Thursday, April 25, 2024
Follow Us
ඔබේ ඩිජිටල් ආචාර ධර්ම වැඩි දියුණු කර ගැනීමට ක්‍රම කිහිපයක්!

මේ වෙනකොට ලෝකේ අපි හැමෝම වගේ ජීවත් වෙන්නේ ඩිජිටල් ලෝකෙක කියන එක බොරුවක් නෙවෙයිනේ. වට්ස්ඇප් ගෘප් එකකට සම්බන්ධ වෙලා ඉඳීමේ ඉඳලා, ඊමේල් ගණුදෙනු කිරීම දක්වා, සෝෂල් මීඩියා වල ගනුදෙනු කිරීම දක්වා ඩිජිටල් ලෝකෙට තමයි අයිති වෙන්නේ. ඉතින් එහෙම ඩිජිටල් ලෝකෙක ඉන්නකොට, හරියට පිළිපදින්න වුවමනා ආචාර ධර්ම තියෙනවා. හරියට ඇත්ත ලෝකේ වගේම තමයි. ඕවටම තමයි ඩිජිටල් එටිකට් නැතිනම් ඉන්ටර්නෙට් එටිකට් නැතිනම් නෙටිකට් (netiquette) කියන්නෙත්.


දැන් ඔය ඩිජිටල් ආචාර ධර්ම තියෙන්නේ දහයක් පහළොවක් නෙවෙයි. ඒ ඒ තැන්වලට ගැලපෙන ඩිජිටල් ආචාර ධර්ම සෑහෙන්න තියෙනවා. හැබැයි ඉතින් ඔය නිතරම අපි අතින් එහෙ මෙහෙ වෙන පොදු එව්වා තියෙනවනේ. අපි හිතුවා අන්න ඒ වගේ හැමතැනම පොදුවේ මුණගැහෙන, ලේසියෙන් අපි අතින් කැඩෙන, ගොඩක් වෙලාවට හැමෝම දන්නෙ නැති ඩිජිටල් ආචාර ධර්ම කීපයක් ගැන කතා කරන්න.
1. කියවන්නාට පහසුව
ඕනම ප්ලැට්ෆෝම් එකක අපි දෙයක් ටයිප් කරනවා නං, ඒක අනික් අයට කියවගන්න පුළුවන් විදියට ටයිප් කළ යුතුයි කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒ කියන්නේ ඔය ස්පේස් බාර් එක කැඩිලා වගේ එක දිගට ටයිප් කරන එක, අකුරෙන් අකුරට තිත් තිය තියා ටයිප් කරන එක වගේ මැන්ටල් ටයිපින්ග් කියන්නේ කියවන හැමෝටම මහම මහ වේදනාවක්. එතකොට ඔය සිංග්ලිෂ් වලින් ටයිප් කරන එකට ලොකුවට කරන්න දෙයක් නෑ. ඒත් ඉතින් දැන් සිංහලෙන් ටයිප් කරන්න පහසුකම් සරලවම තියෙන නිසා, පුළුවන් තරම් සිංග්ලිෂ් වලින් සිංහලට මාරු වෙන එක හොඳ දෙයක්. ඒ ඇරෙන්න තමන්ට කියන්න ඕන දෙයක් පැහැදිලිව, කොටින් කියන එක තමයි හරි ක්‍රමය කියලා ගණන් ගැනෙන්නේ.
ඒ වගේම, ඩිජිටල් ලෝකේ ටයිප් කරන කිසිම දෙයක් සම්පූර්ණයෙන්ම කැපිටල් අකුරින් ටයිප් කරන්න යන්න එපා සාමාන්‍ය අවස්ථාවකදී. එහෙම කැපිටල් අකුරින් ටයිප් කරන එක ගණන් ගැනෙන්නේ ඩිජිටල් ලෝකේ “කෑ ගැහීමක්” විදියට. ඒක සාමාන්‍යයෙන් අශීලාචාර, අශෝභන දෙයක් විදියට ගණන් ගැනෙන්නේ.
2. රියල් පීපල් ඇන්ඩ් ප්‍රයෝරිටි
මේක ඇත්තටම නෙටිකට් වලට අයිති වෙන, ඇත්ත ලෝකෙට අදාළ වෙන කාරණාවක්. දැන් ඔන්න කවුරුහරි කෙනෙක් අපේ ඉස්සරහා අපිත් එක්ක කතා කරමින් ඉන්නවා. අපිත් ඒ කෙනත් එක්ක කතා කරමින් ඉන්නවා. හැබැයි එහෙම කතා කරන ගමන් අපි ෆෝන් එකත් චෙක් කරනවා, ෆෝන් එකේ මෙසේජ් වලට රිප්ලයි කරනවා. ආන්න එව්වා වැරදි වැඩ. අපි ඇත්ත ලෝකේ කවුරු හරි එක්ක සම්බන්ධ වෙනවා නම්, ප්‍රමුඛතාවය ලැබෙන්න ඕන ඒකට. අත්‍යාවශ්‍ය ඔෆිස් ඊමේල් එකක් යවන්න වගේ අවස්ථාවක් ආවොත්, සමාව ඉල්ලලා, එතනින් පැත්තකට ගිහින් ඒ වැඩේ කරන්න ඕන. හරියට ෆෝන් කෝල් එකක් ආවහම හැසිරෙනවා වගේම තමයි. ඒ වගේම, ඔය කෑම මේසෙ අපි තව කවුරුහරි එක්ක කෑම කන වෙලාවකදී එහෙමත් ෆෝන් එක පැත්තකින් තියාගෙන ඒක ඔබ ඔබා ඉන්න එක වගේ දේවල් වුණත් එහෙම අශීලාචාරයි කියලා සැලකෙන දේවල්. ඒවා නවත්තන්න ඕන.
3. පුද්ගලික දේවල් පොදු නෑ
දැන් කාලේ ඇත්තටම බොහොම තදබල විදියට පැතිරිලා ගියපු ස්ක්‍රීන්ෂොට් සංස්කෘතියක් තියෙනවනේ. ආන්න ඒක ඇත්තටම අපි කරන්න කලින් දෙපාරක් තුන්පාරක් හිතන්න ඕන දෙයක්. උදාහරණයක් විදියට ගත්තොත්, අපේ ඉන්බොක්ස් එකේ කෙනෙක් අපිට එවලා තියෙන මෙසේජ් එකක ස්ක්‍රීන් ෂොට් අරගෙන පබ්ලික් පෝස්ට් කරනවා නං, ඒක අත්‍යාවශ්‍ය කාරණයක් වෙන්න ඕන. ඒ කියන්නේ ලැදියාවන් සම්බන්ධ ගැටුමක් හෝ වෙනත් ඒ වගේ ප්‍රශ්නයක් නං ඇරෙන්න, පුද්ගලික මෙසේජ් පබ්ලික් පෝස්ට් කරන එක ආචාර ධාර්මික නැහැ. ඒකට මියගිය මනුස්සයන්ගේ ප්‍රයිවට් චැට් පබ්ලික් දාලා නිවන් සුව ප්‍රාර්ථනා කරන එකත් ඇතුළත්. කෙනෙක් මළා කියලා, ඒ මනුස්සයත් එක්ක තිබුණු පුද්ගලික කතාබහ හිටි අඩියේ පබ්ලික් ඉන්ටරෙස්ට් වෙන්නෙ නෑ!
ඒ ඇරෙන්න, ප්‍රයිවට් ගෘප් එකක, ප්‍රයිවට් ත්‍රෙඩ් එකක එහෙම ස්ක්‍රීන් ෂොට් අරගෙන පොදු අවකාශයේ මුදාහරින එකත්, ආචාර ධාර්මික නැහැ කියලා තමයි සැලකෙන්නේ!
4. ඩික් පික්ස්
මේක නම් මේ කාලේ සෑහෙන්න කථාබහට ලක්වෙන මාතෘකාවක්. ඒ තමයි, සමහර පිරිමි පාර්ශවේ උදවිය තව කෙනෙක්ගේ -ගොඩක් වෙලාවට ගැහැණු කෙනෙක්ගේ- ඉන්බොක්ස් එකට ගිහින් ඩික් පික්ස්, ඒ කියන්නේ තමන්ගේ ශරීරාවයව වල ෆොටෝස් යවන එක. ඒක ඩික් පික් එකක්ම වෙන්න අවශ්‍ය නැහැ. තමන්ගේ සාමාන්‍ය උඩුකය නිරුවත් ඡායාරූපයක් යැවීම පවා අශෝභනයි. ඒ විතරක් නෙවෙයි, ඔය ඩික් පික් අරින එක අශෝභන කාරණයක් විදියට වගේම, ලිංගික හිරිහැරයක් විදියටත් සැළකෙනවා කියන එක මතක තියාගන්න ඕන. තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට, දෙන්නගේම කැමැත්තෙන් එහෙම ෆොටෝ එකක් යවන එක එකක්. හැබැයි එහෙම නැතුව වෙන කෙනෙක්ට බලහත්කාරයෙන් ඒ වගේ ෆොටෝස් යවන එක අශෝභනයි වගේම වැරදි වැඩක්.
5. සීන් කරලා!
දැන් ඔය මෙසේජස් බලලා, ඒත් රිප්ලයි නොකර ඉන්න එක තියෙනවනේ. මේක ටිකක් සංකීර්ණ කාරණාවක්. ඒ කියන්නේ, මේක ආචාර ධාර්මිකව වැරදිද නැතිද කියන එක ටිකක් විවාදසම්පන්නයි. අපිට කියන්න පුළුවන් මේක එක එක අවස්ථාව අනුව වෙනස් වෙනවා කියල. උදාහරණයක් විදියට ගත්තොත්, අපි කැමති ගෑණු ළමයෙක් අපිත් එක්ක චැට් කර කර ඉඳලා, ඊට පස්සේ අපි මොකක් හරි අහලා යවන මෙසේජ් එකක් සීන් කරලා ඊට පස්සේ දවස් ගණන් ගතවෙනකලුත් රිප්ලයි එකක් නැතුව ඉන්නවා නම්, අපිට බය නැතුව කියන්න පුළුවන් ඒක රූඩ් හැසිරීමක් කියලා. හැබැයි හායි හලෝ කිය කියා දවසකට මෙසේජ් විස්සක් විතර එක දිගට යව යවා වාත වෙන මනුස්සයෙක්ගේ මෙසේජ් එකක් සීන් කරලා සද්ද නැතුව ඉන්න එක කිසිසේත්ම ගැටළුවක් නෙවෙයි. එතනදී ආචාර ධර්ම කඩලා තියෙන්නේ මේ පැත්තේ ඉන්න මනුස්සයා.
හැබැයි ප්‍රොෆෙෂනල් කාරණා උඩ සමාජ මාධ්‍ය මෙසෙන්ජර් ඇප්ස් වල එහෙම යවන මෙසේජ් සීන් කරලා, ගණන් නොගෙන ඉන්න එක නම් අන්තිම නරකයි. ඒක අතිශයින්ම ආචාර ධර්ම වලට විරුද්ධයි. අඩු තරමින් ඒ වගේ මෙසේජ් එකකට නෝටඩ් කියලා හරි කියන්න ඕන.
6. අවසර රහිත වීඩියෝ කෝල්
අපි කියමු අපි කෙනෙක් එක්ක ඕඩියෝ කෝල් එකක ඉන්නවා කියලා. ගොඩක් වෙලාවට ඔය මෙසෙන්ජර්, වයිබර්, වට්‍ස්ඇප් වගේ කෝල් එකක. ආන්න එතකොට අපේ අතිශය සමීපතමයෙක් එක්ක නම්, වීඩියෝ ඔන් කරන්නද කියලා අහලා වීඩියෝ වලට මාරු වෙන එකේ කිසිම ගැටළුවක් නෑ. එතනදිත් ඒක අහන්න ඕන හැබැයි. ඒත් එහෙම සමීපත්වයක් නැති කෙනෙක්ට කලින් අහන්නේ නැතුව වීඩියෝ කෝල් එකක් ගන්න එක පොඩ්ඩක්වත් එතිකල් නෑ. අපි කෙනෙක් එක්ක වීඩියෝ කෝල් එකකට යන්න නම්, අපිට ඒ කෙනාගේ පැහැදිළි අවසරයක් තියෙන්න ඕන. ඒ වගේම, ඔය සූම් මීටින් වලදී එහෙම කවුරුහරි වීඩියෝ ඔන් නොකර ඉන්නවා නම්, අනික් හැමෝම වීඩියෝ ඔන් කරලා හිටියත් අපිට ආචාරශීලීව අහන්න පුළුවන් ඒ ගැන. එහෙම නැතුව වීඩියෝ ඔන් කරන්න බල කරන එක අශීලාචාරයි.
7. රෙස්පෙක්ට් ද බෑන්ඩ්විත්
මේක විශේෂයෙන්ම ලංකාව වගේ රටකට තදින්ම බලපාන කාරණයක්. ඇත්තටම ශ්‍රී ලංකාව වගේ රටක ඩේටා හැමෝටම සාධාරණව සහ සමව බෙදිලා ගිහින් නෑ. ඩේටා වලට සල්ලි ගෙවන්න ඕන. කෙනෙක්ට මෙගාබයිට් සීයක් ගාණක් නැති වුණත්, තවත් සමහර කෙනෙක් මෙගාබයිට් ගණන් කරමින් ඔන්ලයින් එනවා වෙන්න පුළුවන්. එතකොට බෑන්ඩ්විත් එක ගත්තත් හැමතැනටම සාධාරණය එකම ප්‍රමාණෙන් ලැබෙන්නෙ නෑ. ආන්න ඒ නිසා, අපි තව කෙනෙක් එක්ක දෙයක් හුවමාරු කරගන්නකොට ඒ ගැන සවිඥාණික වෙන්න ඕන. උදාහරණයක් ගත්තොත්, අපි කෙනෙක්ට ෆයිල් එකක් යවනවා නම්, මුලින් හිතලා බලන්න ඕන ඒකේ ප්‍රමාණය ගැන. අපි කියමු අපි යවන්නේ ඉමේජ් එකක් කියලා. එතකොට ඉමේජ් එක මීඩියම් කොලිටි එකෙන් යැවුවත් වැඩේ කරගන්න පුළුවන් නම්, කෙලින්ම මෙගාබයිට් සීයක විතර raw ෆයිල් එක යවන එක හොඳ නෑ. ආන්න ඒ වගේ, අනික් කෙනාගේ ඩේටා සහ බෑන්ඩ්විත් එක ගැන පොඩ්ඩක් සවිඥාණික වෙන එකත් හොඳ ඩිජිටල් ආචාර ධාර්මික ගුණයක්.
තව එකක්. හැමෝටම අපි ගරුත්වයෙන් සළකන්න ඕන කියන එක ඉතින් බොහොම පොදු, හැමෝම දැනගෙන ඉන්න ඕන ආචාර ධර්මයක්නේ. ඒ නිසා ඒ ගැන අපි විශේෂයෙන් සඳහන් කළේ නෑ. සරලවම, අපි ඔන්ලයින් වුණත්, ඕෆ්ලයින් වුණත්, අපිට කවුරුහරි සලකනවට අපි අකමැති විදියට වෙනත් කෙනෙක්ට සළකන්න යන්නෙ නැතුව හිටිය නං, ඒකත් එකක්.
මේ ඇරෙන්න තව අනිවාර්යයෙන් සඳහන් වෙන්න ඕන ඩිජිටල් ආචාර ධර්ම තියෙනවා නං, කමෙන්ට් කරගෙන යන්නලා!
උපුටාගැනීම lifie වෙතින්