Thursday, April 25, 2024
Follow Us
ඔසප් චක්‍රය අනුව ඔබ නිරෝගී කාන්තාවක්ද කියා දැනගත හැකි ක්‍රම 6 ක්

ගැහැනු දරුවකු උපත ලැබීමත් සමග ඇය දිනෙන් දින වසරින් වසර වැඩෙන විට නිරෝගී සම්පන්න වීම අතිශයින්ම වැදගත් වේ. මන්දයත් කාන්තාවකගේ කුසින් මෙලොවට දායාද වන ජනිතයන් නිසාවෙනි. එවැනි භාරදුර වගකීමක් දරන කාන්තාව සැමවිටම නිරෝගි සම්පන්න ව සිටීම අතිශයින්ම වැදගත් වේ.

කාන්තාවකගේ නිරෝගී බව මිනුම් කළ හැකි ආකාර කිහිපයක් පවතී. ඒ අතුරින් ගැහැණු දරුවෙකු වැඩිවියට පැමිණීමත් සමග මාස්පතා සිදුවන ඔසප් වීම එක් මිනුමකි. බොහෝ කාන්තාවන්ට දින 28 කට වරක් ඔසප් වීම සිදුවිය යුතුය. නමුත් ඇතැම් කාන්තාවන්ට එසේ නොවන අවස්ථා තිබේ. එයට බලපෑ හැකි හේතු සාධක අතුරින් මානසික පීඩාවන්ට නිරන්තරයෙන් ගොදුරු වීම එක් හේතුවකි.

නිරෝගී කාන්තාවගේ ඔසප් වීම පහත ලක්ෂණ වලින් සමන් විය යුතුය.

 

දින 28 කට වරක් ඔසප් චක්‍රය ක්‍රියාත්මක වීම.
ඔසප් කාල පරාසය දින 3 – 5ත් අතර පැවතීම.
සම්පූර්ණ ඔසප් රුධිරය මිලි ලීටර් අසූවක් පමණ වීම.
වේදනාවෙන් තොර ඔසප් සමයක් පැවතීම.
ඔසප් රුධිරය මදටිය ඇටයක පැහැය ගැනීම.
ඔසප් වන එක්දිනයකට සනීපාරක්ෂක තුවා තුනක් පමණක් ප්‍රමාණවත් වීම.
යනාදී වශයෙන් ඔසප් චක්‍රයක ලක්ෂණ පවතින කාන්තාවක් නිරෝගී ඔසප් චක්‍රයක් හා ප්‍රජනක පද්ධතියක් හිමි අයවලුන් වේ. මෙකී ලක්ෂණ වලින් තොරව මෙම ලක්ෂණ වලට හාත්පසින් වෙනස් ලක්ෂණ පෙන්නුම් කරන ඔසප් චක්‍රයක් හිමි කාන්තාවක් නිරෝගී නොවේ. එය කාන්තාවකගේ දරු පිළිසිඳ ගැනීමකට හෝ ප්‍රසූතියට සෘජු හෝ වක්‍රාකාරයෙන් බලපානු ලබයි.

කාන්තාවකගේ ඔසප් චක්‍රය ක්‍රමවත් නොවී පැවතීමට හේතු කාරණා බොහෝමයක් බලපානු ලබයි. ඉන් කීපයක් පහත පරිදි පෙන්වා දිය හැකිය.

පැලෝපීය නාල අවහිර වී පැවතීම.
ගැබ්ගෙල පිළිකා පැවතීම.
ගර්භාෂ ගෙඩි ඇතිවීම.
හෝමෝන තුලිතතාවය බිඳ වැටීම.
වැරදි ආහාර රටා හා ජීවන පුරුදු.
වේදනා නාශක වලට හුරු වීම.
මානසික පීඩනයට ලක්වීම.
ආදී හේතු කාරණා කාන්තාවකට ක්‍රමවත් ඔසප් චක්‍රයක් හිමි නොවීමට බලපානු ලබයි. මේ අතුරින් මානසික පීඩනය යන කාරණය ප්‍රධාන වශයෙන්ම ඔසප් චක්‍රය අක්‍රමවත් වීම සඳහා බලපානු ලබයි. වර්තමාන සමාජයේ ඔසප් චක්‍රයේ අක්‍රමවත් බව පවසමින් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන කාන්තාවන්ගේ සහ ගැහැණු දරුවන්ගේ අඩුවක් නොමැත. එම සෑම අයෙකුටම ඔසප් චක්‍රය අක්‍රමවත් වීම සඳහා බහුලව බලපා ඇත්තේ මානසික පීඩනයයි. මෙම මානසික පීඩනය ඇතිවීම සඳහා හේතු කාරණා කිහිපයක් බලපායි. ඒ අනුව,

වයස් මට්ටම
පවුල් පරිසරය
සමාජ වටපිටාව
රැකියා තත්ත්වය
විවාහ ජීවිතය

යනාදී කරුණු ද මානසික පීඩනය ඇති වීමට බලපානු ලබයි. මෙසේ මානසික පීඩනය ඇති වීමේ දී කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් හා පොජෙස්ට්‍රෝන් හෝර්මෝන අසමතුලිතභාවය ඇති වේ. එවිට ඔසප් චක්‍රයේ ගැටලුකාරී තත්ත්වයන් ඇති වේ.

පාසල් යන වයසේ ගැහැණු දරුවන්ට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයන් සදහා අධික ලෙස මනස වෙහෙසීමේදී මානසික ආතතිය ඉබේටම ඇති වේ. එම කාලයේ අධික තරගකාරි අධ්‍යාපනයක් ලැබීම ඊට හේතුවයි. ඊට අමතරව නිදි වැරීම, පාඩම් කිරීම නිසාවෙන් ද හෝර්මෝන අසමතුලිත වී ඔසප් චක්‍රයේ ගැටළු ඇති වේ.

තරුණ වියේදී විවාහ කල් පමාව, රැකියා විරහිත බව, ප්‍රේම සම්බන්ධතා කඩ වීම යනාදී ගැටලු වලට මුහුණ පෑමෙන් හෝර්මෝන අසමතුලිතභාවයට පත් වේ. එවිට ඔසප් චක්‍රයේ ගැටළු ඇති වේ.

විවාහයෙන් පසු ද ඔසප් චක්‍රයේ ගැටළු ඇති විය හැකි ය. සුදුසු කාලයේ දී දරුවන් නොලැබීම, දරුවන් සිටින විට ඇතිවන ආර්ථික ගැටලු ආදිය නිසාවෙන් මානසික පීඩනය ඇති වේ. එවිට ද ඔසප් චක්‍රයේ ගැටළු ඇති වේ.

ආර්ථික හැකියාව ඇති හා නැති දෙපාර්ශවයටම මානසික පීඩනය ඇති වේ. මිල මුදල් ඇති පුද්ගලයින් එය ආරක්ෂා කර ගැනීමට හා මිල මුදල් නැති පුද්ගලයින් ඒවා ලබා ගැනීමට මනස වෙහෙසීමෙන් මානසික පීඩනය ඇති වේ. එවිට ද ඔසප් චක්‍රයේ ගැටළු ඇති වේ.

විරකියාවෙන් පීඩා විදීම, රැකියාව අධික වෙහෙසීම, රැකියාවේ ඇතිවන ගැටලු, ස්ථාන මාරු වීම, නව රැකියා පරිසරයකට හුරු වීම ආදීය නිසාවෙන් ද මානසික පීඩනය ඇති වේ. එය ඔසප් චක්‍රයේ ගැටළු ඇති කිරීමට හේතු වේ. ඔසප් චක්‍රය අක්‍රමවත් වූ විට එවනි කාන්තාවන්ගෙන් පහත ආකාරයේ ලක්ෂණ හදුනාගත හැකි ය.

 

බාහිර රූපය වෙනස්වීම.
අධික තරබාරු බව ඇතිවීම.
හම අදුරු පැහැයක් ගැනීම.
ශරීරයේ රෝම බහුලව වැඩීම.
උදරය විශාල වීම.
මීට අමතරව ඔසප් චක්‍රය අක්‍රමවත් වීම නිසා මතුවන ගැටලුකාරී තත්ත්වයන් කිහිපයකි.

ඩිම්බ පිටකිරීමට ගර්භාෂයට අධික වෙහෙසක් දැරීමට සිදු වීම.
ගර්භාෂය අධික ලෙස සංකෝචනයට ලක්වීම.
පැලෝපීය නාලය තුළින් රුධිර කැටි ගමන් කිරීම.
එම රුධිර කැටි ගර්භාෂය හා ඒ අවට තැම්පත් වීම.
ගර්භාෂ ගෙඩි ඇති වීම.
ඔසප් සමයේ එම ගෙඩි වලින් ද අධික ලෙස රුධිරය වහනය සිදුවීම.
මල මුත්‍රා පිට කිරීමේ දී අපහසුතාවක් ඇතිවීම.
බඩවැල්වල අපහසුතා ඇතිවීම.
ආදී වශයෙන් අක්‍රමවත් ඔසප් චක්‍රයේ දී ගැටලු ඇති වේ.
අක්‍රමවත් ඔසප් චක්‍රය සදහා බලපාන මානසික පීඩනයට බලපාන හේතු නිශ්චිතවම හදුනාගෙන ඒවාට ප්‍රතිකාර කළ යුතු අතර බෙහෙත් වර්ග පානය නොකිරීම වඩාත් සුදුසුවේ.

(Lanka Online)