Thursday, October 22, 2026
Follow Us
ශ්‍රී ලංකා එක්ස්පෝ 2027 ප්‍රදර්ශනය ප්‍රවර්ධනයට ලන්ඩනයේදී විශේෂ ව්‍යාපාරික වැඩසටහනක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය එක්ව සංවිධානය කරන විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් ඊයේ (21) සහ අද (22) යන දෙදින ලන්ඩන් නුවරදී පැවැත්වේ.

ශ්‍රී ලංකා එක්ස්පෝ 2027 (Sri Lanka Expo 2027) ප්‍රදර්ශනය ප්‍රවර්ධනය කිරීම සහ එක්සත් රාජධානියේ ව්‍යාපාරිකයන්ගේ සහභාගිත්වය ඉහළ නැංවීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

මෙම වැඩසටහන යටතේ ඊයේ (21) පැවති ව්‍යාපාරික හා ආයෝජන සංසදයෙන් අනතුරුව බ්‍රිතාන්‍ය ගැනුම්කරුවන්, ආයෝජකයන්, වෙළෙඳ මණ්ඩල නියෝජිතයන් සහ ව්‍යාපාරික හා වෙළෙඳ ප්‍රවර්ධන සංවිධාන සමඟ සෘජු සබඳතා ගොඩනඟා ගැනීමේ සැසියක් ද පැවැත්විණි. අද (22) ද්විපාර්ශ්වික ව්‍යාපාරික සාකච්ඡා (B2B) පැවැත්වීමට නියමිතය.

එක්සත් රාජධානියේ වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාව විශ්වසනීය හා තරගකාරී වෙළෙඳ සහ ආයෝජන හවුල්කරුවකු ලෙස ස්ථානගත කිරීම, ශ්‍රී ලාංකික නිෂ්පාදන හා සේවා ප්‍රවර්ධනය කිරීම සහ අපනයන විවිධාංගීකරණය සඳහා නව අවස්ථා හඳුනා ගැනීම මෙම වැඩසටහනින් සිදු කෙරේ.

බ්‍රිතාන්‍ය සමාගම්වලට ශ්‍රී ලංකාවෙන් භාණ්ඩ හා සේවා සපයා ගැනීමේ අවස්ථා ගවේෂණය කිරීමටත්, මෙරට ආයෝජන සහ ව්‍යාපාරික හවුල්කාරිත්වයන් ඇති කර ගැනීමටත් අවස්ථා සැලසීම මෙහි තවත් අරමුණකි. ශ්‍රී ලංකාවේ අපනයන සඳහා එක්සත් රාජධානිය ලබා දෙන වරණීය වෙළෙඳපොළ ප්‍රවේශය වන UK DCTS යාන්ත්‍රණයෙන් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම ද මෙමඟින් අපේක්ෂා කෙරේ.

2027 ජනවාරි 14 සිට 17 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා එක්ස්පෝ 2027 ප්‍රදර්ශනය සඳහා බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයන්ගේ සහභාගිත්වය පුළුල් කිරීම මෙන්ම දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ හා ආයෝජන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම ද මෙම ප්‍රවර්ධන වැඩසටහනේ අපේක්ෂාව වේ.

මෙම වැඩසටහනට සහභාගි වීමට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා රජයේ නිල දූත පිරිසක් එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබේ.