Tuesday, November 05, 2024
Follow Us
දේශීය ණය ප්‍රශස්තකරණයේ සත්‍යය ජනතාවට පැහැදිලි කර දෙන්න
  • ජනපති ව්‍යාපාරික ප්‍රජාවෙන් සහ වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලයි

භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යූහගත කර නව බැඳුම්කර හුවමාරුව එන අඟහරුවාදා

  • මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

ආර්ථිකය ඉදිරියට යෑමට නම් පෞද්ගලික අංශයට වඩා ලාභදායි අරමුදල් අවශ්‍යයයි

  • වාණිජ මණ්ඩලයේ සභාපති

දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ සත්‍ය තත්ත්වය ජනතාවට පැහැදිලි කර දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යාපාරික ප්‍රජාවගෙන් සහ වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කරයි.

දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ සත්‍ය තත්ත්වය ජනතාව හමුවේ තැබීමේ සුවිශේෂ කාර්යභාරයක් ව්‍යාපාරික ප්‍රජාවට සහ වෘත්තීය සමිති නියෝජිතයන් වෙත පැවරී තිබෙන බව පෙන්වා දෙන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සැබෑ තත්ත්වය පැහැදිලි කිරීමෙන් ණය ප්‍රශස්තකරණය පිළිබඳ මෙරට ශ්‍රම බළකාය මෙන්ම සමස්ත ජනතාවට ඇති අනවබෝධය සහ අනිසි බිය දුරුකළ හැකි බවද පෙන්වා දෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ වාණිජ මණ්ඩල සාමාජිකයන්, ව්‍යාපාරික ප්‍රජාව සහ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ ජනාධිපති කාර්යාලයේ දී පෙරේදා (29) පැවති සාකච්ඡා දෙකකට එක්වෙමිනි.

පළමුව වාණිජ මණ්ඩල සාමාජිකයන් සහ ව්‍යාපාරික ප්‍රජාව සමඟ හමුවකට එක් වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ මේ ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළින් පොලී අනුපාත අඩුවීමක් සිදුවන නිසා මූල්‍ය බැඳීම්වලින් දැඩි බලපෑමට ලක් වූ පුද්ගලයන්ට සහනයක් හිමිවන බවයි. පොලී අනුපාත අඩුවීමේ කාලසීමාව නිශ්චිතව සඳහන් කළ නොහැකි වුවද මාස කීපයකින් පොලී අනුපාතවල කැපී පෙනෙන අඩුවීමක් පිළිබඳ විශේෂඥයන් පුරෝකථනය කර ඇති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

අනතුරුව වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ පැවති හමුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මේ දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන සිදු නොකළොත් කුඩා ව්‍යාපාර මගින් ලබාගත් ණය සඳහා ගෙවිය යුතු පොලී අනුපාත නැවත වැඩි විය හැකි අවදානමක් ඇති බවයි. එසේම රුපියල ශක්තිමත් වී තිබෙන මෙවැනි අවස්ථාවක ඩොලරය යළිත් ඉහළයෑමේ අනතුරුදායක තත්ත්වයක් පවතින බව පැවසූ ජනාධිපතිවරයා විදේශීය ණය ප්‍රශස්තකරණයට සමගාමීව දේශීය ණය ප්‍රශස්තකරණය ද අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බව පෙන්වා දුන්නේය.

සේවක අර්ථසාධක අරමුදල යටතේ ප්‍රතිලාභීන්ට ලබාදෙන සියයට 9 ක වාර්ෂික පොලිය ඒ ආකාරයෙන්ම දෙන බව නීතියෙන් සහතික කරන බවත්, එබැවින් ඉදිරියේ දී ලැබෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන් කිසිදු අවිශ්වාසයක් ඇති කරගත යුතු නැති බවත් වෘත්තීය සමිති නියෝජිතයන් හමුවේ ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය. දේශීය ණය ප්‍රශස්තකරණය කිරීමත් සමඟ සංවර්ධන ආධාර මෙරටට ලැබෙන බවත්, එමඟින් ඉදිකිරීම් ක්ෂේත්‍රය ඇතුළු පසුගිය සමයේ අඩාළ වී තිබූ අනෙකුත් සංවර්ධන කටයුතු යළි ආරම්භ කිරීමට හැකිවන බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ ඔස්සේ ඇතිවන ආර්ථික ප්‍රබෝධයෙන් නව රැකියා අවස්ථා රැසක් ද බිහිවන බව ද කියා සිටියේය.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා-

Òබැංකු තැන්පතුවලට බලපෑම් එල්ල වන බව පවසමින් කළ ප්‍රචාර නිසා සමාජයේ යම් කනස්සල්ලක් පැවතුණා. නමුත් අපගේ සාකච්ඡාවල දී අප අවධානයට ලක් කළ ප්‍රමුඛතම කාර්යක් තමයි බැංකු පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීම. දෙවැන්න සියලුම බැංකු තැන්පතු ආරක්ෂා කිරීම. බැංකු පද්ධතිය සම්බන්ධයෙන් ඇති කරන අනිසි බිය විශ්‍රාමික අරමුදල්වලට සාපේක්ෂව විශාල සමාජීය බලපෑමක් ඇති කළ හැකියි. එබැවින් ඉතා සාධාරණ විසඳුමක් අප ඉදිරිපත් කර තිබෙනවා. බැංකු විසින් දැනටමත් සියයට 50ක් බදු ලෙස ගෙවමින් සහ ණය සහන ලබාදෙමින් මහා භාණ්ඩාගාරයට මෙන්ම පොදුවේ සමස්ත ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, බැංකු පද්ධතිය හෝ තැන්පතු ලබා ගන්නා ආයතන සතු භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමෙන් බැහැර කිරීමට අප කටයුතු කළා. භාණ්ඩාගාර බිල්පත්වලට ද කිසිදු බලපෑමක් සිදුවන්නේ නැහැ. සිදු වන්නේ භාණ්ඩාගාර බිල්පත් ප්‍රතිව්‍යුහගත කිරීමයි. ඒ වගේම විශ්‍රාම අරමුදල් සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් ලබා දී තිබෙනවා. එහිදී සෑම වසරකම ඒවායේ ප්‍රතිලාභීන්ට සියයට 9 ක පොලියක් ලබාදීම සහතික කරනවා. වත්මන් ශේෂය ආරක්ෂා වන අතර ශේෂයේ අඩුකිරීමක් ද සිදුවන්නේ නැහැ. තවද එම භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කර නව බැඳුම්කර සඳහා හුවමාරු වනු ඇතියි. එය ලබන අඟහරුවාදා උදෑසන පළමු වැඩ කරන දිනයේ ක්‍රියාත්මක කෙරෙනවා. ඒ පිළිබඳ පූර්ව දැනුම්දීමක් සිදුකරන අතර එතැන් සිට එය කඩඉම් දිනය වෙනවා.

ඊ.පී.එෆ්, ඊ.ටී.එෆ් (EPF, ETF) ඇතුළුව සියලුම විශ්‍රාම අරමුදල් සතු ඕනෑම බැඳුම්කරයක් හුවමාරු කරනවා. පෞද්ගලික අංශයේ විශ්‍රාම අරමුදල් ගණනාවක් තිබෙනවා. ඒවා ප්‍රතිව්‍යුහගත කරනවා. බැංකු ක්ෂේත්‍රය බදු වශයෙන් සියයට 50ක් මහා භාණ්ඩාගාරයට ගෙවන විට ඊට සාපේක්ෂව විශ්‍රාම අරමුදල් මගින් බදුගෙවීම සිදු කරන්නේ සියයට 14ක් පමණයි. එසේ වුවත්, ඔවුන් මේ බැඳුම්කර හුවමාරුවට සහභාගී වුවහොත් එම සියයට 14 අඛණ්ඩව භුක්ති විඳීමට අවස්ථාව හිමි වෙනවා. එසේ නැතිනම්, ඔවුන්ට ඉහළ බදු අනුපාත සඳහා යෑමට විකල්පයක් තිබෙනවා. එසේ වුවහොත් ඔවුන්ට එය අවාසිදායකයි. එබැවින් ඔවුන්ගේ තේරීම කුමක්දැයි තීරණය කිරීම විශ්‍රාම (superannuation) අරමුදල් වෙත පැවරෙනවා.

 

එම තේරීම අප වෙත දන්වනු ඇතැයි අප අපේක්ෂා කරන අතර ජූලි මාසයේ බැඳුම්කර හුවමාරුව අවසන් කරනවා. එවිට ඔවුන්ගේ ද්‍රවශීලතාවයෙන් රජයට ලොකු සහනයක් ලැබෙනවා. තවද ප්‍රධාන මෙවලම වන්නේ බැඳුම්කර හුවමාරුවේ දී වසර පහක සහන කාලයක් පැවතීම සහ එම කාලයේ විනිමය බැඳුම්කර සඳහා පමණක් පොලී ගෙවනු ලැබීමයි. එහි කල්පිරීම 2032 සිට 2038 දක්වා ආරම්භ වෙනවා. ඉන්පසු ක්‍රමානුකූලව, වාර්ෂික පදනම මත කල්පිරීම සිදුවනු ඇති. මහ බැංකුව වශයෙන් අපගේ මැදිහත්වීම සහ උනන්දුව වන්නේ එක් පැත්තකින් මූල්‍ය ස්ථාවරත්වය, බැංකු පද්ධතිය සහ තැන්පතු ආරක්ෂා කිරීමටයි. අනෙක් පැත්තෙන්, සේවක අර්ථසාධක අරමුදලේ භාරකරු, ලෙස අපට අවශ්‍ය වූයේ ඊ.පී.එෆ් (EPF) සාමාජිකයන් සහ විශ්‍රාමික අරමුදල් සඳහා හොඳම, ප්‍රශස්ත ගනුදෙනුව ලබාගැනීමයි. මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කාරක සභා අවස්ථාවේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉන්පසු සෙනසුරාදා එය පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

දේශීය ණය ප්‍රශස්තකරණයට

බැංකු ඇතුළත් නොකිරීම ගැන සතුටුයි - ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති

ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති බිංගුමාල් තේවරතන්ති මහතා-

දේශීය ණය ප්‍රශස්තකරණය සඳහා බැංකු ඇතුළත් නොකිරීම පිළිබඳව අප සංගමය සතුටට පත් වෙනවා. එය දෙස බලන විට වැටහෙන්නේ මේ තිබෙන යෝජනාව සමඟ අපට දළ මූල්‍ය අවශ්‍යතා (GFN) ඉලක්ක කරා ළඟාවිය හැකියි. එය තීරණාත්මක සාධකයක්. තවද මෙය මුදල් පිටතට ගලා යෑමේ දෘෂ්ටිකෝණයෙන් බැලුවොත් විශාල සහනයක් වෙනවා. මම දකින විදිය අනුව ආදායම් පැත්තෙන් සහ වියදම් පැත්තෙන් ගත්තත්, දේශීය ණය සඳහා පොලී ගෙවීම සම්බන්ධයෙන් රජය තවමත් දැඩි සැලකිල්ලක් දක්වන බව පෙනෙනවා. ඒ වගේම රාජ්‍ය ආදායම් වැඩි කිරීම සම්බන්ධ කාරණයේ දී රජයට තවත් තීරණාත්මක පියවර වෙත යොමුවීමට සිදු වෙනවා. විශේෂයෙන් බදු ලිපිගොනු ප්‍රමාණය වැඩි කිරීමට සිදු වෙනවා. දැනට තිබෙන බදු පදනම සමඟ අපේක්ෂිත ඉලක්කවලට යෑමට හැකි වෙයි කියා මම විශ්වාස කරන්නේ නැහැ.

ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති විශ් ගෝවින්දසාමි මහතා-

පෞද්ගලික අංශයේ මෙන්ම ලංකා වාණිජ මණ්ඩලය පැත්තෙන්, මම හිතන්නේ මේ ගෙන ඇති පියවර බැංකු පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති සුදුසුම පියවර කියලයි. එසේ නොවුණා නම් මේ අර්බුදකාරී ආර්ථික තත්ත්වය තුළ බැංකු පද්ධතියත් අභියෝගයට ලක් වෙනවා. ඒ වගේම තවත් ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වෙනවා. මෙතැන් සිට බැංකු මගින් පෞද්ගලික අංශයට ලාභදායී අරමුදල් ලබා දීමට අවකාශ ඇතිවෙයි කියා මම විශ්වාස කරනවා. මෙතෙක් කල් එය සිදු වී නැහැ. නමුත් අපි මින් ඉදිරියට එය සිදුවනු ඇති බව බලාපොරොත්තු වෙනවා. එසේ වුවහොත් ආයෝජන අඛණ්ඩව කරගෙන යා හැකියි. මම හිතන්නේ පසුගිය මාස 18 සිට 24 දක්වා කාලයේ සියල්ල ඇණහිට තිබෙනවා. එබැවින් ආර්ථිකය ඉදිරියට යෑමට නම් පෞද්ගලික අංශයට වඩා ලාභදායී අරමුදල් අවශ්‍ය වෙනවා.

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ සභාපති ශරාඩ් අමලීන් මහතා-

රටේ තිබූ තත්ත්වය පාලනය කිරීමට හැකිවීම පිළිබඳ මම රජයට සුබ පතනවා. එය සැබැවින්ම විශාල සහනයක්. මේ ශාලාවට ඇතුළු වන අවස්ථාවේ ඔබතුමා දකින්න ඇති සියලු දෙනාගේම මුහුණුවල තිබූ හිනාව. ඒ වගේම අප ඔබෙන් ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ රජය ගෙන ඇති මේ පියවරවලට අප සහාය වන්නේ කෙසේ ද යන්නයි.

ලංකා වාණිජ මණ්ඩලයේ මහලේකම්, ප්‍රධාන විධායක නිලධාරී, බුවනෙකබාහු පෙරේරා-

මූලික වශයෙන් අප දැනට සිදුකරන පොලී ගෙවීම්වල ප්‍රාග්ධනය සඳහා යම් සහනයක් ලබාදීම නිසැකවම ආයෝජනය ප්‍රවර්ධනයට වගේම පෞද්ගලික අංශයේ අඛණ්ඩ පැවැත්මට පිටිවහලක් බව කිවයුතුයි. මන්ද මේ වනවිට කුඩා හා මධ්‍ය පරිමාණ මෙන්ම විශාල පෞද්ගලික ව්‍යාපාර වසා දමා වෙනත් වෙළෙඳපොළ වෙත අවධානය යොමු කරමින් සිටිනවා. නමුත් අප ඒවා මේ රටේම තබා ගැනීමට ප්‍රයත්න දැරිය යුතුයි. ඒ මොකද මේ ඇතැම් සමාගම් වසර තිහක් හතළියක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ මෙරට ව්‍යාපාර කටයුතුවල නිරත වූ නිසා. එබැවින් ඔවුන් සම්බන්ධයෙන් විසඳුමක් සෙවිය යුතුයි. ඉදිරි මාස කීපයේ ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීම මූලික වශයෙන් කළ යුතුයි. අඩුම තරමින් පෞද්ගලික අංශයට ජාත්‍යන්තර වශයෙන් තරගකාරී ආකාරයකට තම ව්‍යාපාරය දැරිය හැකි මිලකට කරගෙන යෑමට යම් සහනයක් ලබාදිය යුතුයි.

වෘත්තීය සමිති නායකයන් සහ නියෝජිතයන් ද මෙහිදී අදහස් දැක්වූ අතර මෙරට වැඩ කරන ජනතාව ආරක්ෂා කරමින් ණය ප්‍රශස්තකරණ වැඩසටහන ක්‍රියාවට නැංවීම පිළිබඳව ඔවුහු සිය ප්‍රසාදය පළ කළහ.

අගමැති දිනේෂ් ගුණවර්ධන, කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර, මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සිසිර ජයකොඩි, ගාමිණී ලොකුගේ, වඩිවෙල් සුරේශ්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක,ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, අගමැති ලේකම් අනුර දිසානායක, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.