Thursday, October 22, 2026
Follow Us
රජයේ රෝහල් හා සෞඛ්‍ය ආයතන සඳහා ප්‍රථම වරට විශේෂ ජල හා විදුලි කළමනාකරණ මාර්ගෝපදේශ මාලාවක්
රජයේ රෝහල් හා සෞඛ්‍ය ආයතනවල ජලය හා විදුලිය අරපිරිමැස්මෙන් හා කාර්යක්ෂමව භාවිත කිරීම සඳහා මෙරට රාජ්‍ය සෞඛ්‍ය පද්ධතිය වෙනුවෙන් ප්‍රථම වරට සකස් කරන ලද විශේෂ ජල හා විදුලි කළමනාකරණ මාර්ගෝපදේශ මාලාව ඊයේ (21) එළිදක්වන ලදී.

 ලෝක බලශක්ති දිනය අද (22) දින යෙදීම නිමිත්තෙන්, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ ශ්‍රවණාගාරයේදී මෙම මාර්ගෝපදේශ මාලාව එළිදැක්විණි.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, රෝගී සුරක්ෂිතතාව, ආසාදන වැළැක්වීම සහ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන්හි අඛණ්ඩ පැවැත්මට බාධාවක් නොවන පරිදි ජලය හා විදුලිය කළමනාකරණය කිරීම සෑම සෞඛ්‍ය ආයතනයකම අත්‍යවශ්‍ය කළමනාකරණ වගකීමක් බවයි.
 
රෝහල්වල ශල්‍යාගාර, දැඩි සත්කාර ඒකක, රසායනාගාර, රූපණ සේවා, ඖෂධ ගබඩා කිරීමේ ශීත දාම පද්ධති සහ විෂබීජහරණ පහසුකම් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා විශ්වාසදායක විදුලි සැපයුමක් අත්‍යවශ්‍ය වන අතර, රෝගී සත්කාරය, සනීපාරක්ෂාව හා ආසාදන වැළැක්වීම සඳහා ප්‍රමාණවත් සහ ආරක්ෂිත ජල සැපයුමක් ද අනිවාර්ය බව ඒ මහතා පෙන්වා දුන්නේය.
 
ජලය හා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම හුදෙක් වියදම් අඩු කිරීමේ ක්‍රියාවලියක් නොව, මහජන මුදල් හා සම්පත් වගකීමෙන් කළමනාකරණය කරමින් ඒවායෙන් උපරිම ප්‍රතිලාභ ලබාගැනීමේ ක්‍රමවත් ප්‍රවේශයක් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව, රෝගීන්ට ලබාදෙන ප්‍රතිකාර සේවාවන්හි ගුණාත්මකභාවය හා අඛණ්ඩ පැවැත්ම සුරක්ෂිත කරමින් අනවශ්‍ය පරිභෝජනය හා නාස්තිය අවම කිරීමට සියලු සෞඛ්‍ය ආයතන කටයුතු කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.
 
මෙම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමේදී සම්පත් ඉතිරි කිරීමේ නාමයෙන් රෝගී සත්කාරයට අත්‍යවශ්‍ය පහසුකම් සීමා නොකර, පවතින පද්ධති වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට අවධානය යොමු කළ යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ජල හා විදුලි පරිභෝජනය අධීක්ෂණය කිරීම, පද්ධති නිසි පරිදි නඩත්තු කිරීම සහ හඳුනාගන්නා අඩුපාඩු කඩිනමින් නිවැරදි කිරීම එහිදී වැදගත් බව ද ඔහු පෙන්වා දුන්නේය.
 
මෙම මාර්ගෝපදේශ මාලාව අමාත්‍යාංශයෙන් නිකුත් කරන තවත් ලේඛනයක් ලෙස පමණක් නොසලකා, සෑම සෞඛ්‍ය ආයතනයකම දෛනික පරිපාලන හා කළමනාකරණ ක්‍රියාවලියට ඒකාබද්ධ කරගත යුතු ප්‍රායෝගික වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක කරන ලෙස ද නියෝජ්‍ය අමාත්‍යවරයා සියලු සෞඛ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේය.
 
මාර්ගෝපදේශ සකස් කර එළිදැක්වීමෙන් පමණක් අපේක්ෂිත ප්‍රතිඵල අත්කරගත නොහැකි බවත්, ඒවායේ සාර්ථකත්වය තීරණය වන්නේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමෙන් අත්කරගන්නා ප්‍රතිඵල මත බවත් ඔහු සඳහන් කළේය.
 
ඒ සඳහා වගකීම් නිශ්චිතව පැවරීම, පරිභෝජන දත්ත විධිමත්ව වාර්තා කිරීම සහ කාර්ය මණ්ඩල සහභාගිත්වයෙන් අඛණ්ඩව වැඩිදියුණු කිරීමේ ක්‍රමවේදයක් ගොඩනැඟීමේ වැදගත්කම ද අවධාරණය කළේය.
ලෝක බලශක්ති දිනයේ අරමුණු සමඟ සමපාත වන මෙම වැඩපිළිවෙළ, බලශක්ති සංරක්ෂණය, ස්වාභාවික සම්පත් වගකීමෙන් භාවිත කිරීම සහ පාරිසරික තිරසරභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය සෞඛ්‍ය පද්ධතියට දායක විය හැකි ප්‍රායෝගික පියවරක් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
 
සෞඛ්‍ය ආයතනවල සැබෑ අවශ්‍යතා හා මෙහෙයුම් තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සකස් කර ඇති මෙම මාර්ගෝපදේශ මාලාව මඟින් ජල හා විදුලි පරිභෝජනය අධීක්ෂණය, වාර්තාකරණය විධිමත් කිරීම, පද්ධති නඩත්තුව සහ කාර්ය මණ්ඩල සහභාගිත්වයෙන් අඛණ්ඩව වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය ආයතනික ක්‍රමවේද ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.
 
මෙම මාර්ගෝපදේශ මාලාව සකස් කිරීම සඳහා කැපවී කටයුතු කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සංවිධාන සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය උපුලී විජේමාන්න මහත්මිය ඇතුළු කණ්ඩායමටත්, ඉංජිනේරු සේවා අංශයටත්, අතිරේක ලේකම් සාලින්ද බණ්ඩාර මහතා ඇතුළු ඊට දායක වූ සියලු පාර්ශ්වයන්ටත් නියෝජ්‍ය අමාත්‍යවරයා සිය ප්‍රශංසාව පළ කළේය.
 
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන, අතිරේක ලේකම් සාලින්ද බණ්ඩාර, සංවිධාන සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය උපුලී විජේමාන්න යන මහත්ම මහත්මීන් ඇතුළු රෝහල් අධ්‍යක්ෂවරුන්, රෝහල් ලේකම්වරුන් සහ රෝහල්වල ක්‍රියාත්මක බලශක්ති කළමනාකරණ කමිටු නියෝජිතයෝ එක්ව සිටියහ.