Saturday, May 04, 2024
Follow Us
Life cycle of hair

? හිසකෙස් ගැන කතාකිරීමේදී අපේ කාන්තාවන්ගේ සිහිනයක් තමයි නිරෝගී දිගු කෙස් කළඹක්. ඒත් හැමෝටම එහෙම නිරෝගී වුණත් දිගු කෙස් කලඹක් නං ලැබෙන්නේ නැහැ කොයි තරම් උත්සාහ කළත්. අපේ සමූහයට නිතරම වගේ යොමු කරන ප්‍රශ්නයක් තමයි කොයිතරම් දේවල් කළත් කොන්ඩේ ඉනෙන් පහලට එන්නෙ නැහැ කියන එක. සමහර අයගෙ ඊටත් කෙටියි.


? මේකට හේතුව මම අවස්ථා කීපයකදිම සඳහන් කරල තියෙනවා. ඒ තමයි කෙස් ගසකටත් ආයු කාලයක් තියෙන බව. ආයු කාලයක් කියන්නේ යම්කිසි කෙනෙක් ලෝකෙට බිහිවෙලා, ජිවත් වෙලා, මැරිලා යනකල් ගතවෙන කාලයනේ. මේ ලෝකේ හැම දෙයකටම එහෙම ජීව කාලයක් තියෙනවනේ. ඒක හැමෝටම එකම ප්‍රමාණයෙන් නැහැ. අපේ ජීවිත වල ආයු අපේක්ෂාව අවුරුදු හැත්තෑවක් කියලා හිතුවොත් අවුරුදු සියය වෙනකන් ජීවත්වෙන අයත් ඉන්නවා අවුරුදු දහයෙන් විස්සෙන් මැරෙන අයත් ඉන්නවා. අන්න ඒ වගේ තමයි අපේ මේ කෙස් වල ආයු කාලයත්.
? එයත් උපදිනකොටම යම්කිසි ආයු කාලයක් අතේ තියාගෙනයි එන්නේ. හොඳින් සලකලා ආදරෙන් බලා ගත්තොත් එයා අරගෙන ආව උපරිම ආයු කාලය විදලා හැලිලා යනව. ඒ උපරිමය උනත් එකිනෙකට වෙනස්. සැළකුවේ නැත්නම් එහෙමත් නැත්නම් ඒකට බලපාන වෙනත් රෝගාබාධ ඇති වුණොත්, අපේ ජීවිත වගේම තමයි කෙස් ගහේ ජීවිතයත් අකාලයේ නැති වෙනවා. හැබැයි අපේ නැවත ඉපදීම ගැන සැකයක් තිබුණත්, මේ හැලිලා යන කෙස්ගහ නම් අනිවාර්යයෙන්ම නැවත උපදිනවා ඒ ගැලවිලා ගිය තැනින්ම. එහෙම නොවෙන්න බලපාන රෝගාබාධ තියෙන්න පුළුවන්. හැබැයි ඒක ඉතාම කලාතුරකින් සිද්ධ වෙන දෙයක්.
?ඔලුව හයියෙන් කොහේ හරි වැදුණොත් ඒකෙ බලපෑම නිසා කේශ මූලය අක්‍රීය වෙන්න පුළුවන්. උපතේදී හිස මත ඇති වෙන තෙරපුම් වලදිත් කේශ මූලයන් විනාශ වෙන්න පුලුවන්. අපේ සමාජයේ දිනකට පුද්ගල මරණ කොයිතරම් සංඛ්‍යාවක් වාර්තා වෙනවද? ඒ වගේ තමයි හිසේ තියෙන කෙස් යම් ප්‍රමාණයක් දිනපතා තමන්ගේ ආයු කාලය ඉවර කරලා හැලිලා යනවා අලුත් එකකට ඉඩ දීලා. නැවත ඒ කෙස් ගහ එන එක නෙමෙයි අපිට තියෙන ප්‍රශ්නය. කාලයක් තිස්සේ රැක ගත්ත අර දිග කෙස් ගහ ගැලවිලා අහිමි වෙන එකයි අපිට තියෙන ප්‍රශ්නය. ඉතින් ඒකට හිත හදාගන්නව හැරෙන්න කරන්න දෙයක් නෑලූ.?
? කොන්ඩෙ දිග වෙන්නෙ නැත්නම්.... කැපුවෙ නැතුවත් යම් මට්ටමකින් එහාට වැවෙන්නේ නැත්නම් හිත හදාගන්න. ඒ තමයි ඔයාගේ කොන්ඩය වැවෙන උපරිම ප්‍රමාණය. ඒ වගේම තමයි තිබෙන කෙස් ගස් ප්‍රමාණය (volume ) පවා ඔයා මව් කුස තුළදීම අරගෙනයි එන්නේ. කෙස් ගස් ප්‍රමාණය නැවත අලුතින් වවාගන්න රෝම කූප ඔයා ඉපදුනාට පස්සෙ නිර්මානය වෙන්නෙ නෑ. හැබැයි පසුකාලීනව ගැලවිලා යන කෙස් නම් අපට නැවත වවා ගන්න පුළුවන් නොයෙකුත් ක්‍රම මඟින්. Hair volume and length කියන්නෙ ඔයා ජාන වලින් අරන් එන දෙයක්.
? මම ඔය ජාන කතාව කිවුවහම කට්ටිය අවි අමෝරාගෙන නැගී සිටිනවා මගේ අම්මගේ පැත්තෙ තාත්තගේ පැත්තෙ අයට හොඳට කොණ්ඩෙ තියෙනවා. ආරෙට නම් එයාලගෙත් නැති වෙන්න ඕනනෙ කියල. අපේ ජාන එන්නෙ අම්ම තාත්තගෙන් උනාට ඒ ජාන වල තියෙන්නෙ හතර වරිගෙක පරම්පරා කිහිපයක ජාන. සමහර අයව අපි දැකලත් නෑ. ඒ නිසා අම්මා තාත්තාගේ පවුල්වල කොන්ඩෙ ගැන විතරක් හිතන්න එපා. ඔයා නොදන්න නොදැකපු ජාන හිමිකරුවන් බොහෝ ඇත.
? කොහොම නමුත් මම දවස් කීපයකට කලින් ඇනජන් කැටජන් ටෙලජන් ගැන ඔයාල දන්න දේවල් ඇහුවනෙ. ගොඩක් අය ඒ වචන අහල වත් නෑ . සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අය සහ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අය මේ ගැන අහලා තියනවා සහ වැඩිපුර දේවල් දන්නවා. මගේ විමසීමත් එක්කම එක සොයුරියක් ඒ ගැන වැඩි දුර විස්තර සහිත ලිපියක් පළ කළා. ඒ ලිපියෙන් ඔයාලට විද්‍යාත්මකව ගොඩක් තොරතුරු දැනගන්න පුළුවන්. කොහොම වුණත් මේ පිලිබඳව ඔයාලව දැනුවත් කරන්න ඕනේ කියලා හිතුවේ බොහෝ අය කොණ්ඩය ගැන යථාර්ථයෙන් එහා ගිය සිහින දකින නිසයි. ඔන්න එහෙනම් මගේ විදියටත් Anagen, Katagen, Telogen.
Anagen
මේ තමයි ඔයාගේ හිසකෙස් වල සක්‍රීයතම අවධිය. කේශ මූලයෙන් කෙස් ගස දිගින් දිගටම නිපදවන්නේ මේ අවධියේ දී. සමෙන් යට තියන කේශ මූලය අපට පේන්නෙ නෑනෙ. කෙස් ගහ උඩට මතු උනහම තමයි අපි ඒක දකින්නේ. හිස කෙස් එහෙම උඩට මතු වෙලා මාසෙන් දෙකෙන් හැලිලා යන්නෙ නෑ. දිගින් දිගට ම සම යට ඇති කේශ මූලය keratin කියන කියන ඝන ප්‍රෝටීනය කෙස් ගසක් ලෙස එළියට මතු කරලා දෙනවා.
මේ අවධිය සාමාන්‍යයෙන් අවුරුදු 2-5 දක්වා යැයි සඳහන් වුණත් ආසියාතිකයන් වන අපේ එය අවුරුදු හත දක්වාත් පවතින්න පුළුවන්. උදාහරණයක් හැටියට මම 5"1 උසයි. මගේ කොණ්ඩය මම හිටගෙන ඉන්නකොට බිම ගෑවෙන තරම් දිගට වැවෙනවා. ඒ නිසා කපනවනෙ. කැපුවෙ නැත්නම් තවත් වැවෙනව. ඒ කියන්නේ මගේ හිසකෙස් අඟල් 60 ට වඩා දික් වෙනව. හැබැයි එහෙම වෙන්නෙත් මාස හතරකට සැරයක් අඟලක කප්පාදුවක් කරනගමන්. එහෙම හිතුවොත් මගේ හිසකෙස් වල මේ අවධිය අවුරුදු පහකට වඩා වැඩියි. හැබැයි ශරීරයේ වෙනත් තැන්වල තියෙන රෝම වල මේ අවධිය මාස 1-3 වගේ ඉතා කෙටි කාලයක් තමා ගත කරන්නෙ.
ඒත් ඔයාගේ මේ අවධිය අවුරුද්දෙන් දෙකෙන් ඉවර වෙන්නත් පුළුවන්. එතකොට ඔයාගේ කොන්ඩෙ දික් වෙන්න අඟල් 10-20 ක් වගේ ප්‍රමාණයක්. එතිනින් එහා හිස කෙස් අලුතෙන් වර්ධනය වෙන්නේ නෑ. කාලයක් වර්ධනය නොවී එක තැනක නැවතිලා මහන්සි ඇරලා ජීවිත කාලය අවසන් කරලා එයා හැලිල යනව අලුත් ජීවිතයකට ඉඩ සලසමින්. ඒක ඉතින් මොන විදිහේ සාත්තුවක් කළත් වැඩි කර ගන්න අමාරුයි. මොකද ඒක ජාන වල ප්‍රතිඵලයක්. දිග එහෙම වුණාට නිරෝගීභාවය නම් ඔයාට වැඩි කරගන්න පුලුවන් සාත්තු කරල. ඉතින් දැන් තේරෙනවා නේද ඇයි ඔයාට කොච්චර උත්සාහ කළත් දිග කොණ්ඩයකට හිමිකම් කියන්න බැරි හේතුව.
Catagen
මේ සංක්‍රාන්ති සමයයි. ඒ කියන්නේ පන අදින සමයයි. කේශමූලයෙන් මෙතෙක් කලක් ලබා දුන් ලේ සැපයුම කෙස් ගහට හෙමි හෙමින් අහිමි වෙනවා. අලුත් ජීවී කෙස් බබෙක් පිළිසිඳ ගන්න ඉඩ සලසමින්. මේ ලේ සැපයුම අහිමිව යන කෙස් ගහ සති දෙක තුනක් ඒ සමය ගත කරනව. ඔයා අවබෝධය කරගත යුතු තව කරුණක් තමයි කේශ මූලයෙන් කෙස් ගසට පෝෂණය සපයන්නෙ ඒක සමෙන් එළියට මතුවෙනකල් පමණයි. ඉන්පස්සෙ ශරීරයෙන් කෙස් ගසටවත්, කෙස් වලින් ශරීරයටවත් පෝෂණ හුවමාරුවක් සිද්ද වෙන්නෙ නෑ. සරලව කිව්වොත් මැරුණ කෙරෙටින් සෛල. පරිස්සම් කිරීම හැර වෙන කරන්න දෙයක් නෑ.
Telogen
කෙස් ගහට සම්පූර්ණයෙන්ම ලේ සැපයුම අහිමි වෙනවා. අලුතෙන් ඇතිවන කෙස් ගහ විසින් ලේ සැපයුම අහිමි වෙලා තමන්ගේ ජීවන කාලය අවසන් කළ පරණ කෙස් ගහ හෙමි හෙමින් ශරීරයෙන් ඉවතට තල්ලු කරගෙන එළියට එන්න ගත කරන කාලය තමා මේ. මාස දෙකතුනක කාලයක් කෙස් ගහ මේ අවධිය පසු කරනවා. ඉතින් ඔයාගේ හිසෙන් ගැලවී යන්නේ ගැලවී යා යුතු මෙන්න මේ අවධිය ගත කරන කෙස් තමයි.
? මේ ප්‍රමාණය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා හිසේ ඇති කෙස් ප්‍රමාණය මත. Volume වැඩි කොණ්ඩෙක දිනකට කෙස් ගස් සියයක් ගැලවීම සාමාන්‍යයි. මට තියෙන්නෙ volume අඩු කොණ්ඩයක්. මගෙ දිනකට ගැලවෙන ප්‍රමාණය 5-10 වගේ වෙනව. ඒ මම නිසි විදිහට නඩත්තු කරන නිසයි. මම ප්‍රෝටීන සහිත ආහාර වලට මුල් තැන දෙන කෙනෙක්. දිනපතා නානව. හිසේ සම උත්තේජනය කරනව ලෙඩ වලට ප්‍රතිකාර කරන ගමන්.
හුඟක් අය පැමිණිලි කරනව තෙල් සාත්තු කලහම කෙස් වැඩියෙන් ගැලවෙනව කියල . ඉඳල හිටල ඕක කලොත් තමා එහෙම වෙන්නෙ. ඒ ගැලවෙන්නෙ ගැලවෙන්න ඔන්න මෙන්න තියෙන ඒවා. දවසගානෙ උත්තේජනය දෙන අයගෙ එහෙම ගැලවෙන්නෙ නෑ. අනික තෙල් සාත්තු වලදි කොණ්ඩෙ ගැට ගැහෙන්නත් බෑ. එතකොට කෙස් ගස් මඟින් කැඩෙනව. අපි හිතමු ඔයා අද කොණ්ඩෙ පීරන්නෙ නැතුව හෙට පීරනව කියල . එතකොට හෙට කොණ්ඩෙ පීරද්දි ඔයාට දැනෙයි දෙගුණයක් කොණ්ඩෙ ගැලවෙන බව. ඉතින් සාමාන්‍යයෙන් දවසකට ගැලවෙන්න පුමාණය ගැලවුනේ නැත්නම් ඒක අනිත් දවසෙ දෙගුණයක් වෙන එක සාමාන්‍යයි.
? මම මේ සඳහන් කළේ නිරෝගී ශරීරයක කෙස්වල වර්ධන චක්‍රයයි. යම් යම් රෝගාබාධ නිසාත් අපිරිසිදු කම සහ උත්තේජනය නොමැති කම නිසාත් විශේෂයෙන් Anagen අවධිය කෙටි වෙන්න පුලුවන්. ඒ වගේම එකම හිසක වෙනස් වෙනස් ආයු කාලයන් ගත කරන කෙස් තියෙන්නත් පුලුවන්. අකලට කෙස් වල ආයු අඩුවෙන එකෙන් මිදෙන්න නම්, පහත සඳහන් ලිපි කියවා පිළිපදින්න.
Reasons for hair loss 1
Reasons for hair loss 2
Myths about hair
Oil treatment
Diet plan

(Beauty Secrets with Rapunzel)