Tuesday, May 07, 2024
Follow Us
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය හෙට

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී හෙට (20 වැනිදා) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී අවසන් තීරණය ගැනීමට නියමිතය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ (18 වැනිදා) පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී රජයේ ඉදිරි පැවැත්ම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට හිතවත් මන්ත්‍රීවරුන් මෙහිදී පෙන්වා දී තිබේ. ඊට විරෝධය පළ කළ අමාත්‍ය සජිත් ප්‍රේමදාසට හිතවත් මන්ත්‍රීවරුන් සඳහන් කර ඇත්තේ ලබන වසරේ මාර්තු වන තුරු රජය පවත්වාගෙන යා යුතු බවයි.

රජය නව ජනාධිපතිවරයාගේ පාර්ශ්වයට භාරදීම, කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා තනි තනිව නොව කණ්ඩායමක් ලෙස රජයෙන් ඉවත් වීම යන යෝජනාවලින් සුදුසු යෝජනාව ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න මෙහිදී ප්‍රකාශ කර තිබේ. එම අදහස අනුමත කළ අග්‍රාමාත්‍යවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ පක්ෂ නායක රැස්වීමේදී ගන්නා තීන්දුවට අනුව කටයුතු කළ යුතු බවයි.

රජය පවත්වාගෙන යාම පිළිබඳව තමන් නව ජනාධිපතිවරයා, විපක්ෂ නායකවරයා සමගද සාකච්ඡාවක් පැවැත්වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබේ. එම කණ්ඩායමද රජය භාර ගැනීම පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

සාකච්ඡාව පැය එකහමාරක වැනි කාලයක් පැවැති අතර මන්ත්‍රීවරුන් 62ක් එක්ව සිටියහ.

(Lanka Leads)