Saturday, April 20, 2024
Follow Us
අඩු ආදායම් ලාභීන් කරන සියලුම දේවල් මමත් කළා ජීවත් වෙන්න - ජනපති

රජයේ රැකියා සහ රජයේ නොවන රැකියා කළ තමන් ඒවායින් ඉල්ලා අස්වූ පසුව වගාවන්, සත්ව පාලනය ඇතුළු අඩු ආදායම් ලාභීන් කරන සියලුම දේවල් ජීවත් වීම සඳහා කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

නමුත් ඒ සියල්ල අතැර මන්ත්‍රීවරයකුගේ සිට ජනාධිපති ධුරය දක්වා යෑමට තමන්ට ජනතාවගේ ආශිර්වාදය හිමිවූ බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

"මේ රටේ දුප්පත්කම වැඩියි, හේතු ගණනාවක් තියෙනවා. දේශපාලනඥයො හොරකම් කරන එක, ආණ්ඩුවල බරපතළ වංචා දූෂණ සිද්ධවෙන එක. රාජ්‍ය නිලධාරීන්ගෙන් ඇතැම් වෙලාවට අමාත්‍යාංශ ලේකම්ලාගෙ ඉඳන් හොරකම් කරන එක. වරාය, දේශීය ආදායම්, සුරාබදු වැනි ආයතනවලින් රජයට ලැබෙන අති විශාල මුදලක් අහිමි වීම.

විදුලිබල මණ්ඩලේ දවසකට කෝටි ගාණක් පාඩුයි. ජල සම්පාදන මණ්ඩලේ කෝටි ගාණක් දවසකට පාඩුයි. ශ්‍රී ලංකන් ගුවන් සේවය බිලියන 141යි දැන් ණය. කෝටි ගණන් පාඩු විඳින්නෙ හොරකම, දූෂණය සහ වංචාව නිසා.

මමත් ඔය අඩු ආදායම්ලාභී පවුලක කෙනෙක් කරන සියලුම දේවල් කළා ජීවත් වෙන්න. කුකුල් කොටු දැම්මා, මිරිස් වැව්වා. කොච්චර මිනිහෙක් දියුණු වෙන්න හැදුවත් හවසට රූපවාහිනිය දිහා බලගෙන හිටපුවාම ඒ මිනිහට සංසාරෙ එපා වෙනවා" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (01) පොලොන්නරුවේ පැවති උත්සවයක් අමතමිනි.

(LNW)