Friday, May 03, 2024
Follow Us
මඳසරු බවට ඖෂධත් බලපානවා

මවු සෙනෙහස මේ ලොව ඇති උත්තරීතර සෙනෙහසයි. මවුවරුන් ගේ දිනය ඒ උත්තරීතර සෙනෙහසට පිදෙන උපහාරයක් වැනියි. එහෙත් දැන් කාලයේ වැඩි පුර ම ඇසෙන්නේ දරුවන් ඇති අම්මලාට වඩා දරුවන් නැතිව දුක් විඳින කතුන්ගේ කතාවයි. ඒ කතාවට හේතු ගණනාවක් තියෙනවා. දෙන්නා දෙමහල්ලන්ට දරුවන් අහිමි කරන කාරණා අතරින් කාන්තාවන්ට ඇතිවන මඳසරු ගැටලු සියයට තිහක් පමණ බලපානවා.

අක්‍රමවත් ආර්තවය, පැලෝපීය නාලවල අක්‍රමිකතා, ගර්භාෂයේ අසාමාන්‍යතා ඒ අතරින් ප්‍රධානයි.

ආර්තව ගැටලුවලට කාන්තාවගේ වෙනත් සෞඛ්‍ය ගැටලු බලපානවා.

පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් (PCOS) - මේ රෝග තත්ත්වයේදී කාන්තා සිරුරේ ප්‍රධාන වෙනස්කම් තුනක් සිදු වෙනවා.

ආර්තවය අක්‍රමවත් වීම එක් ගැටලුවක්. පිරිමි හෝර්මෝනයක් වන ඇන්ඩ්‍රොජන් සිරුරේ ඉහළ මට්ටමකින් තිබීම තවත් හේතුවක්. මෙවිට මුහුණේ සිරුර පුරා රෝම ඇති වෙනවා. ඩිම්බ කෝෂ විශාල වී ගර්භාෂයේ තරල පිරුණු ගෙඩි හට ගැනීම පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් ඇති විට සිදු වන්නක්. මේ ලකුණුවලින් දෙකක් හෝ ඇත්නම් පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් ඇති බවට හඳුනා ගන්නවා. මෙය නිසරු බව ඇති කරන ප්‍රධාන හේතුවක්.

තයිරොයිඩ් ග්‍රන්ථි අධි ක්‍රියාකාරී වීම හෝ අඩු ක්‍රියාකාරී වීම මඟින් ඩිම්බ මෝචනය හෙවත් පිටවීම වළක්වනවා.

වයස අවුරුදු හතළිහට කලින් ඩිම්බකෝෂ ක්‍රියාකාරිත්වය නතර වීම මඳසරු බවට ප්‍රධාන වශයෙන් බලපානවා.

ශ්‍රෝණි සැත්කම්වලින් පැලෝපීය නාලවල කැළැල් ඇති වන්න පුළුවන්. ගැබ්ගෙල ආශ්‍රිත සැත්කම්වලදී ගැබ් ගෙල කැළැල් වීමට ගැබ්ගෙලේ දිග අඩු වීමට පුළුවන්.

ගැබ්ගෙලේ ශ්ලේෂ්මලවල බලපෑම ද නිසරු බවට හේතු වෙනවා. ඩිම්බ පිට වන විට ගැබ්ගෙලේ ශ්ලේෂ්මල තුනී වෙනවා. එවිට ශුක්‍රාණුවලට පහසුවෙන් පිහිනා යා හැකියි. ශ්ලේෂ්මල ඝනවූ විට ශුක්‍රාණුවලට පිහිනා යාමට අසීරුයි.

ගර්භාෂය ඇතුළත හෝ ගර්භාෂය වටා ඇති පිළිකාමය නො වන ඇතිවීම ෆයිබ්‍රොයිඩ්ස් ලෙස හඳුන්වනවා. ඇතැම් අවස්ථාවල ශුක්‍රාණු සංසේචනය වී ගර්භාෂයේ තැන්පත් වීම වළක්වනවා.

එන්ඩොමෙට්‍රියෝසිස් කියන්නේ ගර්භාෂ ආස්තරණ පටල සිරුරේ වෙනත් තැනක තැන්පත් වී ආර්තවයේදී මෙන් රුධිරය පිට වෙයි. ආස්තරණ පටල ඩිම්බ කෝෂවල හෝ පැලෝපීය නාලවල තැන්පත්වූ විට සරු බවට ගැටලු ඇති වෙනවා.

විශ්වාසවන්ත එක් සහකරුවකු පමණක් ඇසුරු නො කිරීමේ වරදින් එච්අයිවී පමණක් නොව ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ගණනාවකට ගොදුරු වීමේ අවදානමක් පවතිනවා. එවිට ශ්‍රෝණි ප්‍රදාහ රෝග තත්ත්ව ඇති වීමට පුළුවන්. කාන්තාව ගේ ඉහළ මෞත්‍ර ලිංගික පද්ධතියේ එනම් ගර්භාෂය, පැලෝපීය නාල, ඩිම්බකෝෂවල ආසාදනය සිදු වෙනවා. මෙවැනි තත්ත්වයක් ඇතිවූ විට ඩිම්බවලට ගර්භාෂයට යාම අසීරු වෙනවා.

දරුවන් ගණන ප්‍රමාණවත් බව සිතුණු විට උපත් පාලන ක්‍රමයක් ලෙස පැලෝපීය නාල අවහිර කරන අතර එය නැවත යථා තත්ත්වයට පත් කිරීම අසීරුයි.

අප වැඩිපුර නො සිතන හේතු ද මඳසරුකම කෙරෙහි බලපානවා. ස්ටීරොයිඩ නො වන ප්‍රතිප්‍රදාහ ඖෂධ ( non-steroidal anti-inflammatory drugs (NSAIDs) දිගු කලක් ගැනීම හෝ අධි මාත්‍රාවලින් ගැනීම සංසේචනය සිදු වීමට බාධාවක්.

ඇතැම් විට පිළිකා සඳහා ලබා දෙන කිමෝතෙරපි ප්‍රතිකාර නිසා ඩිම්බකෝෂ නිසි ලෙස ක්‍රියා නො කරන්න පුළුවන්. සිරුරේ තරල එක්රැස් වීමට, සයිකෝසියාව වැනි මානසික රෝග තත්ත්වයන්ට දෙන ඔසු මඳසරු බවට බාධා කරනවා. එපමණක් නොව මත්ද්‍රව්‍ය නිසා ද ඩිම්බහරණයට බාධා සිදු වෙනවා.

මඳසරු බව ගැන කතා කරද්දී වයස අවුරුදු තිස් පහෙන් පසු සරු බව අඩු වන බව සනාථ වී තිබෙනවා.

වැඩි දෙනකු නො දන්නා තවත් කාරණාවක් වන්නේ ආහාර රටාවේ බලපෑමයි. කලට වේලාවට සමබල ආහාර නොගන්නා කාන්තාවන්, වැරැදි ආහාර රටාවන් නිසා තරබාරු වූ කාන්තාවන් මඳසරු බවට ගොදුරු වනවා වැඩියි. ඒ වාගේම උසට සරිලන බරක් නො තිබීම ද මඳසරු බවට හේතුවක්.

හෝර්මෝන අසමතුලිතතාවට ආතතිය බලපානවා. ඒ වාගේම ආතතිය නිසා ප්‍රජනක අවයවවලට නිසි ලෙස රුධිරය ගලා යන්නේත් නැහැ. මේ සියල්ලම ඔසප් චක්‍රයට බලපානවා.

තරුණ සරු යුවළකට මාස පහකට වරක් පිළිසිඳ ගැනීමේ අවස්ථාවක් තිබෙනවා. වසරක් පුරා දරුවකු පිළිබඳ සිහිනය සැබෑකර ගැනීමට උත්සාහ ගනිද්දීත් එය සැබෑ නො වන්නේ නම් යුවළක් මඳසරු භාවයේ රතු එළිය දැල්වී ඇති බව වටහා ගත යුතුයි.

මඳසරු බවට කාන්තාවන් සියයට තිහක් ද පිරිමින් සියයට තිහක් ද ගැහැනු පිරිමි දෙපිරිසම සියයට තිහක් ද වගකිව යුතු අතර හේතුවක් නැතුව සියයට දහයකට ම දරුවකු පිළිබඳ සිහිනය සැබෑකර ගැනීමට නො හැකියි.

 

උපදෙස් -

නාරි හා ප්‍රසව වෛද්‍ය

විශේෂඥ

විජිත් විද්‍යාභූෂණ

චම්පිකා දිපානි රණසිංහ

(Tharunie)