Thursday, April 25, 2024
Follow Us
පාර්ලිමේන්තු තේරීම් සභාව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගවෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ තේරීම් කාරක සභාව අද දිනයේදී පාර්ලිමේන්තුවේදී රැස් වූ අතර මේ වනවිට හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගෙන් සාක්ෂි විමසමින් සිටී.

තේරීම් කාරක සභාවේ සාක්ෂි විමර්ශන කටයුතු මාධ්‍ය හරහා සජීවීව විකාශය කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට පසුගියදා විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වූ අතර ඊට හේතු ලෙස සඳහන් වූයේ බුද්ධි අංශ ප්‍රධානීන් වැනි පුද්ගලයන් තේරීම් කාරක සභාව හමුවේ හෙළි කරන ඇතැම් කරුණු හේතුවෙන් බුද්ධි අංශ හා එහි ක්‍රමවේදයන් අනාවරණය වීමයි.

ඒ අනුව තේරීම් කාරක සභාවේ කටයුතු සජීවීව විකාශය කිරීම ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි අත්හිටුවිණි.

අද තේරීම් කාරක සභාව ආරම්භයේදීම එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා සඳහන් කළේ ජාතික ආරක්ෂාවට අදාල වන කිසිදු කරුණක් මාධ්‍යයට අනාවරණය වීමට ඉඩ නොතබන බවයි. ඒ සම්බන්ධයෙන් තේරීම් කාරක සභාව වගකීමෙන් කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළේය.

අද සාක්ෂි ලබාගැනීම සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු ප්‍රධානී නාලක සිල්වා මහතා කැඳවා තිබූ අතර ඔහුගෙන් ඇතැම් කරුණු සම්බන්ධයෙන් විමසීමේදී මාධ්‍යවේදීන් අදාල ශාලාවෙන් බැහැර කිරීමට තේරීම් කාරක සභාව තීරණය කළේය.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය ඇතුළු විවිධ පාර්ශ්වයන් විසින් එල්ල කළ චෝදනා පදනම් විරහිත බව තේරීම් කාරක සභාව පැහැදිලිවම සනාථ කර තිබේ.

(LNW)