Wednesday, April 24, 2024
Follow Us
ඔබේ බිලිඳාටත් රුව, සුව සපිරි දත් දෙපළක්

මුතුවන් දත් දෙපළකට හිමිකම් කීම අප කාගේත් පැතුමයි. ඒත් එවන් ප්‍රියජනක, නිරෝගී දත් ඇත්තේ ඉතාම අතළොස්සකට යි.

බොහෝ දෙනා දත් සම්බන්ධයෙන් ගැටලු ඇති අයයි. නිරෝගී දත් දෙපළක් කෙරෙහි අවධානය යොමු කළ යුතුවන්නේ බිලිඳකු කුස තුළ සිටින කාලයේදීමයි.

විශේෂයෙන් ම දැරිවියක් තාරුණ්‍යයට එළැඹි කල සුදුවන් ලස්සන දත් දෙපළකට හිමිකම් කියන්නේ නම් ඇගේ රූපශ්‍රියාව තවත් වැඩිවේවි. ඇය දන්ත කල්‍යාණයෙන් හෙබි තැනැත්තියක වේවි.

දත් මෝදු වීගෙන එන කාලය සඳහා එක් එක් දරුවන් විවිධ අන්දමින් ප්‍රතිචාර නඟාවි. කුඩා බිලිඳා දින ගණනාවක සිට අපහසුතාවෙන් පෙළෙන බව මවට දැනෙන්න පටන් ගනීවි.

මේ පිළිබඳ කරුණු කාරණා හරිහැටි නොදන්නා මව ද අපහසුතාවට පත්වේවි. දරුවා නිදා නොගනීවි. මවුකිරි බීම පවා ප්‍රතික්ෂේප කරාවි. මේ වනවිට අමතර ආහාර අරඹා මාසයක් දෙකක් ගතව ඇති. දරුවාට කවා ගැනීම අතිශය අසීරු කාරණයක් වේවි. පාදයට සාපේක්ෂව හිසේ රස්නේ ගතිය වැඩිවේවි. මවගේ තනපුඩුව හපන්නට උත්සාහ ගනිවි. කිසිම හේතුවක් නැතිව දරුවා හඬාවි.

ඇතැම්විට ෆැරන්හයිට් අංශක 99ට වැඩි උණ ගතියක් ද තිබේවි.

ළඟදී දිනෙක ප්‍රතිශක්තිකරණ එන්නතක් ද දී නොමැත. සෙම්ප්‍රතිශ්‍යාවක් ද නොමැත. එහෙත් බිලිඳා නොනවත්වා හඬයි. කලබලයට පත් මාපියන් අවසානයේ

 

 

 

දරුවා වෛද්‍යවරයකු කරා ගෙන යෑමට සිතයි.

ආදරණීය අම්මේ, තාත්තේ මේ සියලුම කරුණු කාරණා බිලිදාට දත් ඒමට ආසන්න බව කියාපාන ලක්ෂණය. දත් ඒම බිලිඳාගේ වර්ධනයේ එක්තරා සන්ධිස්ථානයකි.

ඉතාම කලාතුරකින් යම් දරුවකු උපදිනවිටම ඉදිරි දත් දෙපළෙන් එක් දතක් මතුවී තිබෙන අවස්ථා ද දැකගත හැකියි. මාස හතරක් සම්පූර්ණ වනවිට දත් ඒම සාමාන්‍ය දෙයකි. ඉහත කියූ අපහසුතා එවිට පෙන්නුම් කරාවි. පළමුව මෝදුවන්නේ බොහෝවිට යට ඇන්දේ ඉදිරිපස දත් දෙකෙන් එකකි. එය මාස 7 - 12 දක්වාම සිදු විය හැකිය.

දත් ඒම ප්‍රමාද වූවා යැයි බිය වන්නට එපා. එය මේ මේ දිනයට නිශ්චිතවම වේවි යැයි සිතන්නට බැහැ. අවුරුදු 1 1/2න් දත් මෝදුවන දරුවන් ද සිටියි.

දත මෝදු වී ගෙන එන තැන පිරිසුදු පුළුන් කැබැල්ලක් පිරිසුදු ජලයෙන් පොඟවා ඔබේ දෑත් ඉතා හොඳින් පිරිසුදු කර පුළුන් කැබැල්ල දබර ඇඟිල්ලේ දවටා දත යාන්තමට මෝදුවීගෙන එන තැන පිරිමදින්න. එවිට දරුවාට මහත් සැනසීමක් ලැබේවි. ඔබ දෙස ඉතා ඕනෑකමින් බලා සිටීවි. අතට හසුවන සෑම දෙයක් ම තදින් හපන්නට උත්සාහ කන්නේ ඉවසිය නොහැකි වේදනාව නිසයි. වදන් මුමුණන්නට නොදන්නා කිරිකැටියා පුදුම තරම් අසරණ වේවි.

විටෙක කෙළ පෙරාවි. කටින් කෙළ පුම්බාවි. මේ දේවලුත් දරුවාගේ දත් මෝදුවන බවට ලකුණු බව බොහොමයක් මාපියන් නොදනී. අතට හසුවන රෙදි කැබැල්ල, ඇඳ සිටින කමිසය පවා කටේ දමන්නට යාවි.

පිරිසුදු කළ අත්වලින් විදුරුමස් පරික්ෂා කරබලන්න මවට පුළුවන්. අතට නොදැනුණත් විදුරුමස් රතුම රතු පැහැයට හැරී තිබෙනු දක්නට ලැබේවි. විදුරුමස් සිදුරු කරගෙන දත් එද්දී දරුවාට මොනතරම් වේදනාවක් ඇතිද? ඇත්තට ම දත් එන කාලයේ දී බොහොමයක් දරුවෝ ඉන්නේ අසහනයෙන්.

වේදනාව නිසා දිගු නින්දකට වැටෙන්නත් නොහැකි වෙලා.

මෙහිදී ඔබ තවදුරටත් දරුවා මවුකිරෙන් පෝෂණය කරනවා නො අනුමානයි. එබැවින් ඔබේ තනපුඩුව ප්‍රවේසම් කරගන්න. බිලිඳා එය තදින් හැපුවහොත් දින ගණනාවක් යනතුරු එම තනපුඩුවෙන් කිරි දීමට නොහැකි වේවි. දත් මෝදුවන කාලවලදී හැපීම සඳහාම වූ උපකරණ (Teether) වෙළෙඳපොළේ තිබේ. ඒවා උණුවතුරෙන් තම්බා දරුවාට දෙන්න. මෙය හැපීමෙන් ද දරුවා යම් සහනයක් ලබාවි.

පළමුව හට ගන්නා දත් ඇතැම් විට කිසිම පිළිවෙලක් නොමැතිව තිබෙන අයුරු දැකගත හැකි වේවි. දන්ත වෛද්‍යවරු zig zag ආකාරය ලෙස මෙය හඳුන්වාවි. බිලිඳාගේ හකු ලොකුවී පළල්ව දෙවැනි දත් පෙළ එනවිට මේ සියල්ල සාමාන්‍ය අතට හැරේවි. යම් විටෙක එක දතක් උඩින් තවත් දතක් ඒවි. එවිට දරුවාට වයස අවුරුදු 10 පමණ වනතුරු සිට දන්ත වෛද්‍යවරයකුගෙන් උපදෙස් ගන්නට වේවි.

බිලිඳියගේ සිනහව ඇගේ මුළු ලොවම වේවි. සිනහව යනු ඔබ ඉදිරිපිට සිටින කෙනා සුවපත් කරන ඔසුවකි. ඉදින් සුව පිරි, රුව පිරි දත් දෙපළක් කෙතරම් වටීවිද?

 

උපදෙස්
ආයුර්වේද විශාරද පණ්ඩිත
විශේෂඥ වෛද්‍ය මානව උපදේශක වෛද්‍ය
සුදත් ගුණතිලක

(Tharunie)