන් කට්ට කාගෙන තම ජීවිත අරගලය ඉදිරියටම ගෙන යන ඇට්ටරයන් ය. එවැනි අය බොහෝවිට කිසිවකුට හඳුනාගත නොහැකි අන්දමින් තම ජීවිතය කළමනාකරණය කරගන්නට තමා දන්නා සියලු ඇට්ටරකම් ක්‍රියාත්මක කරයි. ඔවුන්ගේ ඇට්ටරකම් කෙසේද යත් ඔවුන් තමාව කළමනාකරණය කර ගැනීමට පට්ට කට්ටක් කන්නේය. එහෙයින් ඔවුන් යකඩයක් සේ මුවහත් වී කෙසේ හෝ ජීවන අරගලය තුළ තම ජීවිතය යහපත් ලෙස ශක්තිමත් ලෙස ධනාත්මක ලෙස හැඩගස්වා ගැනීමට දක්ෂ වන්නේ ය.

එහෙත් කට්ට කාගෙන ඉන්න ඇට්ටර කොල්ලෙක්, කෙල්ලෙක් වන්නට හැමෝටම බැරිය. නමුත් එලෙස සිටිනා ධෛර්යවන්තයන් ඒකාන්තයෙන්ම යම් දිනෙක ජීවිතය දිනන්නේය. සැනසීමක් ලබා ගන්නේය.

පොතක පිටකවර දෙස බලා පොතක ඇතුළාන්තය නිර්ණය කිරීම නොකළ යුතු සේම සමාජයේ සිටින සෑම පුද්ගයකුගේම ඇතුළාන්තය, ජීවිත කතාව අපට නොපෙනේ. අපි නොදනී. මේවන් අසීරු වූ කාලයක ඔබටත් මෙවැනි පුද්ගලයන් මුණගැසී තිබේ නම් මුණගැසෙන්නේ නම් ඔවුන් පිළිබඳ විමසිලිමත්ව සොයා බලන්නට තරම් කාරුණිකව වන්න.

 

 

සටහන

සඳලංකාවේ

නුවන්ති හංසිනී උත්පලා

Tharunie