Saturday, May 04, 2024
Follow Us
 TESLA   HIGH   FREQUENCY

රූපලාවන්‍ය සත්කාර කරගන්න රූපලාවන්‍යාගාරයකට ගිය ඔයාලට අත්දැකීමක් ලැබිලා ඇති විදුලියෙන් ක්‍රියාකරන යම් උපකරණයකින් කිරණක් මුහුණට අල්ලන බව. සමහර කිරණ සමේ නොගෑවී පවා යම් බලපෑමක් එල්ල කරන්න පුළුවන් වුණත් රූපලාවන්‍ය සත්කාර වලදී පාවිච්චි කරන ඒවා බොහෝවිට සමේ ගැටෙන්න සලස්වමින් තමයි සත්කාර කරන්නෙ. මේ අතරින් එක් ප්‍රධාන සත්කාරයක් තමයි high-frequency කියන්නේ. ගැල්වනික් කියන්නෙ මේක නෙමෙයි.


මගේ රූපලාවන්‍යාගාරයට ඇවිල්ලා මුහුණට සත්කාර කරගත්ත අයට නම් මේ උපකරණය අමුත්තක් නෙමෙයි. හුඟක් අය මේ සත්කාරයේදී අහන ප්‍රශ්නයක් තමයි මොකක්ද මේකෙන් වෙන්නේ කියන එක. ඉතින් රූපලාවන්‍යාගාරයක නෙමේ ඕනම තැනකදි මොකක් හරි ප්‍රතිකාරයක් කරගන්නකොට ඔයාලට අයිතිය තියෙනවා ඒ පාවිච්චි කරන උපකරණවල පිරිසිදු බව ගැන සහ උපකරණයෙන් වෙන දේ ගැන ප්‍රශ්න කරන්න.
ඉතින් මම හිතුවා මේ ගැන වැඩි විස්තර සහිතව ඔයාලා වෙනුවෙන් ලිපියක් ගේන්න.
high frequency එහෙමත් නැත්නම් අධි සංඛ්‍යාත ටෙස්ලා අධි සංඛ්‍යාත ලෙස හැඳින්වෙන්නේ 1800 ගණන්වල එය පාවිච්චියට සුදුසු ලෙස ප්‍රථම වරට දියුණුවට පත් කල ප්‍රකට විද්‍යාඥ නිකොලා ටෙස්ලාගේ නමින්. මුලින්ම ප්‍රතිජීවක ඖෂධ සොයා ගැනීමට පෙර යම් යම් ආසාදනවලට ප්‍රතිකාරයක් හැටියට Tesla high frequency පාවිච්චි කරලා තියනවා. නමුත් අද වන විට බොහෝවිට එය පාවිච්චි කරන්නේ සම සදහා කරන ප්‍රතිකාර වලදීයි.
විශේෂයෙන්ම කුරුලෑ , අනවශ්‍යය ලෙස විවෘත වූ රෝමකූප , මුහුණේ ඇතිවෙන සියුම් රේඛා, රැලි , ඇස යට ඉදිමීම, ඇස් වටා අඳුරු පැහැය , cellulite මෙන්ම හිසේ සමට ප්‍රතිකාර කර හිසකෙස්වල නිරෝගිභාවය සඳහා උත්තේජනයක් පවා ලබාදීමට හැකියි.
වීදුරු වලින් නිමවූ ඉතාමත් හුරුබුහුටි නොයෙක් හැඩයන්ගෙන් යුත් මෙම high-frequency rods (ඉලෙක්ට්‍රෝඩ ) උපකරණයට සම්බන්ධ කළ පසු විදුලියෙන් ක්‍රියාත්මක වන අතර ඒවා තුළ පුරවා ඇති ආගන් සහ නියොන් යන නිෂ්ක්‍රීය වායු ඉලෙක්ට්‍රෝඩය හරහා ගමන් කර එම නිශ්ක්‍රීය වායු මත පදනම්ව ඉලෙක්ට්‍රෝඩ මගින් නියොන් රතු, තැඹිලි හෝ violet නිල් ආලෝකයක් නිපදවයි. මෙමඟින් පාලනයකට ලක් වූ අල්ට්‍රා වයලට් කිරණ තමයි අපේ රූපලාවන්‍ය සත්කාර වලදී පාවිච්චි කරන්නෙ.
රූපලාවණ්‍යාගාරවල දී පාවිච්චි කරන ඉලෙක්ට්‍රෝඩවල බොහෝ විට දක්නට ලැබෙන්නේ තැඹිලි සහ violat යන පැහැයෙන් යුතු high frequency electrodes වලින්. තැඹිලි පැහැති ඒවායෙන් වියපත්වීමේ ලක්ෂණ වලට ප්‍රතිකාර කරන අතර violet පැහැති ඒවායෙන් කුරුලෑ සඳහා ප්‍රතිකාර කරන බව මෑතක් වන තුරු හඳුනාගෙන තිබුනත්, නවතම පරීක්ෂණ අනුව මේ දෙකම සම මත දී එකම ආකාරයට ප්‍රතිඵලදායිව ක්‍රියාත්මකවන බව හඳුනාගෙන තිබෙනවා.
high frequency ප්‍රතිකාරය සමේ ඔක්සිජන් අණු නිපදවීමට උපකාර වන අතර ඒ නිසා බැක්ටීරියා නාශකයක් ලෙස ක්‍රියාත්මක වේ. මෙහිදී ඇතිවෙන තාපය නිසා ඔබේ රුධිරවාහිනීවල ඇති විෂ ඉවත් කිරීමකට ලක්වන අතර රුධිර සංසරණය වැඩි වෙන නිසා පෝෂපදාර්ථ ඔබේ සමට වැඩිපුර ලබා ගැනීමේ හැකියාවක් ඇති වනවා. ඉතා හොඳින් රුධිරය සංසරණය වීම නිසා සෛල අලුත් වෙන බැවින් සමේ ඉලාස්ටින් සහ කොලජන් මට්ටම ඉහළ යන නිසා මේ සත්කාරය දිගටම කළොත් තරුණ පෙනුම බොහෝ කලක් රඳවා තබාගත හැකියි.
නියමිත විදිහට ප්‍රතිකාරය කරපු සැනින් ඔබට මුහුණේ වෙනසක් දැනෙන අතර ක්‍රමානුකූලව නිතිපතා කිරීම මගින් සම වයසට යාම, කුරුළෑ සහ අනවශ්‍ය ලෙස විවෘත වූ සිදුරු ඇතිවීම පාලනය කර තරුණ පෙනුම නඩත්තු කරගැනීමට හොඳ පිටිවහලක් මෙයින් ලැබෙනවා.
විවෘත වූ සිදුරු නැවත යථා තත්ත්වයට පත් කරන නිසා මගේ රූපලාවන්‍යාගාරයේ දී මුහුණට කරන සෑම සත්කාරයකින්ම පසු විනාඩි කීපයක් මෙම ප්‍රතිකාරය ලබා දෙනවා හුමාලය ඇල්ලීම නිසා විවෘත වූ සිදුරු යථා තත්ත්වයට පත් කර ගැනීමට. කුරුලෑ සහිත සමකට ප්‍රතිකාර කරනවා නම් අපි high frequency ප්‍රතිකාරය විනාඩි අටක් වැනි කාලයක් ලබාදෙනවා. එල්ලා වැටුණු රැලි සහිත සමටත් එහෙමයි.
මෙම ප්‍රතිකාරය කරද්දි සේවාලාභින් earth නොවන තැනක සුවපහසුවෙන් රඳවා තබාගත යුතුයි. කොහොමත් facial beds නිපදවා තිබෙන්නේ විද්‍යුත් ධාරාවක් ගමන් කළත් පොළවට නොගැටෙන පරිදි රබර් කප් යොදමින් නිසා රූපලාවන්‍යාගාරයක් කරන ඔබ ඒවායේ තත්ත්වය හොඳින් තිබේදැයි නිතරම පරීක්ෂාකර බලන්න.විදුලි උපකරණයක් ඇඟට තබන ප්‍රතිකාරවලදී විදුලි කම්පනයක් නොවන්නට අපි වගබලා ගත යුතුයි. විදුලි කම්පනයක් සිද්ධවෙන්නේ ශරීරය හරහා එය පොළොවට ගැටුනොත් තමයි. මෙම ප්‍රතිකාරය කරන විට ලෝහ ශරීරයේ ගැටෙන්නට සලස්වන්න එපා යැයි කියන්නේ ඒ නිසයි. ජංගම දුරකථනය වුණත් ඇඟේ නොගැටෙන්නට තියාගැනීමට පරිස්සම් වන්න. මේ කාරණා කෙරෙහි දැනුවත්කමක් තියෙනවනම් සේවාලාභියාට කිසිම අපහසුතාවක් නොදැනෙන්න මේ උපකරණ පාවිච්චි කරන්න පුළුවන්. මෙම උපකරණ නිපදවා තිබෙන්නේ earth උනත් ලොකු ආපදාවක් සිද්ධ වෙන ලෙස නොවුනත් යම් කම්පනයක් දැනෙන නිසා client කලබල වෙන්න පුළුවන්.
ඒ වගේම තමයි රූපලාවන්‍ය සත්කාර වලදී කිරණ දෙකක් එක දවසේ අල්ලන්නේ නෑ . උදාහරණයක් හැටියට high-frequency කරපු දවසට ගැල්වනික් අල්ලන්නේ නෑ.
high frequency කියන්නේ හානිදායක ප්‍රතිකාරයක් නොවුනත් එම ප්‍රතිකාරය පවා කළ නොයුතු අවස්ථා තිබෙනවා. හදවත් සැත්කමකට ඔබ ලක් වී ඉන්නවා නම්, ඔබ හෘද රෝගියෙක් නම්, මේ සත්කාරය නුසුදුසුයි. ඒවගේම ඔබ ගැබිනියක් නම් සමට කරන ප්‍රතිකාරවලදී ඒ බව ශිල්පියාට දන්වා සිටින්න. එතකොට මේ උපකරණ පාවිච්චි කිරීම කරන්නේ නෑ.
ඒ වගේම තමයි සම තුවාල වී ඇත්නම් ඒ තුවාල මත මෙම high-frequency rods අල්ලන්නේ නෑ. කුරුලෑ සහිත මුහුණක් තියෙන කෙනෙක් අපි ළඟට ප්‍රතිකාර කරන්න ආවම අපි ඒ කුරුලෑ කඩන්නෙ නෑ . මා ළඟට ප්‍රතිකාර ගන්න ආපු අය මෙතන ඉන්නවනම් ඒ අත්දැකීම එයාලට ඇති. එහෙම කඩපු නැති කුරුලෑ අපි මේ high frequency වලින් ගොඩක් දුරට සමනය කරලා දෙනවා. නමුත් නිකමට හරි තුවාල වුණු, කැඩුණු කුරුලෑවක් තිබුණා නම්, අපි ඒක මගහැර යනවා. මොකද මේ සත්කාරය රූපලාවන්‍ය ශිල්පිනියන් සඳහා අනුමත කරලා තියෙන්නේ external treatment එකක් හැටියටයි. ඇඟ ඇතුළට ප්‍රතිකාර කිරීම අපට අයිති දෙයක් නෙමෙයි. කැඩුණු තුවාලයක් සුවවීමට අපි ඖෂධීය ආලේපනයක් නියම කරන අතර ඒවා සුව වූ පසු මෙම සත්කාරය දිගටම කරන්න පුළුවන්.
High frequency ප්‍රතිකාරයක් හැටියට කරනවානම්, ඔබට හැකියාව තියෙනවා නම් දිනපතා වුණත් කරගන්න පුළුවන්. දිනකට වරක් විනාඩි 5ක් පමණ මෙම සත්කාරය කිරීම අනුමතයි. රූපලාවණ්‍යාගාරයට ගියහම ඔබේ ශිල්පිනිය තීරණය කරයි මෙම ප්‍රතිකාරය කළ යුතු විදිහ. ඉතිං හැමවිටම කියනවා වගේ හොඳ දැනුමක්, පුහුණුවක් තියෙන ශිල්පිනියක් තෝරා ගැනීම ඔබ සතු වගකීමක්. මොකද විශේෂඥ වෛද්‍යවරු වුණත් හැමතැනම හිටියත් ඔයාලා හොයන්නේ අත්දැකීම් සහිත පළපුරුදු ඔබට ඇහුම්කන් දෙන හොඳ කෙනෙක්ව. මේ කාරණාව ඕනෑම ක්ෂේත්‍රයකට පොදුයි. රූපලාවණ්‍ය ශිල්පීන්ට විතරක් නෙමෙයි. කොහෙත් තමන්ගේ සේවය සේවයක් හැටියට සලකන්නේ නැතුව කරන්නං වාලේ කරන අය ඉන්නවා.
මෙම ඉලෙක්ට්‍රෝඩ ප්‍රතිකාර කරන ස්ථානය අනුව නොයෙක් නොයෙක් හැඩ වලින් තියෙනවා . උදාහරණයක් හැටියට හිස සඳහා high-frequency rod එක එන්නේ පනාවක් හැටියට, කුරුලෑ වලට ප්‍රතිකාර කරන රොඩ් එක එන්නේ කෙළවරේ තුඩක් සහිතව.
ඉතින් මෙච්චර කල් high frequency ඇල්ලුවා නම් ඒ ගැන දැනුමක් සහිතව හිටියේ නැත්නම් ඔන්න අද ඉදලා ඔයා ඒ ගැන දැනුමක් සහිත කෙනෙක්.

(Beauty Secrets with Rapunzel)