Tuesday, April 23, 2024
Follow Us
BAD  BREATH

අපි හිතනවා ප්‍රේම සම්බන්ධතා කැඩිලා යන්නෙ අදහස් නොගැළපීම නිසා වගේ දේ නිසා කියලා. මම දන්න පෙම්වතුන් යුවලක් සිටියා. ඔවුන් සාමාන්‍යයෙන් මුණගැහෙන්නේ මාසෙකට සැරයයි. ඒකත් පිරිමි ළමයා යන්න ඕනේ කොළඹ ඉඳලා ගෑනු ළමයව බලන්න සීතල කඳුකරයට. පාසල් කාලයේ ඇතිවෙච්ච සම්බන්ධයක් නිසා ඒ ගමන සිද්ධ වුනේ ගෙදරට හොරෙන්. ඒ නිසා පාන්දර ගියහම රෑ වෙන්න කලින් ගෙදර එන්නත් ඕනේ. ඒ ගමනට මුදල් උනත් හොයාගන්නේ අමාරුවෙන් කියලයි ඔහු කිව්වෙ. අවුරුදු හතරක සම්බන්ධතාවයකින් පස්සේ ඔහු තීරණය කරනවා ඒ සම්බන්ධය නවත්තන්න. නතර කරන්න ප්‍රධානම හේතුව හැටියට ඔහු ඉදිරිපත් කළේ ඒ ගැහැණු ළමයාගේ මුඛයෙන් හැමූ දුගඳයි.


ඔහු ඒ ගැන කියනකොට මම ඇහුව ප්‍රශ්නය තමයි " ඔයා ඒක හදාගන්න උත්සාහ කළේ නැද්ද...? ඔහු කිව්වේ මුලදි අමාරුවෙන් ඉවසන් හිටියත් අවුරුද්දක් දෙකක් යනකොට ඔහු එය ප්‍රකාශ කරන්න පෙළඹුන බවත්, ඒ හැම අවස්ථාවකදීම ඇය කලේ මුහුණ පුළුටු කරගෙන හිත් අමනාපකමක් ඇතිකර ගැනීමයි කියල. අතිශය පිරිසිදු කෙනෙක් වූ ඔහු ඇය සමඟ තිබෙන සම්බන්ධය නතර කරන්න තීරණය කළේ ඉවසන්නම බැරි තැනලු. සම්බන්ධය පටන් අරන් තිබුණේ පාසල් කාලයේ නිසා ලොකු කැපකිරීම් ගොඩක් කරලා තමයි එච්චර දුර ගෙවාගෙන මේ පිරිමි ළමයා එයාව හම්බ වෙන්න ගියේ. ඉතින් ඒ කැපකිරීම වෙනුවෙන් ඇගේ පැත්තෙන් වියයුතු සරලම දේ පවා ඇය මගහැරලා තිබුණා.
ඒ වගේම ගැහැණු ළමයා සීතල පළාතක කෙනෙක් නිසා නෑම පවා ඉතා අවම මට්ටමක තිබුණු බවයි ඔහු කිව්වේ. ඒ නිසා ඇතැම් දිනවල ආර්තවය නිසා එන දුගඳත්, දහදිය ගඳත් ඔහුට ඉවසන්න වෙලා තිබුණා. ඉතින් ගැහැණු ළමයා කොච්චර හොඳ කෙනෙක් වුණත්, අවංක කෙනෙක් වුණත්, ඔහුට ගොඩක් ආදරේ කළා වුණත්, සම්බන්ධතාවය නවත්තන්න සිද්ධ උනා. ඒ නිසා අපි... අපි ගැන සැලකිලිමත් විය යුත්තේ තමන් ගැන කෙසේ වෙතත් අවට අපි එක්ක ගනුදෙනු කරන, අපිව මුනගැහෙන අනිත් අය ගැන හිතලා කියලා මට හිතෙනවා.
ඉතින් මේ තමයි ආරම්භය අපේ ලිපියේ ඒ කියන්නේ කටින් හමන දුගඳ ....කියන මේ ලිපිය.
අපි දිනපතා දත් මදිනවා තමයි. සාමාන්‍යයෙන් මම දිනකට දෙවරක් දත් මදින කෙනෙක්. මේ සම්බන්ධව මම අහපු ප්‍රශ්නයට උත්තර දෙද්දී කීප දෙනෙක් කියලා තිබුණා සෑම කෑම වාරයක් පාසාම එයාලා දත් මදින බව. මෙන්න මේකත් කට ගඳ වෙන්න හේතුවක් වෙන්න පුළුවන් නිසි විදිහට දත් මදින්නේ නැති කෙනෙකුගෙ වගේම. ඒ කොහොමද එහෙම වෙන්නේ ?. අපි දත් මදිනකොට කටේ තියෙන බැක්ටීරියා ඉවත්වන බව අපි දන්නවනේ. මේ බැක්ටීරියා අපි දන්න තරමට කට ගඳ වෙන්න පුළුවන් එක හේතුවක්. නමුත් ඔයාලා දන්නවද අපේ කටේ ආරක්ෂාවට මුර කරන බැක්ටීරියා වර්ග තියෙනවා. මෙන්න මේ අනවශ්‍ය පිරිසිදු කිරීම නිසා ඒ ආරක්ෂාවට ඉන්න බැක්ටීරියා වර්ග විනාශ වෙන්න පුළුවන් විශේෂයෙන් කට සෝදන්න පාවිච්චි කරන දියර වර්ග නිතර පාවිච්චිය නිසා අහිතකර බැක්ටීරියාවක් ආවම ඒකට එරෙහිව සටන් කරන්න විදිහක් නැති නිසා ඒ නරක බැක්ටීරියා අපි නොදැනුවත්වම අපේ කටේ පදිංචි වෙලා ආසාදන ඇති කරන්න පුළුවන්.
ඉතින් තේරෙනවා නේද කොහොම දත් මැද්දත් කට ගඳ වෙන්න පුළුවන් බව. මේ දැන් දත් මැදලා එන අයගේ පවා කට ගඳ වෙන්න පුළුවන්. මොකද අපේ දත්වල පිහිටීම් අනුව දත් බුරුසුවකින් මැදීම කියන කාරණාවෙන්ම අපේ දත් අතර තියන ඉඳුල්, කෑම කෑලි සම්පූර්ණයෙන් ඉවත් උනා කියලා 100% ඔයාට සහතික වෙන්න බැරි නිසා. ඔයාලා ගෙදර උදේ ඉව්ව කෑම එකක් නරක් නොවී කොච්චර වෙලාවක් එලියෙ තියාගන්නවද නැවත රත් නොකර ? රත් නොකලොත් හෝ ශීතකරණයේ දැමුවේ නැත්නම් ඉතා ඉක්මනින් ඒ කෑම නරක් වෙනවා නේද ?
එතකොට අද දත් අස්සෙ හිරවෙච්ච එකක් බුරුසුවෙන් මැදලා ඉවත් නොවී පහු වෙනිදා වෙනකල්ම තිබුන නම් සහ එය නැවත දත් මැද්දත් ඉවත් වුණේ නැත්නම් කොහොම තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්ද? ඒ ඉවත් නොවනු කෑම පල්වී බැක්ටීරියා ඇති වී ඇතිකරන සල්ෆර් ගඳ පිටවෙන්නෙ අපේ කටින් තමයි.
Brushing හැරුණුකොට flossing වැදගත් වන්නේ මේ නිසයි. නමුත් අපි සාමාන්‍යයෙන් කරන්නේ brushing විතරයි. මම වුණත් floss කරන්නෙ dentist ළඟට ගියොත් හෝ මට දැනෙන්න කෑම හිරවුනොත් විතරයි. Dentist ගාවට ගියහම එයා මට හැමදාම කියන දෙයක් තමයි මගේ කෙලවරේ දත් මැදෙන්නේ නැති බව. ඉතින් මොනවා කරන්නද පණ යන්න ඒක මදින්න දඟලන බව දන්නෙ මම විතරයි. ඉතින් කොච්චර හොඳට දත් මැද්දත් මට උනත් සහතික කරන්න බෑ මගේ කටින් ගඳක් එන්නෙම නෑ කියලා. නමුත් එහෙම නොවෙන්න ඒ ගැන මම ගොඩක් පරික්ෂාකාරී වෙනවා.
හොයල බලල මුඛය දුගඳ වෙන්න පුළුවන් හේතු ගැන දැනුවත් වෙනවා. එහෙම දැනගෙන සැකයක් දැනුනොත් නම් ඒක දැනගන්න හොඳම විදිය තමයි සමීපතම කෙනෙක්ගෙන් ඒ ගැන විමසන එක. ස්වයං පරීක්ෂාව ගැන සීයට සීයක් සහතික වෙන්න බැරි බව මට අත්දැකීම් තිබෙනවා.
ඉතිං කොච්චර දත් මැද්දා වුණත් දත් අස්සෙ තියෙන කෑම ඉවත් කරගත්තා වුණත් මුඛය දුගද වෙන්න පුළුවන් බව දැන් ඔයාලට තේරෙන්න ඇති.
ඉතා කුඩා කාලයේ ඉඳලා පාසල් සමය ඉවර වෙනකල්ම මට ප්‍රශ්නයක් තිබුණා. කොටින්ම ඒක ප්‍රශ්නයක් කියලා මම දැනගත්තේ පෙරහැර ගිහිල්ලා ඉවර වුනා උනාට පස්සේ. කුඩා කාලේ ඉඳලම මම දත් මදින කොට ලේ ගලනවා. එතකොට මම හිතනවා මම හොඳට දත් මැදපු නිසා තමයි මෙහෙම වෙන්නේ කියලා. දත් මැදලා කෙළ ගහද්දි toothpaste එකේ පෙන අතරින් ලේ තියෙන එක සාමාන්‍ය දෙයක් වුනා. වෙන දත්වල රෝග තිබුනෙ නැති නිසා දන්ත වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න උවමනාවක් වුනෙත් නෑ. ඉතින් හොඳට දත් මැදපු නිසා ලේ එනවා කියලා හිතපු මම තවත් හොඳට දත් මැද්දා.
ඉතින් පස්සේ කාලෙක දන්ත වෛද්‍යවරියක් ගාවට ගියහම තමයි එයා පැහැදිලි කළේ මගේ විදුරුමස් ගෙවී ගිහින් බව. ඇය කිව්වේ මම දත් එක්කම විදුරුමස් මැදලා කියලා. අහිමිවෙන විදුරුමස් නැවත වැඩෙන්නේ නෑ. ලොකු ශල්‍යකර්මයකින් එක සකසන්න පුළුවන් බව මම අහලා තිබුණත් ඒ ගැන වැඩිපුර හොයලා නෑ. ඉතින් අද තියන මගේ සිනහව මීටත් වඩා ලස්සන වෙන්න තිබුනා දත් මැදීම සහ විදුරුමස් රෝග ගැන අවබෝධයක් තිබුණා නම්. නමුත් දැන් ඒක වෙලා ඉවරයි. මගේ අත්දැකීම අද මෙහෙම ලියන්නෙත් හෙට කාගේ හරි හිනාවක ලස්සන රැක දෙන්න ඒක උදව්වක් වෙයි කියල හිතලයි.
කට්ටිය චෝදනා කරනවනේ මම ලොකුකම් කියවනවා කියල. එහෙම ඉන්බොක්ස් ඇවිත් බැනලා බැනල මාව block කරල දුවන අය ඉන්නවා මම අල්ලං සෙල්ලං කරයි කියලා හිතලා. ඒව කියව කියව මම හිනා වෙන තරම් දන්නෙ මගේ සමීපතම අය විතරයි. ඉතින් ඔන්න එහෙම මාව block කරල ගියාට මම ලියන ඒවා සේරම ඒ අය බලන බව මම දන්නවා. ඉතින් ඔන්න මම ලොකු කම විතරක් නෙවෙයි මගේ අඩුපාඩුත් කියවනවා. එහෙම කියවන්නෙ ඔය කෝක උනත් කියවල ඔයාලා දශමයක හරි දෙයක් ජීවිතයට එකතු කර ගනීවි කියල හිතලයි.
ඉතිං දන්ත වෛද්‍යවරියක් මුණගැහුණාට පස්සෙ තමයි දැන ගත්තෙ විදුරුමස්වලින් ලේ ගලන්නේ බොහෝ විට බැක්ටීරියා ආසාදනවලට කියලා. ඒ වගේම ඒ නිසා මගේ කට ගඳ විය හැකි බවත්. එතකොට තමයි මට කල්පනා උනේ මගේ පාසල් කාලය පුරාම මේ තත්ත්වය තිබුණ බව. මට හිතුනා මගේ යාළුවො මාව කොහොම ඉවසගෙන හිටිය ද දන්නේ නෑ කියලා. අද වෙනකොට ඒ යාලුවෝ මුණගැහෙන්නේ නැති නිසා ඒ ගැන අහන්න විදිහකුත් නෑ. ප්‍රේම පලහිලව් වලදි නම් මම දාලා ගියා හැරුණු කොට මාව දාලා ගිය අය නෑ. නැතත් ඉතින් ඉස්කෝලේ යන කාලේ ඒ තරම් ශාරීරිකව ලං වෙන්න සම්බන්ධතා දුර ගියෙත් නැති නිසා හොඳයි. ඉතිං මගෙ කට ගඳ වුණාද සුවඳ වුණාද කියන්න මම දන්නේ නෑ. නමුත් මට ඒ ගැන ලැජ්ජාවක් ඇති වුණා. ඉන්පස්සෙ මම හරි පරිස්සම් වෙන්නේ කට ගඳ අය ආශ්‍රය කරන්න මමත් අකමැති නිසයි. කොච්චර සමීප කෙනෙක් වුණත් වැඩිය ලං නොවි ආශ්‍රය කිරීමට ඒක මට හේතුවක්.
ඒ වගේම නරක් වෙච්ච දත් තියෙනවා නම් ඒක ගැන පියවර ගැනීමත් වටිනවා මොකද ඒ නිසා මුඛය ගඳ වෙන්න පුළුවන්. මේවා ස්වයං පරීක්ෂාවට හසුවෙන්නේ නැති වෙන්න පුළුවන් වීමයි තියෙන ලොකුම ප්‍රශ්නය.
ඉතින් ඒ වගේම තමයි පීනස රෝගය තිබීම . කුඩා කාලයේ සිටම මම ඒකෙන් පීඩා විඳි කෙනෙක්. ඉතින් මොනවා කරන්නද ඒවාට දෙමව්පියන් බෙහෙත් අරං දුන්නත් නැවත නැවත හැදෙනවා. දැනුම් තේරුම් වැඩි වෙනකොට තමයි ඒ තත්ත්වය පාලනය කරගන්න ගොඩක් දේවල් කරන්න පුළුවන් කියලා මම හොයාගත්තේ. එතකොට කට කොයිතරම් හොඳට පිරිසිදුව තියා ගත්තත් විදුරුමස් වල ආසාදන නොතිබුනත් sinusitis කියන තත්වෙ නිසා කට ගඳ ඇති වෙන්න පුළුවන්.
සයිනස් කියන්නෙ ඔබේ ඇස් අතර, කම්මුල් පිටුපස සහ ඔබේ නළලෙහි අස්ථි තුළ ඇති හිස් අවකාශවලට. මේවා සෙම නිසා අවහිර වීමෙන් ඇතිවෙන ආසාදන නිසාත් මුඛයෙන් දුගඳක් හමන්න පුළුවන් . මේකනම් ස්වයං පරීක්ෂාවට අහු වෙන්නෙම නෑ . ඉතින් ඔබත් නිතරම සෙම රෝගවලින් පෙළෙනවා නම් කටේ දුගඳ ගැන කල්පනාකාරී වන්න.
මේ ලිපිය ලියන්න මුල් වෙච්ච හේතුව මේ දවස් වල රූපවාහිනියෙ විකාශනය වෙන වෙළඳ දැන්වීමක්නේ. ඒකෙ උපදෙස් දෙනවා තමන් පාවිච්චි කරන දත් බුරුසුව මාස තුනකට වරක් මාරු කරන්න කියලා. අපේ ගෙදර ඉඳුල් හෝදන ස්පොන්ජ් එකවත් මම එච්චර පාවිච්චි කරන්නෙ නෑ. එහෙම එකේ දත් බුරුසුවක් නම් කීයටවත් නැහැ. දන්න කාලෙ ඉඳලම මම දත් බුරුසුවක් මාසෙකට වඩා පාවිච්චි කරන්නේ නැහැ. හිතන්නකෝ ඉඳුල් හෝදන බුරුසුව, ස්පොන්චජ් එක පවා පාවිච්චි කළාට පස්සෙ හොඳට සේදුම්කාරක දාලා හෝදලා තමයි අපි ඒ වැඩේ අවසන් කරන්නෙ. නමුත් කෝටි ගණන් බැක්ටීරියා තියෙන කටට උදේ හවස දාන දත් බුරුසුව කවදාවත් අපි උනු වතුර දාලා තම්බ තම්බ සබන් දාල හෝද හෝද ඉන්නෙ නෑනෙ. හුඟක් අය කෙඳි ඈත් උනහම තමයි දත් බුරුසුවක් අයින් කරන්න පෙළඹෙන්නේ. දිනපතා බැක්ටීරියා එකතු වෙන, නිකන් ටැප් එකට අල්ලලා සෝදන දත් බුරුසුව කොහොම එච්චර කාලයක් පාවිච්චි කරන්න ද ? දත් බුරුසුවක් කියන්නේ මාසෙකට මහා ලොකු වියදමක් දරන්න සිද්ධවෙන කාරණාවක් නෙමෙයි. ඉතින් මම හැම මාසෙම පළවෙනිදට ගෙදර ඉන්න අයගේ දත් බුරුසු අලුත් ඒවට මාරු කරනවා. මීට වඩා හොඳට ඒ ගැන පහදන්න මට තේරෙන්නේ නැහැ. ඔන්න දැන්වීමට වඩා හොඳට මම වෙළෙඳ ප්‍රචාරණයක් ලබා දෙනවා දත් බුරුසුවලට ?
ඊලඟට මගේ අත්දැකීම තමයි Fasting ඉන්නකොට එහෙමත් නැත්නම් කෑම නොකා නොබී ඉන්නකොට ආමාශය හිස් වීම නිසා මුඛයෙන් එන ගඳ. ඒකට හොඳම උදාහරණය තමයි අපි ශල්‍යකර්මයක් සඳහා කෑම නොකා නොබී ඉන්නකොට අනිත් අයට අපේ කටින් කටින් එන ගඳ. ඒ ගඳ නම් මීටරයක් එහාට වුණත් දැනෙනවා. සමහර ආගමික වතාවත් නිසා දවස පුරාම නොකා නොබී ඉන්න අයගෙ එහෙම ඉන්න කාලයට කට ගඳ දැනෙනවා. ආගමික වතාවත් නිසා එයාලා ඒක කලාට එයාලා අවට ඉන්න අනිත් අයට ටිකක් ඒක දරාගන්න අමාරු බව එයාල දන්නෙ නෑ. ඉතින් ඒ නිසා ආමාශය හිස් වෙන්න දෙන්න එපා. එහෙම අවස්ථාවකට මුහුණ දෙනවා නම් අනිත් අය අපහසුතාවයට පත්වීම ගෑන සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි dehydration. මුඛය වේලෙන්න දෙන්නත් එපා. මේ හේතු දෙකම ඔබේ කටින් ගඳක් පිටවෙන්න අවකාශ සලසන දේවල්. ඉතින් මේ දේවල් එක්ක සියයට සීයක් විශ්වාසයි ද ඔබේ කට ගඳ නැති බව ?
මලපහ වීම ගැන මොකද හිතන්නේ. අපි ශරීරකෘත්‍යය කරනකොට ඒකෙ ගඳ-සුවඳ අපි දන්නවනේ. අපි කන කෑම වල අවසන් ප්‍රතිඵලය තමයි අසූචි. කන කෑම සුවඳ උනාට අසූචි ගඳයි ඒක ශරීරයෙන් ඉතා ඉක්මනින් ඉවත් කළ යුතු දෙයක්. ඒ වගේම පුරුද්දක් හැටියට දිනපතා උදේ හවස මලපහ කිරීම ශරීර සෞඛ්‍යයට හොඳයි. ඒ වගේම තමයි ඒක මුඛ සෞඛ්‍යයටත් හොඳයි. කටින් පටන් ගත්තහම ඉවර වෙන්නේ ගුද මාර්ගයෙන් නම් ඒ කොන් දෙක එකකට එකක් සම්බන්ධයි නේ ?. එතකොට ගඳ පිටවෙන්න ඕන පැත්ත අවහිර උනොත්... මොනවා වෙන්න පුලුවන්ද? ඒ වායුව පිටකරන ගඳ කටින් එලියට එන්න බැරි කමක් නෑ නේද ? දිනපතා මලපහ කරන්නෙ නැත්නම් ඒකට ප්‍රතිකාර ගන්න. ඒ වගේම ඒ තත්ත්වය පාලනය කළ හැකියි ඩයට් ප්ලෑන් එකකුත් අපේ සමූහයේ තිබෙනවා. එහෙම කාලා හොඳට වතුර බිව්වොත් මේ ප්‍රශ්නය නම් නැත්තට නැති වෙන්න පුළුවන්.
මේ ගැන ලියන්න අදහස් ගන්න ඔයාලගෙන් අහපු ප්‍රශ්නයකදී මම ඇහුවා ඔයාලගේ කට ගඳද කියලා පිටස්තර කාගෙන් හරි අහල තියෙනවද කියලා ඒකෙදි බාගෙට බාගයක් දෙනා එහෙම අහල තිබුණා. ඇත්තටම තමන්ගේ කට ගඳයි ද කියලා තමන් ආශ්‍රය කරන කෙනෙක්ගෙන් අහල දැනගන්න උත්සාහ කරන එක නිර්භීත දෙයක්. එහෙම අය ආත්ම විශ්වාසය ඇති අය ලෙස සමාජයේ ඉදිරියට යනවා. අපේ සමීප කෙනෙක්ගෙන් එහෙම අහන එක ලැජ්ජාවට කාරණාවක් නෙමෙයි. මොකද සමහර වෙලාවට අපිට ආදරේ කරන අය අපේ නරකක් මූණට කියන්න බයයි. අපි ඒක මොනවගේ විදිහට භාර ගනීද කියලා එයාල කල්පනා කරනවා. නමුත් අපිම අවස්ථාවක් දුන්නහම එයාලා ඒ ගැන ආදරණීය විදිහට හිතාවි කියලා මට හිතෙනවා. ඒ වගේම තමයි සමීපතම කෙනෙක්ගෙන් එහෙම ඇහුවාම ඒ කෙනා උනත් පෙළඹෙනවා ඒ ප්‍රශ්නය ඔයාගෙනුත් අහන්න. එතකොට එයාගෙ කොහෙන්හරි දුඟදක් එනවනම් ඒක කියන්න ඔයාට හොඳ අවස්ථාවක් ලැබෙනවා.
අපි සර්ව සම්පූර්ණ මිනිස්සු නෙමෙයි. නමුත් වැරැද්දක් හදාගන්න පුලුවන්නම් සම්බන්ධතා ආදරණීය විදිහට සැහැල්ලුවෙන් ඉදිරියට ගෙනියන්න අපට පුළුවන් වේවි. නැත්නම් අපි ආදරේ කරන අය අපෙන් ඈත් වෙන්නේ හේතු නොකියාමයි. මොනවා හරි බොරු හේතුවක් කිව්වත් ඒක ඇත්ත නෙමෙයි කියලා ඔයත් දන්නවා වෙන්න පුළුවන්. අන්න එහෙම අය තමයි "මං එයාට එයාට ගොඩක් ආදරය කළා... නමුත් එයා මාව දාලා ගියා. හේතුවක් ඇහුවට කිව්වෙත් නෑ . මටත් වඩා ලස්සන අඩු උගත්කමින් අඩු කෙනෙක් එක්ක එයා යාළු වුණා. මට හිතාගන්න බෑ ඇයි කියලා" වගේ චෝදනා කරන්නේ. එහෙම කතා ඇහෙකොට මට හිතෙන්නෙම දරාගන්න බැරි ගඳක් මේකට හේතු වුණා වෙන්න පුලුවන් නේද කියලයි.
නිකමට හරි ඔයාට සමීප කෙනෙක් අවවාද කළොත් දත් හදාගන්න... dentist කෙනෙක් ගාවට යන්න වගේ කතන්දරයක් කිව්වොත්... ඒ ගැන ප්‍රශ්න කිරීමකින් තොරව ක්‍රියාත්මක වන්න. සමහර විට ඔබේ කට ගඳ ගැන ව්‍යංගාර්ථයෙන් කිව්වා වෙන්න පුළුවන්. ඉතින් ආදරෙන් කැමැත්තෙන් දෙන හාද්දක හිමිකාරියක් වෙන්න කවුද අකමැති?

(Beauty Secrets With Rapunzel)