අපි හැමෝටම පෞරුෂයක් තිෙයනවා. හැබැයි අප එය හරියාකාරව හඳුනාගෙන නැහැ. අප අපටම ආවේණික වූ අපේ පෞරුෂය සංවර්ධනය කරගත යුතුයි.
ඒ වගේම සමාජය හඳුන්වන පෞරුෂයක් තිබෙනවා. සමාජය සෑම විටම හොඳ පෞරුෂයක් ලෙස දකින්නේ පෙනුමට මුල් තැන දෙමිනි. නමුත් පෙනුම පමණක්ම නොවෙයි, පුද්ගලයකු තුළින් විද්‍යාමාන වන මහත්මා ගතිවලින් මනා පෞරුෂයක් පිළිබිඹු වෙනවා.
කුඩා බීජයකට පුළුවන් විශාල වෘක්ෂයක් වන්නට. අන්න ඒ වගේ හොඳ පරිසරයක් තුළ වැඩෙන කුඩා දරුවාට ද අනාගතයේ රටට වැඩදායි දැවැන්ත පුරවැසියෙක් වීමට අවස්ථාව තිබෙනවා. ඉතා සුබදායි ලෙස මනා පෞරුෂයක් දරුවන් තුළ ගොඩ නැඟීමට සියලු දෙනාම උදව් කළ යුතුයි.
ඕනෑම පුද්ගලයකුගේ පෞරුෂය ගොඩනැඟෙන්නේ ජානවලින් සහ පරිසරය තුළිනි. මව් කුස තුළ දී දරුවාට මවගේ චිත්තවේගවල බලපෑම ඇතිවන නිසා එය අනාගතයේ දී දරුවාගේ චර්යාවට බලපායි. උපන්දා සිට වසර 5ක් දක්වා කාලය තුළ සිදුවන හා සිදුවූ සියල්ල අපගේ පෞරුෂයේ වර්ධනයට හෝ පිරිහීමට තදින්ම බලපානවා. සිග්මන් ෆ්‍රොයිඩ් හඳුන්වා දී ඇති ආකාරයට, මිනිස් මනස කොටස් 3කට බෙදනවා. උඩු සිත (සවිඥානය), යටි හිත (අවිඥානය) මේ දෙකටම මැදි වී ඇති සිත පූර්ව අවිඥානයයි. අවුරුදු පහ දක්වා ඇති සියලුම බලපෑම් යටි සිතට තල්ලු කර ඒවා පසුව චර්යාවට බලපාන බව සිග්මන් ෆ්‍රොයිඩ් පවසනවා.
අපි හැමෝටම අපි ගැන මානසික ප්‍රතිරූපයක් තිබෙනවා. මෙම ප්‍රතිරූපය ගොඩනැඟෙන්නේ කුඩා කළ අපගේ මනසට වැටුණු දේවල් අනුවයි. සෘණ හා ධන ආකල්ප තුළින් ගොඩනැඟෙන අපගේ ප්‍රතිරූපය චර්යාවන් බවට පත්වේ. 90% මිනිසුන් තුළ ඇත්තේ සෘණ ආකල්පයන්ය. තමා ගැන අවතක්සේරු කර ගොඩනඟා ගන්නා පෞරුෂයකි. එයින් අනාගතයේ ගොඩනැඟෙන්නේ වහලකු ගේ පෞරුෂයකි. ඔබ වෙතින් නායකත්වය ගිලිහී යයි. වෘත්තිමය දක්ෂතා නොමැති වෙයි. නිතරම අධෛර්යවත් පුද්ගලයකු බිහිවෙයි.
එම නිසා දරුවන් හා මව්පියන් අතර කුඩා කළ සිටම මනා සම්බන්ධතාවක් තිබිය යුතුයි. දරුවාට දැනුම දෙනවා වගේම ආකල්ප හා කුසලතාවලින් ද ඔවුන්ගේ පෞරුෂය ගොඩනැඟිය යුතුයි.
අප හැමෝගෙම එකම අරමුණ පූර්ණ මනුෂ්‍යයකු වීමයි. ඒ සඳහා අප මානසිකව, ශාරීරිකව, අධ්‍යාත්මිකව සංවර්ධනය විය යුතුයි.
අප නිවෙසේ දී ගොඩනඟා ගතයුතු පෞරුෂයක් තිබෙනවා. පාසලේ දී, විශ්ව විද්‍යාලයේ දී රැකියා ස්ථානයේ දී මඟතොට දී හැසිරිය යුතු ආකාරයක් තිබෙනවා. සමාජය අපෙන් ඒ දේවල් බලාපොරොත්තු වෙනවා.
යහපත් දේ අප ඉගෙන ගන්නා ගමන් යහපත් දේ සමාජගත කිරීමත් සමාජ මෙහෙවරකි.
අප අපිට ආදරය කරමින්, අපිව හඳුනා ගනිමින් අප තුළ හොඳ පෞරුෂයක් සංවර්ධනය කරගත යුතුයි. එවිට සමාජය තුළ හැසිරීම පහසු වන අතර අනෙක් පිරිසට ද අපව ඇසුරු කිරීම පහසු වනු ඇත.
තරගකාරි ජීවන රටාවක් ගෙවන වර්තමාන සමාජ ක්‍රමය හමුවේ ලෝකයේ සිදුවන වෙනස්කම් අනුව යාමට අපට සිදුවේ. ඒ හා සම්බන්ධ වීමට නවීන තාක්ෂණ උපකරණ භාවිත කිරීමට අපට සිදුවේ. සමාජ මාධ්‍ය වෙබ් අඩවි හා නිරතුරුව සම්බන්ධකම් පැවැත්වීමට ද අපට සිදු වී තිබෙනවා.
මේ නැඹුරුතාවන්ට පත්වීම නිසා විවිධ ගැටලුවලට මුහුණ දීමට අපිට සිදුවෙනවා. මානසික අක්‍රමිකතා, භීතිකාව, විෂාදය, කාන්සාමය තත්ත්වයන් සුලභව දකිනවා. සියදිවි නසා ගැනීම්, ගැටලු විසඳා ගැනීමේ නො හැකියාවන්, උග්‍ර මානසික ගැටලුවලට බොහෝ පිරිස් දැන් දැන් මුහුණ දෙමින් සිටිනවා.
මෙවැනි දේට මුහුණ දෙමින් තමන්ගේ අනාගතය ශක්තිමත් කරගෙන ඉදිරියට යාමට මනා පෞරුෂයක් අවශ්‍යයි. ඉදිරියේදී මෙවැනි දේ ගැන සවිස්තරාත්මකව අපි කතා කරමු. දුර්වල මානසිකත්වයකින් මිදී යහපත් නීරෝගි මනසක්, කයක් ඇති පුරවැසියන් වෙමු.
දරුවන්, යෞවනයන්, වැඩිහිටියන් මේ හැම දෙනාටම විවිධ අවධිවල දී සංවර්ධනයට බලපාන හේතු තියෙනවා. මනෝ විද්‍යාඥ 'එරික් සරික්සන්'ට අනුව මනුෂ්‍යයා තම ජීවිත කාලය තුළ විවිධ සංවර්ධන අවධි ඔස්සේ ගමන් කරති. එම ගමනේ දී සමාජයට ඔවුන් වෙතිනුත් ඔවුන්ට සමාජය වෙතිනුත් එල්ල වන බලපෑම් ඇත. ප්‍රධානම සංස්ථාව වන පවුල් සංස්ථාව තුළ මනා සංයමයකින් හා හොඳ යහපත් සම්බන්ධතාවලින් පරිපූර්ණව ජීවත්වීම අද වනවිට විශාල ගැටලුවක් බවට පත්වී තිබෙනවා. 'මාස්ලෝ ගේ අවශ්‍යතා ධූරාවලිය'ට අනුව අවශ්‍යතාවන් සම්පූර්ණ කරගැනීමේ අරගලවල තනි තනියෙන් යෙදෙන්නට සිදුවී තිබෙනවා.
මේ හැම කාරණාවකටම මුහුණදීමට සිදුවෙන්නේ එක එක්කෙනාගේ පෞරුෂයේ ඇති ස්වභාවය අනුවයි. ගැටලුවලට සාර්ථකව හෝ අසාර්ථකව මුහුණ දීම සිදුවන්නේ ඒ අනුවය.
අපි හැමෝම ධනාත්මක පෞරුෂයක් ගොඩනඟා ගැනීමට වෙහෙසෙමු. ඒ සම්බන්ධ ලිපි පෙළක් ඔබ වෙනුවෙන් සූදානම්ව ඇත. මුහුණ දෙමු ජය ගමු. අර්බූදකාරී තත්ත්වයන් තුළ අපි සාර්ථක වෙමු.
ප්‍රවීණ රූපලාවණ්‍ය හා පෞරුෂ සංවර්ධන
උපදේශිකා දීප්ති පෙරේරා
Tharunie