Tuesday, November 05, 2024
Follow Us

රාජ්‍ය අනුග්‍රහය යටතේ ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට ඉදි කරන ලද බණ්ඩාරවෙළ කහත්තේවෙල අර්තාපල් තීරු (French Fries) සැකසීමේ නිෂ්පාදන කර්මාන්ත ශාලාව පසුගියදා එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කළේය. කහත්තේවෙල ශ්‍රී සංඝරාජ පිරිවෙන් පරිශ්‍රයේ මෙම කර්මාන්ත ශාලාව ඉදි කරන තිබේ.

මෙම කර්මාන්ත ශාලාව ඉදි කිරිම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය, කහත්තේවෙල ජනතා ගොවි සමාගම, සංවර්ධනය සඳහා වන අන්තර් ජාතික අරමුදල (IFAD) සහ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර වැඩ සටහන (SAPP) ද අවශ්‍ය මුල්‍ය හා තාක්ෂණික දායකත්වය සපයනු ලැබීය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් මෙම කර්මාන්ත ශාලාව විවෘත කෙරුණු අතර එම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර ඒ. එච්. එම්. මුසම්මිල්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශණ දෙනීපිටිය යන මහත්වරු ඇතුළු විශාල පීරසක් එක්ව සිටියහ.

මෙම කර්මාන්ත ශාලාව සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 130ක් වේ. දැනට අප රටේ හෝටල්, සුපිරි වෙළෙදසැල් සඳහා අවශ්‍ය අර්තාපල් තීරු හෙවත් French Fries විදේශ රටවලින් ආනයනය කරනු ලබයි. මේ සඳහා වාර්ෂිකව වැය කෙරෙන මුදල USD මිලියන 39ක් පමණ වේ. අපේ රටේ අර්තාපල්වලින් French Fries නිෂ්පාදනය කළ නොහැකි යැයි මතයක් පැවතිනි. නමුත් කාර්මික තාක්ෂණික ආයතනයේ (ITI) පූර්ණ උපදේශකත්වය යටතේ මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කිරීම මගින් අපේ රටට අවශ්‍ය සමස්ත French Fries ප්‍රමාණය රට තුළම නිපදවා ගැනීමට අවස්ථාව මේ නිසා උදා වී තිබේ.

කහත්තේවෙල ශ්‍රී සංඝරාජ පරිවෙණාධිපති පූජ්‍ය කහත්තේවෙල රතනසිරි හිමියන්ගේ පූර්ණ මැදිහත්වීම මේ සඳහා ලබා දුන් අතර ශ්‍රී ලංකාවේ ප්‍රථම කෘෂිකාර්මික ආදර්ශ ගම්මානය ද මෙම ගම්මානයේම පිහිටුවීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා 2018 දී පියවර ගත්තේය.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම අර්තාපල් තීරු නිෂ්පාදන කර්මාන්ත ශාලාව ද ඉදි කර තිබෙන්නේ ද එම ගම්මානය තුළම වීම විශේෂත්වයකි. මෙම කර්මාන්තශාලාවට අවශ්‍ය අර්තාපල් වැලිමඩ ප්‍රදේශයේ ගොවීන් 250ක් විසින් සපයන අතර දෛනික French Fries නිෂ්පාදනය කිලෝග්‍රෑම් 2000කි.