Sunday, May 05, 2024
Follow Us
දියණියන්ගේ පෝෂණය ගැන හිතන ආදරණීය මව්වරුන් වෙත සෙනෙහසින්

අද ලබා දෙන සෞඛ්‍ය සම්පන්න ආහාර හෙට දවසේ නිරෝගී දරුවන් බිහි කරයි

දරුවන් ලොකු මහත් කරවන්නට උනන්දු වන මාපියන් අනාගතයේ නිරෝගී දරුවන් කරන්නට ද උනන්දුවන්නේ නම් එම දරුවන් සෞඛ්‍ය සම්පන්න බවින් හෙබි වනු ඇත.

කෙටි ආහාර (short eats) ලොවට හඳුන්වා හඳුන්වා දීමත් සමඟින් මිනිසාගේ ජීවිතය ද කෙටි (short) වී ඇත. කෙටි ආහාර හා විද්‍යාව දියුණුවත් සමඟ කෘත්‍රිම ව සාදන ආහාරවල ශක්තිය නැතිනම් කැලරි ප්‍රමාණය වැඩිය. අප ආහාර ලබා ගැනීම කළ යුත්තේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට අනුවය. එසේ නොමැතිව වැඩි කැලරි ආහාරයට ගැනීමෙන් බෝ නොවන රෝග ඉතා ශීඝ්‍රයෙන් සෑදෙනු ඇත. දිනපතා ගන්නා කැලරි එදිනෙදා ම දවාලන්න හැකි නම් නිරෝගී වේ. මෙම අධි කැලරි ආහාර නිසා හෘදය, අග්න්‍යාශය, අක්මාව, වකුගඩු ආදී ශරීරයේ අත්‍යවශ්‍යම ඉන්ද්‍රීයයන් දුර්වල වේ.

ගැළපෙන බරක්, උසට සරිලන බරක් පවත්වාගෙන යෑම සඳහා දිනකට කොපමණ කැලරි ප්‍රමාණයක් ගත යුතු දැයි දැන ගෙන සිටිය යුතුය. දිනකට දවාලිය හැකි ප්‍රමාණයට වඩා කැලරි ප්‍රමාණයක් ගත ගතහොත් එය දවාලීමට සමත් වන පරිදි ශාරීරික ක්‍රියාකාරකම් ද වැඩි කරගත යුතු වේ.

 

ව්‍යායාම

දිනපතා පොතපතේ ම පරිගණකයේ ම ඇලෙන ගැලෙන දරුවාගේ මොළය, ශරීර ඉන්ද්‍රීයයන් වර්ධනයට ද ව්‍යායාම අත්‍යවශ්‍ය වේ. අඩුම සතියකට දින 5ක් විනාඩි 30 ත් 45 ත් අතර කාලයක් සිරුර වෙහෙසෙන කාර්යයක නියැළෙන්න. බයිසිකල් පැදීම, කඩිසරව ඇවිදීම, පිහිනීම ශරීරය බර අඩු කර ගැනීමටත් අනෙකුත් ඉන්ද්‍රීයයන් හොඳින් පවත්වා ගැනීමටත් රුකුලක් වෙයි. දිනපතා ක්‍රීඩා, ව්‍යායාම කිරීමෙන් ශරීරයට හිතකර කොලෙස්ටරෝල් HDL වැඩි කරගැනීමටත් ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් LDL අඩු කර ගැනීමටත් හැකි වේවි.අධි රුධිර පීඩනය, රුධිර ගත සීනි ප්‍රමාණය පාලනය කර ගැනීමටත් පෙනහලු ක්‍රියාකාරිත්වය වර්ධනය කර ගැනීමටත් (ඇදුම සෙම ඇති අයට විශේෂයි) උපකාරී වේ.

 

සෞඛ්‍යයට හිතකර ආහාර ගැනීම

බහුල ලෙස ආහාර ගත්තත් නිරෝගී දිවිපෙවෙතක් සඳහා අවශ්‍ය පෝෂ්‍ය ⁣පදාර්ථ ඉන් නො ලැබෙනවා වන්නට පුළුවන. බඩ පැලෙන්න කනවා යනු ලංකාව, ඉන්දියාව ආදි රටවල විශේෂයෙන් කාබෝහයිඩ්‍රේට් විශාල ප්‍රමාණයක් ගත්තා යන්නයි. ඉන් ඇති ඵලයට වඩා ඇත්තේ නිශ්ඵලතාවක් පමණයි.

පෝෂ්‍ය ගුණයෙන් යුතු ආහාර වේලක් ලෙස හඳුන්වනුයේ විටමින්, ඛනිජ ලවණ, තන්තු, ඇමයිනෝ අම්ල, අත්‍යවශ්‍ය මේද අම්ල මෙන්ම කැලරි අඩු ප්‍රමාණයෙන් යුත් ආහාර වේලක් ය. දරුවාට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සියල්ල ලබා ගැනීම සඳහා පලතුරු, එළවළු වර්ග ධාන්‍ය වර්ග හා මේදයෙන් තොර හෝ අඩු මේද ප්‍රමාණවලින් යුතු ගොවිපොළ නිෂ්පාදිත හා කුඩා මාළු වර්ග ආදිය ආහාර වේලට එක් කරන්න.

 

එළවළු හා පලතුරු

මේවායේ විටමින් ඛනිජ තන්තු විශාල ප්‍රමාණයක් අඩංගු අතර කැලරි සුළු ප්‍රමාණයක් අඩංගු වේ. අඹ, පේර, අලිගැටපේර, වෙරළු, අනෝදා, සියඹලා, ගල් සියඹලා, සැපතිල්ලා, ජම්බු, දුරීයන්, රඹුටං කෙසෙල්, අන්නාසි හා දේශීය නිශ්පාදිත මිදි හෝ පෙයාර්ස් දරුවන්ට දෙන්න. බටහිර රටවලින් ගෙනෙන මිදි, ඇපල් අඩු කරන්න. බෝංචි, දඹල, සෝයා ආදී රනිල කුලයට අයත් බෝග, ගොටුකොළ, කන්කුන්, නිවිති,තම්පලා, මුගුණුවැන්න, කතුරුමුරුංගා කොළ, මල්, මුරුංගා කරල් ආහාරයට අනිවාර්යයෙන්ම එක් කරවන්න. මේවායේ විටමින් ඉතා විශාල වශයෙන් ද යකඩ, කැල්සියම්, මැග්නීසියම් වැනි ඛනිජ වර්ග ද තන්තු, ප්‍රතිඔක්සිකාරක, යහපත් ප්‍රෝටීන්, යහපත් මේද ආදිය අඩංගු වේ. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි නොකර රුධිර පීඩනය වැඩි නොකර (පැෂන් ෆෘට් කොළ මැල්ලුම විශේෂයි). තන්තුවාහිනි පද්ධතිය වර්ධනය කර ගැනීමට පලතුරු හා එළවළු දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද ඉතා වැදගත් වේ.

 

ශුද්ධ නොකළ ධාන්‍ය වර්ග (නිවුඩ්ඩ සහිත)

මේවා කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට උපකාරී වන තන්තු, විශේෂයෙන්ම ද්‍රව්‍යමය තන්තු හා කාබෝහයිඩ්‍රේට් අඩංගු අතර මේවා අඩු මේද ප්‍රමාණයකින් යුක්ත වේ. එම ධාන්‍ය මධ්‍ය වශයෙන් ආහාරයට ගතහොත් උසට සරිලන බර රැක ගැනීමට උපකාරී වේ.

මාළු

අඩුම වශයෙන් සතියකට දෙවරක්වත් මාළු ආහාරයට ගත යුතුය. විශාල කෙලවල්ලා හා බලයා ගේ පිටත සමේ මොළයට අහිතකර රසදිය ඇති බැවින් සම ඇර පිසගන්න. කුඩා මසුන් ආහාරයට ගැනීම වඩාත් සුදුසුය. ගර්භණී සමයේ විශේෂයෙන් බලයා, කෙලවල්ලා ගේ සම ඉවත්කර පිසගන්න. එය දරු ගැබේ මොළයට හා වකුගඩුවලට බලපෑ හැකියි. නමුදු කෙලවල්ලා හා බලයාගේ ඔමේගා 3 අධිකයි. කුඩා මාළුවලින් සුප් එකක් එළවළු ද දමා දරුවන්ට සතියකට දෙවරක් වත් සවසට බීමට දෙන්න. ඒවාට කෘත්‍රිම රසකාරක කිසිම දෙයක් ඇතුළු කරන්න එපා.

උපදෙස්:

ආයුර්වේද විශේෂඥ වෛද්‍ය

සුදත් ගුණතිලක

Tharunie