Friday, April 26, 2024
Follow Us
අද සිට මාස තුනකට කොළඹ මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කෙරේ

වැසි ජලය බැස යාමට උමං මාර්ගය ඉදිකිරීම සඳහා කැනීම් කිරීම හේතුවෙන් කුරුඳුවත්ත සහ බම්බලපිටිය පොලිස් වසම්වල මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කෙරෙන බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ කුරුඳුවත්ත හා බම්බලපිටිය පොලිස් වසම්වල පිලිප් ගුණවර්ධන මාවතේ ක්‍රීඩා අමාත්‍යංශය අසළින් තුන්මුල්ල වට රවුම දක්වා, පිලිප් ගුණවර්ධන මාවත හන්දියේ සිට මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පදනම් හන්දිය දක්වා සහ ග්ලේන් ආබර් පෙදෙස, ගාලුපාර, මුහුදු මාර්ගයේ එලෙස රථ වාහන ධාවනය සීමා කෙරෙන බවයි.

ග්ලේන් ආබර් පෙදෙස, ගාලුපාර, මුහුදු මාර්ගය දක්වා වූ මාර්ගයේ රථ වාහන ධාවනය අද සිට සැප්තැම්බර් පළමුවැනි දා දක්වා සීමා කෙරෙනු ඇති.

ඉහත මාර්ගයේ ගමන් ගන්නා මහජනතාවට සහ රියැදුරන්ට එම කාලසීමාව තුළ 08 වැනි පටුමග, හේග් පාර ඔස්සේ ගාලුපාර දෙසට ගමන් කළ හැකි බව පොලීසිය සඳහන් කළේ ය.

මේ අතර ලබන 15 වැනි දා සිට සැප්තැම්බර් 15 වැනි දා දක්වා මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවතේ රථ වාහන ධාවනය කළ හැක්කේ එක් දිශාවකට පමණයි.

එම කාල සීමාව තුළ බෞද්ධාලෝක මාවතේ සිට මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවත දෙසට ගමන් කරන වාහන, බෞද්ධලෝක මාවතෙන් තුන්මුල්ල හන්දිය, තර්ස්ටන් මාර්ගයෙන් නැවත නිදහස් වටරවුම, පිලිප් ගුණවර්ධන මාවත දෙසට ගමන් කළ යුතු වේ.

(Aruna)