මාර්තු 18 වැනි දිනට යෙදී ඇති ලෝක නිදන දිනය නිමිත්තෙනි.
සුව නින්දක් සපිරි මනසක් - සතුටු ලොවක් මෙවර තේමාවයි.
නින්ද ජීවිතයට මොන තරම් වැදගත්ද ? දවස පුරා යන්ත්‍රයක් මෙන් ක්‍රියාකාරී වන අප දවසේ හොඳම විවේකය ලබන්නේ සුව නින්දක් ලබද්දීය. සයනයට ගිය පසු නින්ද පැමිණෙන තුරු නො ඉවසිලිවන්ත එබැවිනි. ඒ නින්ද ගැන අපට දැනෙන දේය.
නින්ද අපට එතරම් දැනෙන්නේ එය සිරුරට නැතිව ම බැරි ස්වාභාවික ක්‍රියාවලියක් නිසාය. දවසක් හෝ සුව නින්දක් නො ලැබුණු විට දැනෙන විඩාව කෙතරම්ද ? රැයට ලොවට හොර රහසේ බොහෝ දේ සිදු වන්නක් මෙන් රාත්‍රී නින්දේදී ද අපේ සිරුරේ අප නො දැනුවත්ව සිදුවන නීරෝගිකම වඩන ක්‍රියාවලීන් රැසකි. සුවදායක නින්ද හොඳම ඖෂධයයි කියනු ලබන්නේ ඒ නිසාය.
දින කිහිපයක් නිදි වැරුවොත් සිත එකඟ කරගෙන තීරණයක් ගැනීම අසීරු වෙයි. වෙහෙසක් දැනෙයි. ඉක්මනින් කෝපයට පත් වෙයි. සුව නින්දක් නො ලබා රිය පැදවීම අනතුරකට අත වැනීමකි. සම්පූර්ණ ශරීර සුවතාවට ම සුව නින්දක් නො ලැබීම බලපායි. එයින් ස්ථුලතාව, හෘද රෝග, අධි රුධිර පීඩනය හා දියවැඩියාව වැනි රෝග තත්ත්ව ඇතිවෙයි.
නින්ද අපට අහිමි කරන කාරණා ගණනාවකි. නින්දට බාධාකරන එවන් එක් හේතුවක් වන්නේ නින්දේදී වරින් වර හුස්ම ගැනීම නතර වීමයි. ( Obstructive sleep apnea / ඔබ්ස්ට්‍රක්ටිව් ස්ලීප් ඇප්නියා ) .
වරින් වර නින්දේදී හුස්ම ගැනීම නතර වීම / Obstructive sleep apnea සිදු වන්නේ ඇයි ?
මෙය වැඩි වශයෙන් ම දකින්න ලැබෙන්නේ නින්දෙන් ගොරවන පුද්ගලයන් අතරය. විශේෂයෙන් ස්ථුල පුද්ගලයන් අතර වරින් වර නින්දේදී හුස්ම ගැනීම නතර වීම සුලබය. ආශ්වාසයෙන් ඔක්සිජන් රැගෙන ප්‍රශ්වාසයෙන් කාබන්ඩයොක්සයිඩ් පිට කිරීම ස්වසන පද්ධතියේ කාර්යය භාරයයි. ස්ථුල අයගේ මේ ක්‍රියාවලිය නිසි ලෙස සිදු නො වෙයි. එයට හේතුව ඔවුන් ගේ උගුරේ මේදය තැන්පත් වී පටුවී තිබීමය. රාත්‍රී කාලයේදී උගුරේ මාංස පේශි සැහැල්ලු වී උගුර පෙදෙස තවදුරටත් පටු වෙයි. එහි ප්‍රතිඵලය ඔක්සිජන් සැපයුම අඩාල වීමය. එවිට මොළයෙන් අවදිවන ලෙසට සංඥාව ලබා දෙයි. ඔක්සිජන් සැපයුම අඩාල වන සැම විට ම මොළයෙන් අවදි කරවන සංඥාව ලබා දීම නිසා රාත්‍රී කාලය පුරාම වරින්වර අවදි වීමට සිදු වෙයි. මේ තත්ත්වය සෞඛ්‍ය ගැටලු රැසකට ම මුලපුරයි. දියවැඩියාව, අධි රුධිර පීඩනය, ආඝාතය ( ස්ට්‍රෝක් ), අමතක වීම, හෘදයාබාධ ඒ අතරින් ප්‍රධානයි. කලාතුරකින් හෝ මරණයට පත් වීමට ද එය හේතුවක් වීමට පුළුවන. ඊට අමතරව දෛනිකව නිසි නින්දක් නො ලැබීමෙන් ඇතිවන ගැටලු බොහෝය. නිදිමත හේතුවෙන් දිවා කාලයේ රාජකාරි කටයුතු නිසි පරිදි කළ නො හැකි වෙයි. නිදිමත නිසා රිය අනතුරු සිදුවීමේ ඉඩකඩ වැඩි වෙයි.
වරින්වර නින්දේදී හුස්ම ගැනීම නතර වන බව දැන ගන්නේ කෙසේද ?
නින්දෙන් ගොරවනවා නම් තමන්ට Obstructive sleep apnea තත්ත්වය ඇත්දැයි පරීක්ෂා කර බැලීමට ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු හමු වන්න.
වෛද්‍යවරයා බාහිරින් උගුර, කට, නාසය පරීක්ෂා කර බලයි. ඒ අසාමාන්‍ය තත්ත්වයක් ඇත්දැයි බැලීමටයි.
වෛද්‍යවරයා රෝගියාගෙන් ලබා ගන්නා දත්ත විමසා බැලීමෙන් පසු රෝගී තත්ත්වය ඇති නැති බව පවසනු ලැබෙයි.
Obstructive sleep apnea ඇත්නම් එය ඇත්තේ සුළුවෙන් ද බරපතළ ලෙසින් ද යන්න සලකා බලයි.
ප්‍රතිකාර තිබෙනවාද ?
නූතන වෛද්‍ය විද්‍යාවේ රෝගීන්ට සහනයක් ලබා දෙන පිළියම් තිබෙයි. යන්ත්‍රයක් මඟින් වාත ධාරාවක් යැවීම එක් ක්‍රමයකි. එහිදී වාත ධාරාවක් යවා උගුර පටු වීම වළක්වයි. එවිට නින්දට බාධා සිදු නො වන නිසා ප්‍රබෝධවත්ව අවදි වීමට පුළුවන. මෙය සෑම දිනක ම භාවිත කළ යුත්තකි.
සැත්කමක් මඟින් ද රෝගී තත්ත්වය නිවැරැදි කළ හැකිය. ඒ සඳහා උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු කරා යොමු විය යුතුය.
අපේ රටේ ජනගහනයෙන් 16 % ක් ම Obstructive sleep apnea තත්ත්වය සෑදීමේ අවදානම ඇති අයයි.
Obstructive sleep apnea තත්ත්වයෙන් මිදීම සඳහා
බර වැඩි නම් බර අඩුකර ගන්න.
දිනපතා ව්‍යායාම කරන්න.
මත් වතුර, දුම් වැටි පානයෙන් වළකින්න.
උඩු අතට නිදා නො ගන්න.
(Tharunie)