Wednesday, October 21, 2026
Follow Us
වටවල දුම්රිය ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කෙරේ
2026.08.03 දින සිදුවූ නායයෑමෙන් හානිවූ උඩරට දුම්රිය මාර්ගයේ පිහිටි, වටවල දුම්රිය ස්ථානය තාවකාලික මෙහෙයුම් සඳහා වෙනත් ගොඩනැගිල්ලක් සකස් කරමින් පවතින අතර හානිවූ දුම්රිය ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සහ ඒ ආශ්‍රිත යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම ආරම්භ කිරීමට නියමිතය. ඒ ප්‍රවාහන අමාත්‍යාංශය, Clean Sri Lanka ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා යුධ හමුදාව සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධ ව්‍යාපෘතියක් වශයෙනි.

 

2026 අගෝස්තු මස 03 සහ 04 යන දෙදින ඇතිවූ ස්වභාවිත ආපදා තත්ත්වයක් හේතුවෙන්, උඩරට දුම්රිය මාර්ගයේ පිහිටා ඇති ඉපැරණි වටවල දුම්රිය ස්ථානයට බරපතල හානි සිදුවිය. දුම්රිය ස්ථානය පිටුපස පිහිටි පස් බෑවුම් කලාපය තුල පාංශු කොටස් අස්ථාවර වී දුම්රිය ස්ථාන ගොඩනැගිල්ලට පතිත වීමෙන් මෙම හානිය සිදුව ඇත. මෙම බෑවුම් අස්ථාවර වීම නායයාම් තත්ත්වයක් නොවන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ (NBRI) නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන භූ විද්‍යාඥ බුද්ධික විජේකොන් මහතා ප්‍රකාශ කලේය. ඔහු මේබව ප්‍රකාශ කලේ වටවල දුම්රිය ස්ථානය ප්‍රතිසංස්කරණය සඳහා එම පරිශ්‍රයේ අද පැවති ක්ෂේත්‍ර පරීක්ෂාවට එක්වෙමිනි.
 
1883 වසරේදී දුම්රිය ධාවන කටයුතු වෙනුවෙන් ආරම්භ කර ඇති වටවල දුම්රිය ස්ථානය, වාස්තු විද්‍යානුකූලව බ්‍රිතාන්‍ය ගොඩනැගිලි නිර්මාණ ලක්ෂණවලින් යුත්කව ඉදිකර ඇති, පුරාවිද්‍ය වටිනාකම් සහිත ඉපැරණි දුම්රිය ස්ථාන ගොඩනැගිල්ලකි. එබැවින් මෙහි සියලු ප්‍රතිසංස්කරණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමත නිර්ණායකයන්ට අනුගතව, මුල් සැලැස්මේ පිහිටීමට අනුව සිදුකෙරේ. එමෙන්ම ස්වභාවික ආපදාවන්, ස්වභාවිකව පිහිටි භූ විෂමතා ලක්ෂණ අධ්‍යනය කර NBRI වාර්තා සහ නිර්දේශ මත පදනම්ව සියලු ප්‍රතිසංස්කරණයන් සිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග හා කර්මාන්ත දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
 
උඩරට දුම්රිය මාර්ගයේ රොසැල්ල සහ ගලබොඩ දුම්රිය ස්ථාන දෙක අතර ස්ථානගත වටවල දුම්රිය ස්ථානයේ සේවා සපයමින්, දිනකට දුම්රිය ගමන්වාර 16 ක්‍රියාත්මකව පැවතිණ. මෙම මාර්ගයේ උඩරට මැණිකේ, පොඩිමැණිකේ, ඔඩිසි, රාත්‍රි තැපැල් දුම්රිය, භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ඇතුළු දුම්රියන් ධාවනය කෙරිණ.
 
මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ඒකාබද්ධ ආයතනික සැලැස්මකට අනුව ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය පියවර ගෙන ඇත. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, Clean Sri Lanka ලේකම් කාර්යාලය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා යුධ හමුදා ඉංජිනේරු බලකාය මෙම ප්‍රතිසංස්කරණයන්ට සේවා දායකත්වය ලබාදෙන අතර, වටවල ප්ලාන්ටේෂන් සමාගම මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීමට ඉදිරිපත්ව සිටියි.
 
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දැනටමත් මේ වෙනුවෙන් වැඩකටයුතු කරමින් පවතින අතර ලබන නොවැම්බර් මස 01 වන දින සිට ශ්‍රී ලංකා යුධ හමුදා ඉංජිනේරු බලකාය සිය ශ්‍රම දායකත්වය ලබාදීමට නියමිතය.
 
මෙම අවස්ථාවට Clean Sri Lanka ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ එච්.පී.එස්. ශාන්ත, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු නුවන් අමරසේන, එහි නුවරඒළිය දිස්ත්‍රික් ඉංජිනේරු ධනුෂ්ක දිසානායක, අධීක්ෂණ කළමනාකරු බුද්ධික කසුන් පෙරේරා ඉලේපෙරුම, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මධ්‍යම පලාත් ප්‍රාදේශීය සංරක්ෂක (වැ.බ.) ප්‍රියන්ත රත්නසිරි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන භූ විද්‍යාඥ බුද්ධික විජේකෝන්, ශ්‍රී ලංකා යුධ හමුදා ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් මිල්රෝයි පෙරේරා ඇතුළු හමුදා නිලධාරීහු, වලවල වැවිලි සමාගමේ නිලධාරීන්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන නියෝජනය කරමින් නිලධාරීහු රැසක් එක්ව සිටියහ.